රාක්ෂස
(ප්රතිනිර්මිත ඉතිහාස කතාවකි)
ආකාශය රත් පැහැතිය. තවත් දවසක් නිමාවන්නට හෝරා කීපයක් ඉතිරිව ඇත. කර්කශ වියළි සුළං තවමත් වැව් ඉවුර සිප ගනිමින් ඔහේ හමා යයි. වැව් තාවුල්ලෙන් උදළු කෙටිය තබා නැමී වැව් දිය දෝතක් මුහුණෙහි ද ගෙලවටා ද තවරා ගත් සේදරා නළල රැලි කරගත් වනම ඉනට අත තබා ගත්තේය. උපන් දා සිට මහ කන්න පනහක් හැටක් පසු කර ඇති මේ වයෝවෘද්ධ මිනිසාගේ ශරීර ශක්තිය නම් තවමත් පිරිහී නොමැත්තේය. හේ අසලින් ම සිටගත් සේදරාගේ බාලම පුත්රයා වූ නන්ද තම දෑත ඉනෙහි තබා හැඟීම් තොර දෑසින් වැව දෙස බලා උන්නේය.
“අහසේ පාටත් විජිතපුරේ වගේමයි කොල්ලෝ. මැරිලා වැටෙන අපේ උන්ගේ ලේ පාට ආකාහේ උරා ගන්නැහේ රතට රතේ දිලිහෙන්නේ. මයෙ ජීවිතේට මෙහෙම දැකලා නෑ” සේදරා කීවේ පිටුපස නොහැරී වුවද් නන්ද තමා පිටුපසින් සිටිනා බව දැනගෙනය.
” විජිතපුරේ කියන්නේ එහෙම දිනන්ඩ ඇහැකි බලකොටුවක් නෙමේ අප්පොච්චී. ගැමුණු කුමාරයා අනික් බලකොටු අල්ලගත්තට විජිතපුරේ පහසු නොවේවි” නන්ද පිළිතුරු දුන්නේය.
” ඒකනේ බොල මේ හාර පෝයක් ගෙවෙනකන් වලි කන්නේ. උබලත් කතා කොරන්නේ හරියට මේක දෙමළටම දීල නෙව” සේදරාගේ හඬ වේගවත්ය. දේශානුරාගය ගැබ් ව සිත වෙලාගත් කෝපය ඔහුගේ හඬෙහි තැවරී තිබුණි.
“ඒක හරි අප්පොච්චා ..ඒත් මහ කලු ගලෙන් බැන්ඳ පවුරු කඩාගෙන යන්නෙ කෝමැයි? අනික ලෝදිය කල්දේරම් පිටින් හලනවලු උන් ගැමුණු රජ්ජුරුවන්ගේ හමුදාවට. ”
නන්ද පැවසූයේ ගම්මානයේ සතර කොන වසා පැතිරී ගිය කටකතා එකතු කොට ගෙනය.
මාගම් පුරයේ මහා රාජ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් උන්වහන්සේ ගේ වැඩිමහල් පුත්රරත්නය ගැමුණු කුමාරයානන්ගේ රාජාභිෂේකය පිළිබඳව සතුටු වූයේ මාගම ජනයා පමණක් නොවේ. අනුරාධපුරයේ එලාර රජුගේ රාජ්යත්වයෙන් පීඩා විඳි සිංහල ජනයාද රහසේ ගැමුණු කුමාරයාගේ කූටප්රාප්තිය සැමරූහ. එහෙත් එළිපිට එය පෙන්වා නොසිටින්නට සියල්ලන්ම ප්රවේසම් වූයේ දෙමළ හේවායන් නිසාම නොවේ. එළාර රජුගේ පාලනයෙන් වරප්රසාද ලද සිංහලයන්ගෙද අඩුවක් නොවූ අනුරාධපුරයේ විශ්වාස කරන්නා නොකරන්නා තෝරා බේරා ගැනීම පහසු කාර්යක් නොවීය. එළාර රජු අධර්මිෂ්ඨ පාළකයෙක් වූයේ නැත. බෞද්ධ ආගම වැළඳ නොගත්තද බෞද්ධ ආගමට ගරු කිරීමට හේ නිතැතින්ම සැදී පැහැදී සිටියේය. එහෙත් රාජ්ය යාන්ත්රණයේ පහළ මට්ටම් වලින් ලද තානාන්තර සහ වරප්රසාදයන්ගෙන් හිස උදුම්වාගත් ඇතමෙක් රට වැසියන් පෙලන්නට පසුබට නොවීය. රජුගෙන් තමාට සිදුවන අසාධාරණයට නිසි සාධාරණය ඉටු නොවීම සාමාන්ය ජීවිතයේ කොටසක් වුනු බොහෝ අනුරාධපුර වැසියෝ රහසේ ගැමුණු කුමරුගේ සම්ප්රාප්ත ප්රාර්ථනා කළහ.
අනුරාධපුරයේ වැසියන්ගේ රහස් ප්රාර්ථනා මල් ඵල ගන්වමින් කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් ගැමුණු මහ රජ තම සේනාව තර කරන්නට වුය.තම පුත්රායාගේ අභිමතාර්ථය පෙර සිටම දුටුවා වූ කාවන්තිස්ස මහ රජුන් පෙර සිටම සේනාව ශක්තිමත් කර තිබුණි .දස මහා යෝධයන් ගේ නායකත්වයෙන්ද ඊට නොදවනි උප සෙනවියන්ගේ අධීක්ෂණයෙන් ද මනා පුහුණුවක් හා සංයමයක් ලද්දා වූ ගැමුණු සේනාව මාගමින් අනුරාධපුරය බලා පිටත් වූයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය පෙරටු කොටගෙනය.
කුඩා බල කොටු බිඳදමමින් ඉදිරියට ඇදෙන සේනාවේ නැවතුම විජිතපුර බලකොටුවට වන්නේ මෙයින් පසලොස්වක පොහොය සතරක් ගෙවී ගිය තැනය. විජිතපුර බලකොටුව මේ ශ්රීලංකාද්වීපයේ බලවත්ම ආරක්ශක බලකොටුව බවට කිසිවෙකු තර්ක විතර්කයන්හි නොහෙලා පිළිගන්නෙකි . යුද්ධයෙහි ශූර එළාර රජු කාවන්තිස්ස නිරිඳුන්ගේ අභාවය සැල වූ වහාම විජිතපුරය තවත් බල ගැන්වීය. අනුරාධපුරයට පිවිසෙන සියළු මාර්ග මනාව දර්ශනය වන උස් ගල් බිත්තිද නවීන ඉන්ජිනේරු විද්යාවෙන් සන්නද්ධ ආයුද හා මහා පුහුණුවක් ලද සේනාවෙන්ද පරිපූර්ණ විජිතපුරය ජය ගෙන අනුරාධපුරයට යෑම මිනිස් හමුදාවකට නම් කළ නොහැක්කකැයි එළාර රජුගෙ සේනාවෙහි ප්රධාන මහා තුංඩ සෙනෙවියා කිහිප විටක්ම උදම් ඇනීය.
එය සත්ය වන්නට නොහැකි නැතැයි සිටිය හැකි සේම පරාජය හුරු වූ ගැමුණු සේනාවේ ධෛර්යය නම් තවමත් බිඳ වැටී නොමැත්තේය. සිහළුන්ගේ රක්ත වර්ණ ලේ ගංඟා තෙත් නොකළ බිම් අඟලක් විජිතපුර බල කොටුව වටා සොයාගැනීම කළ නොහැක්කකි විය.
රැකවල් ලා සිටි භූමිය මැදින් ඇවිද යන්නේ මනා දේහධාරී පුරුශයෙකි. කාල වර්ණ රෙදි කඩකින් හිස වසා ගත් හේ යගදාව යුග්මයක් වන් දෑත බැඳ සෙමින් ගමන් කරන්නට විය. තේජාන්විත මුහුණත් අභිමානවත්ව ගම්න් විලාශයත් තීක්ෂණ දෙනෙක් යුගලත් සතු මේ මහා පුරුශයා අන් කවරෙක්වත් නොව මහා සෙන්පති නන්දිමිත්රය. තමාගේ කාල වර්ණ අශ්වයා ගේ පිට නැගි හේ ඔහු දක්කාගෙන යන්නට වූයේ යුධ කඳවුරෙන් මදකට එහා වූ ඝන වනාන්තරයටය.
වනාන්තර සුවිශාලය. උස් වූ මහා වෘක්ශයන්ද ඒවාහෙ මුදුන් යා කර ඇඳුනු ලතාවන්ගේ වියනින්ද සඳ එලිය කැලෑබිම සිපගත්තේ කලාතුරකිනි . කෑලි කැපෙන කලුවරෙහි වුවද මේ භූමිය නන්දිමිත්ර ගේ සිතට එක් කළේ බියක් නොව සැනසීමකි. නොනවත්වා ඇසෙන වේදනාත්මක කෑ ගැසීම් ද පරාජයේ අමිහිරි වේදනාවන්ද නන්දිමිත්ර ගේ සිත කලඹවා සිටියේය. කොතරම් දේහදාරී යෝධයෙකුට වුවද සිතට දරාගැනීමේ සීමාවක් ඇත්තේය. හෙල දීපය එක්සේසත් කිරීමෙහිලා ජීවිතය දෙවෙනි කොට සටන් වැදීම දෙවරක් නොසිතාම තෝරා ගන්නට හේ පසුබට නොවීය. එහෙත් විජිතපුර ශෛලමය ප්රාකාරයෙන් ඇද හැලෙන ලෝදිය ධාරාවනට හසුවී මැසි මදුරුවන් සේ පිළිස්සී යන සිහළුන්ද ධනුද්ධර දෙමළ සෙනවියන්ගේ හී සර පහරින් පසාරු වූ ළය අල්වා දෙරණත සිපගන්නා සේනාවද සතුරු අසිපතෙන් වෙන්වී පණ ගැසී මියයන සිහළුන්ගේ කවන්ධයන්ද අභීත සෙන්පතියාගේ වුවද හද සන්තානය සසල කරවන්නට සමත්ය. වනයේ මද දුරක් ඇවිද ආ ඔහුගේ සිත් ගත් එක් තැනක් වීය.
රුක් වියන් අතරින් ගලා ආ සඳ කිරණක් පතිත වූ මහා නුග ගසක් මුල වූ පැතලි ගල් පොත්ත මත හිඳගෙන මදක් භාවනා කරම් යැයි හේ සිතා ගත්තේය. අසු දිගේලි කර සෙමින් ගල් පොත්ත මත අසුන්ගත් නන්දිමිත්ර දෑස් පියා ගැඹුරු හුස්මකින් තම ළය පුරවා ගත්තේය.
මද වේලාවක් නිස්කලංක පරිසරයේ මිහිරියාව අමිහිරි යුධ මතක සෙමින් වළලා දැමීය. එහෙත් එක්වරම නිස්කලංක භාවය අතුරුදන් වන්නට වූයේ චන්ඩ මාරුතයක් නිසාවෙනි. සුළඟින් නැගුණු භීති ජනිත නාදයෙන් තැතිගත් අසුගේ හේශාරවය තුරු ලිය අතර නින්නාද දුන්නේය. එක්වරම නන්දිමිත්ර ගේ ඉදිරිපස භාවනා යෝගී යමෙක් අසුන් ගෙන සිටියේය. හිස මුදුනින් මැඳි කෙස් කළඹත් කාල වර්ණ දේහයත් මුහුණ වසාගත් තේජවත් රැවුලත් කිසි දිනක තමා දැක නැතැයි නන්දිමිත්ර හට ප්රත්යක්ෂ විය. උඩු කය නිරුවත් ඔහුගේ යටි කය වැසී තිබුණේ පඬු පැහැ ඇඳුමකිනි. බ්රාහ්මණ වේශයක් ගත් මේ අත්භූත මිනිසා කොහෙන් කෙසේ ප්රාධූර්භූත් වුනි දැයි නන්දිමිත්ර හට කිසිඳ අදහසක් නොවීය.
“නන්දිමිත්ර… ඔබ තැතිගැන්මෙන්” මේඝයක් වන් ගැඹුරු හඬකින් බ්රාහ්මණ මිනිසා නන්දිමිත්ර ඇමතීය.
” ඔබ කවුද? මා හඳුනන්නේ කෙසේද?” නන්දිමිත්ර ඇසීය.
“ඔබ මා නොදන්නව ඇත. එහෙත් මා ඔබ දනිමි. ඔබ මහා ගැමුණු රජුගේ ප්රධාන සෙනෙවියා වූයේ අත්වැරැදීමකින් නොවන බව වටගා ගත යුතුය. එය සැලසුමකි . දේශය රකිනා සැලසුමකි”
” මා මාගම සාමාන්ය කොල්ලෙක්මි. මගේ ජීවිතයේ විශේෂ සැලසුමක් නොමැතිය. ඔබට වැරදීමක් වී ඇතැයි මට් හැඟේ”
” ඔබගේ උප්පත්ති ම සැලැස්මක්ය. ඔබ රාක්ෂස පරපුරේ බව දන්නෙහිද?”
“මා පියා එසේ කියා ඇත. එහෙත් රාක්ෂසයන් ලංකාද්වීපයේ විසුවේ මහා රාවණයන්ගේ රාජ්යත්වයේ බව මා අසා ඇත්තෙමි. ”
” ඔබෙ පියා කීවේ සත්යකි. ඔබට නොපෙනෙන සියල්ල නොපවතින්නේයැයි සිතීමට තරම් ඔබ අනුවණ යැයි මා නොසිතමි. රාක්ෂසයන් ලංකාද්වීපයේ නොමැති වන්නේ නැත. නොදැන හෝ නොපෙනී රාක්ෂසයන් ලංකාද්වීප රකිති. ඔබ නොදැන හෝ සිදු කරන්නේ එයම නොවේද?”
” එසේය….එහෙත්… අප පරාජය අභිමුඛව සිටිමු . විජිතපුරය බිඳලීමට අපට නොහැක්කේය. මියයෑම මට අරුමයක් නොවේ. එහෙත් මාගේ සේනාව මැසි මඳුරුවන් සේ මියයෑම දරාගැනීමට මගේ සිත තවමත් ශක්තිමත් අඩුය. සති තුනකට පෙර කඩොල් ඇතුගේ පිට එකහෙලා හැළුනු ලෝදියෙහි වේදනාවෙන් ඌ සතියක් කෑ ගෑය. මෙතෙකැයි කියා සිතා ගත නොහැකි ගණනක් මියෙති. ” වේදනාත්මක හඬින් නන්දිමිත්ර ගේ පැහැදිලි කිරීම අසා සිටි ආගන්තුක මිනිසා මෙසේ කීය.
“යුද්ධය ම වේදනාවකි. එහෙත් බුදුදහම රැකීමට රාක්ෂස අප දිවි හිමියෙන් බැඳී සිටිමු. මහියංගණයට තිලෝගුරු සම්මා සම්බුද්ධරාජයාණන් වැඩම කළ දා සිට අප ලෝ සත්ය දහම රකින්නෙමු. ඒ මහා උත්තම අධිෂ්ඨානය සඵත කරනා ගැමුණු රජු හට සහය දීම අප කළ යුතුමය. ”
” ඔබට සේනාවක් සිටීද?”
නන්දිමිත්ර ඇසුවේ පුදුමයෙනි
“හඃ… මාගේ නොව එය චිත්තරාජ ගේ ද කාලවේල ගේද මහා රාක්ෂස හමුදාවය. ඔවුන් කැඳවිය හැක්කේ රාක්ෂස ලේ හදවතෙහි ගලනා නුඹට පමණි.”
“චිත්තරාජ…? …..කාලවේල …..?”
“නහස්ති කිරීමට කාලය මෙය නොවේ. මේ වනයේ දකුණු දෙසට නොනවත්වා ගමන් කරන්න. ඔබට මෙවැනිම නුග රුකක් හමුවේවි. එම ගස මුදුන දෙස බලා චිත්තරාජ හා කාලවේල යදින්න.. ඔවුන් පැමිණේවි…ඔවුන් අධිෂ්ඨාන කොට මියගිය භූමියෙන්ම නැගී සිටීවි…ඔබට ජය පුතුණි.”
තේජවන්ත මිනිසා නන්දිමිත්ර ගේ දෑස් ඉඳිරියේදීම අතුරුදන් වූයේය. සිහි එලවාගත නොහී මදක් බලා උන් නන්දිමිත්ර විජිතපුරය දිනන්නේ නම් ඕනැම රාක්ෂයෙකු සමඟ සමාගම් පවත්වමී සිතා අසු පිට නැගී දකුණු දෙසට අසු මෙහෙයවූයේ දෙවරක් නොසිතාමය.
ආගන්තුක මිනිසා කී ලෙසටම දකුණු පස මහා නුග වෘක්ශයක් වීය. සා විශාල භූමියක් වසාලූ මූලයන්ගෙන්ද මහා මුතු කුඩයක් වන් පත්ර වියනින්ද සැදි මහා වෘක්ශ රාජයා තේජාන්විතය. අසු පිටින් බට නන්දිමිත්රයන් සෙමින් සෙමින් නුග ගස මුළට පියමැන්නේය.
” චිත්තාරාජයිනි…… කාලවේලයිනි….. ඔබතුමන්ලාගේ සහය ලංකාද්වීපයට ලැබිය යුතුමය.. අහෝ…. මාගේ කන්නලව්ව ඇසේ නම් වඩිනු මැනවි”
දෑක් එක් කොට මහත් ගෞරවයනීය ලෙස ආරාධනා කළ නන්දිමිත්ර මහ සෙනෙවි බලාපොරොත්තු සහගත දෑසින් බලා උන්නේය. එක්වරම මහ නුග රුක දෙපසින් මතුවූයේ මහා රාක්ෂස සෙනෙවිවරුන් වූ චිත්තරාජයන් සහ කාළවේලයන් ය. එහෙත් ජීවත්ව සිටි මනුශ්ය වේශයෙන් නම් නොවීය. ඔවුන් අමුනුශ්ය වේශයෙන් සිටියහ. උත්තුංග දේහදාරී කාලවර්ණ සිරුරකින්ද දොඹ ගෙඩි වන් රත් වූ දෑසින්ද උඩු අතට කැරකූ ඝන රැවුලෙන්ද විරාජමාන වූ කාලවේලයන් යගදාවක් වමතින් ගෙන හී පිරුණු පැසක් ද මහා දුන්නක්ද පිටෙහි එල්වා ගෙන මහා අසිපතක් දකුණට්ජින් දරාගෙන සිටියේය.. පැහැපත් දේහදාරී සිරුරකින්ද රෞද්ර බැල්මකින්ද සන්නද්ධව සිටි චිත්තරාජයන්ගෙ දැතෙහි ම මහා අසිමත් දෙකක් වීය. දෙදෙනාගේම ගෙල මැඳින් ලේ ගලමින් තිබුණි. අතීතයේ හිස කඳින් වෙන් කළ මෙම භූමියේම උන් නැගී සිටියහ.රාක්ෂසයන් නැගී සිටියහ.
“තොප කවුද?” කාලවේලයන් ඒ හඬ මහා සාගරය සේ ගැඹුරුය.
” මම නන්දිමිත්ර . ගැමුණු රජතුමාගේ සේනාවේ මහ සෙනවි. මට ඔබතුමන්ලා ගැන කීවේ……..”
” අප දනිමු. ඔබ දැන් මනාව වැඩුනු රාක්ෂස සෙන්පතියෙන් නොවැ නන්දිමිත්ර . අගෙයි. ඉඳින් මහා ගැමුණු රාජෝත්තමයාට අපගෙන් අවැසි සහය කුමක්ද?” නන්දිමිත්ර අතරමඟ නැවතූ චිත්තරාජ ඇසීය.
” අප සාරමසක සිට විජිතපුර බලකොටුව යටත් කර ගැනීමට වෙහෙසෙන්නෙමු. විජිතපුරය අත්පත් කරනොගෙන අනුරපුරයට යාම සිහිනයකි. එහෙත් මහා විනාශයක් හැර විජයග්රහණයක් නම් පෙනෙන්නට නොමැත..”
“විජිතපුරය… ! දිය යට නගර නැසූ රාක්ෂසයන්ට මේ ගල් බිත්ති කුමන සෙල්ලමක්ද? ඔබ හෙට විජිතපුර දික්විජය කරනු ඇත. අපගේ රාක්ෂස සේනාව ඔබ සමඟ පැමිණෙනු ඇත.” කාලවේලයන් ගුගුලේය.
එවිටම මහ පොළොව දෙදෙරවමින් මහ සෙන්පතීන් දෙදෙනා දෙපසින් මහා සේනාවක් නැගී සිටියහ. රක්ත් වර්ණ දෑස් ද සුදුමැලි වූ වෛරී නෙත් වලින් යුතු මුහුණින්ද යුතු අමුනුශ්ය හමූදාව දුටුවන් ලොමු දැහැ ගන්වන සුළුය. කෙනෙක් ගේ අත ලෝග උල් වලින් වැසී ගිය යගදාවකි. තවකෙකුගේ දෑතෙහි මහා අසිපත් යුග්මයන් ය. තවත් එකෙකු විශ පෙවූ හී දෙවුර වසා එල්වා සිටියහ. සියලු දෙනාම තම මුහුණ වැසී යන ලෙස ලෝහමය හිස් ආවරණයක් පළඳා සිටියහ. සිරුරේ තැනින් තැන ගලනා සීතල රුධිරය රාක්ෂස සේනාවේ භයංකාර ස්වභාවය තීව්ර කළේය. මහා මේඝයක් පොළොව දෙබෑ කරගෙන පුපුරන්නක් මෙන් සියල්ලෝක් එක් හඬින් ජය ගෝෂා නඟන්නට වූය
” හෙලයට ජය….. හෙලයට ජය…. ”
“ඉදින් නන්දිමිත්ර …. මේ අපගේ රාක්ෂස සේනාව. මන්ද විජිතපුර ගමන පමා කරන්නේ?”
“නැත…. පමා කළයුතු නැත….” නන්දිමිත්ර තම අසු පිටට නැංගේය..
**************
අරුනළු පොළොව සිපගන්නට හෝරා ගනනාවකට පෙර නන්දිමිත්ර කොහේහෝ ගිය වග සියල්ලන්ගෙන්ම වසන් වූවද වේළුසුමන ගේ විමසිලිමත් දෑසින් වසන් කිරීමට හැකි වූයේ නැත.
කඳවුරු බැඳි පිටියේ අග්රයකින් හේශාරව හඬක් ඇසුනෙන් ඒ නන්දිමිත්ර ගේ අශ්වයාම බව සැක හැර හඳනාගත් වේළුසුමන උත්සුකව මඟ බලා උන්නේය. මහා සේනාවකගේ සම්ප්රාප්තිය හඟවන කුර හඬද හේශාරව නාදයද රණ සක් නද ද නන්දිමිත්ර පසුපසින් ඇසුනද එකඳු හේවායෙකු වේළුසුමන ගේ නෙත ගැටුණේ නැත. වඩනා වූ කුතුහලයෙන් හේ මග රැක සිටියයේය. දීප්තිමත් බලාපොරොත්තු නළියන දෑසින් ප්රතාපවත් ලෙස අසු දක්කා ගෙන ආ නන්දිමිත්ර ය. අන් කිසිවක් තම දෑසට හසු නොවූවද ලොමු දැහැ ගැන්වෙන සීතලද නොපෙනනා අසුන්ගේ කුර හඬද නිර්භීත වේළුසුමන ගේ ගත ද වෙව්ලීමට සමත් විය.
” මට රජතුමන් හමුවීමට අවශ්යයි. ” වේළුසුමන අභිමුඛයට ආ නන්දිමිත්ර ගේ හඬ කලබලය.
වැදගත් යමක් බව තීක්ෂණ නුවණට වැටහුනු නිසාවෙන් හරස් ප්රශ්න පසුවට තබාගත් වේළුසුමන නන්දිමිත්ර කැටිව ගැමුණු මහ රාජෝත්තමයානන්ගේ කූඩාරම වෙන ගමන් කළේය
මනා ලෙස වැඩුනු පැහැපත් සිරුරකින්ද තේජාන්විත වත කමලකින්ද එඩිතර දෙනෙත් යුග්මයකින්ද යුක්ත මගා දුෂ්ඨ ගාමණී අභය මහ රාජෝත්තමයාණන් තමාගේ මහා සේනාධිපතියාගේ ඉක්මන් ගමන් දැක පෙර මං පැමිණියේය.
“කිමෙක්ද මේ කලබලය නන්දිමිත්ර ?” ප්රතාපවත් හඬ අවදිකළ එතුමාණෝ ඇසීය.
” ඔබතුමන් හමුවට අමුත්තන් දෙදෙනෙකු සැපත්ව ඇත්තේය.”
නන්දිමිත්ර කීය.
එක්වරම රජු අභිමුඛව ඒ මහා රාක්ෂස හමුදාව පෙනී සිටියහ. රාක්ෂස හමුදාවේ පෙරමුණේ සිටි චිත්තරාජ මහ සෙනෙවියාත් කාළවේල මහ සෙනෙවියාත් ගැමුණු රජුහට හිස නමා ආචාර කලහ. කොතරම් නිර්භීත හදවතක් වුවද මේ අමුනුශ්ය හමුදාවේ භයානක ස්වරූපය දුරු වනම යගදාව ඉදිරියේ සැලී ඇද හැලෙන වීදුරු පලිහක් මෙන් සැලෙන්නේය. අමුනුශ්ය හේවායන් පිරිවරාගත් මහා රාක්ෂස සෙනෙවියන් දෙදෙනා හිස් එසවූහ.
“මේ දේශය එක්සේසත් කළ යුතුය දේවයිනි. මේ දේශය එක්සේසත් කිරීමට පහළ වූ මහා පින් ඇති නරෝත්තමයා නුබය. විජිතපුරයෙන් එපිට යෑමට අපට අවසර නැත. නමුත් විජිතපුරය දික්විජය කරන්නට අප සහය වන්නෙමු”
” මාගේ මේ වෑයම එළාර පරදන්නට නොවේ. සම්බුද්ධ සාසනය මතු අනාගතයට දායාද කිරීමෙහිලා පමණි” තේජාන්විත හඬින් කී රජතුමන් ස්තූතිපූර්වකව මහා රාක්ෂස සෙන්පති වරුන් හට හිස නමා ආචාර්ය කළේය.
විජිතපුර මහා සංග්රාමයේ පළමුවන හීසැරය නිකුත් වූයේ අග්ර ධනුද්ධර ඵුස්සදේව සෙන්පතියාගේ දුන්නෙනි. එය බලකොටුවේ රැකවල්.ලා සිටි හේවායෙකුගේ ළය පසාරු කොට නැවතුනේය.
එයට පිළිතුරු හී වරුසාවක් සිංහල හමුදාව වෙත මුදා හැරි එළාර හේවායෝ ලෝදිය කල්දේරම් ලහි ලහියේ සූදානම් කළහ. රාක්ෂස හමුදාව ඇස නොගැටුනු සතුරු හේවායෝ මේ කුමන සෙල්ලමකැයි සිතා කඩු මුගුරු මුවහත් කොට බලා සිටියහ. එහෙත් තමා පසුපසින් සිටිනා මහා සේනාවෙහි තරම දැන වුන් නන්දිමිත්ර මහ සෙන්පති අභීතව සටන් බිමට බටය. මහා සරන එසේ ආරම්භ විය. නොපෙනන කඩු කිණිසි එළාර හේවායන්ගේ ළය සපාරු කොට යන කල්හි සතුරු සේනා සෙන්පතිහූ කළබල වූහ. කොතරම් සාහසික ලෙස සටන් කරද නොපෙනෙන අසිපත් සමඟ සටන් කිරීම ට නොහැකිව බොහෝ සතුරු සේනාවක් යුධ බිමේදී ම නටහ.
ලෝදිය හෙලා මහා කඩොල් ඇතු තුවාළ ලැබූවේ මීට සති කිහිපයකට ඉහතදීය. දක්ශ ඇත් වෙද උතුමන්ගේ නොමද උත්සහය මල් ඵල ගන්වමින් ඇත් රජිඳු නැගී සිටියේය. තමාගේ හොඳම ආයුධ හා ලෝදිය කල්දේරම් එකින් එක සිහළ හමුදාව මත වැටෙනා කල්හි චිත්තරාජ සෙනෙවියන් කෝපයෙන් දැවුනි. කඩොලැතු සමීපයට ගොස් ආදරයෙන් කන අතගා ඇත් රජුයේ කනට සෙමින් යමන් මතුළේය. එකෙනෙහිම මහ පුදුමාකාර සිදුවීමකි. මහ නිරිඳු ගැමුණු මට පමණක් දණ නවනා මේ ඇත් රජිදු චිත්තරාජ මහ සෙනෙවි අභිමුඛ දණ නැමුවේය. මහ සෙනෙවිතුමන් ගෞරවයනීය ලෙස ඇත් රැජුගේ පිට මත නැඟීය. මොහොතකින් යුධ බිමෙහි එක්පසින් සේනාව මෙහෙයවන නන්දිමිත්ර සේනාධිපතියා දුටුවේ මහා තේජාන්විත ගමනින් ගමන් ගන්නා කඩොල් ඇත් රජුගේ පිට නැගුණු අමුනුශ්ය සේනාධිපති චිත්තරාජයන් ය. ඒ දුටු නන්දිමිත්ර සෙනෙවුයේ ඔද තෙද වැඩී ගියේය. ජය ගොඩ නංවමින් වඩාත් සාහසිකව තම සේනාව මෙහෙයවා විජිතපුර බිඳ හෙලන්නට උත්සුක වූයේය.
අමුනුශ්ය සෙනෙවියාගේ මෙහෙයවීමෙන් කඩොල් ඇත් රජු විජිතපුර මහ ද්වාරයට ප්රහාරයක් එල්ල කළේය . පොළොව දෙදෙරා යන තරම් කුන්ඳනාදයක් නැඟු ඇත් රජු නැවත නැවතත් ද්වාරයට ප්රහාර එල්ල කරන්නට විය.
ඇත් රජුගේ ප්රහාර හමුවේ තව දුරටත් ද්වාරය රඳා නොපවතීයැයි සිතූ මහා තුංඩ සෙනෙවියා ඇත් රජු පිටට ලෝදිය වත් කරන්නර හේවා කැළට අණ කළේය.
ශෛලමය බිත්තියෙන් ඇද හැලෙන ලෝදිය පහර දුටු චිත්තරාජ සෙනෙවි තම පලිහෙන් එය මුවා කළේය. ලෝදිය පහර නෙළුම් පතකට වැටි දිය බිඳු මෙන් ඇතුන් මත නොවැටී බේරී වැටුණි. මේ මහා පුදුමය දුටු සතුරු සේනාව භ්රාන්ත වූහ. එක්වරම ද්වාරය රැකි සතුරු සේනාව බලකොටුව ඇතුලේ සිටියදීම අදෘශ්යමාන අසිපත් වලින් කපා හෙලන්නට වූයේ මහා කාලවේල අමුනුශ්ය සෙන්පතියන්ගේ සේනාවය. ඇතුළතින් මෙන්ප පිටතින්ද සිදුවන මහා සංහාරය දරාගත නොහී සතුරු සේනාව විජිතපුර බලකොටුව අතහැර අනුරාධපුරය ට පළා ගියහ.
මහා විජිතපුර බලකොටුව සිව් පොහොයක් ගෙවී ගිය ඇවෑමෙන් මහා ගැමුණු රජුගේ හමුදාවට අත් පත් විය.
***************
සෑම තැනම ජය පැන් සැමරුම් ය. තමාගේ යුධ විරුමක් ගැන ඇතමෙක් මහ හඬින් උදම් අනති . රා මතින් මත් වූවෙන් ගීත ගායනා කරති. තුවාල ලද වුන්ද ජයග්රහණයේ ප්රීතියෙන් ඔද වැඩී වේදනා අමතක කොට අනිකුන්ගේ සෙල්ලම් දැක සිහන සෙති. ගැමුණු රජුගේ කූඩාරම තුල සාකච්ඡාවකි. ගැමුණු රජු අභිමුඛව සිටි චිත්තරාජ සහ කාලවේල සෙනෙවිවරු සමු දීමට සැරසුනහ.
“එසේනම් අපගේ රාජකාරි මෙසේ අවසන් වන්නේය. ඔබතුමන් මේ ලංකාද්වීපයේ අග රජුන් වීම නැවතීමට දෙව් ලොවට රජුන් වූ මහා සක්රයාටත් නැවතිය නොහැක්කකි.”
කාලවේල පැවසීය
” ඔබ සේනාවට අප හා අනුරාධපුරයට යෑමට හැකි නම් අගනේය” ගැමුණු රජු කීයේය.
” අපගේ සීමාව විජිතපුරයයි. මින් එහා අපගේ සීමාව නොවේ. අප නොමැතු වුවද රාක්ෂස ශක්තිය ඔබ සමඟයි” චිත්තරාජ කීවේ නන්දිමිත්ර දෙසද බලමිනි.
ආචාර සමාචාර අවසානයේ මහා රාක්ෂස සෙනෙවියන් සමු ගත් හ. ගෞරවයනීය ලෙස ඔවුන් හා පසු ගමන් කළ නන්දිමිත්ර කැලෑ සීමාවේදී නැවතුනේය.
“ඉදින් නන්දිමිත්ර පුතුණි .. අපි සමුගනිමු…..” කාලවේල කීවේය..
“මට දෙයක් දැනගැනීම අවශ්යය…”
නන්දිමිත්ර කීය…
“පවසන්න”
” ඔබ මියගිය බව මා දන්නා බව සැබෑය. එහෙත් නුඹ මෙසේ හමුදා සාදා ගන්නේ කිමද?”
“අප ගෙල සිඳින කල අප එකඳු සිතුවිල්ලක් පමණක් සිතා සිටියෙමු. ඒ මේ සිහළ දේශය රැකීමය.එමෙන්ම අධිෂ්ඨානය සහිත රාක්ෂසයන් මරණින් මතු අපගේ සේනාව වූහ.සසර දිගු වන බව සැබෑය. එහෙත් අප අපගේ සසර දිගු කොටගෙන හෝ මේ ලංකාද්වීපය රකින්නෙමු…”තේජාන්විතව කී චිත්තරාජ සෙනෙවි කාලවේල දෙස බැලීය.
“මේ නුඹගේ එක් ආත්මයක් පමණකි. තව ආත්ම ගණනාවක් නුඹ මිනිස් වෙසින් ඉපිද මේ බිම රකිනු ඇත. අප නැවත හමුවේවි. නුඹගේද අපගේද සාංසාරික රාජකාරිය එයම වන්නේය. මවු බිම අප අයදින තෙන් අප සමුගනිමු. ඔබට ජය” කාලවේල මහ සෙනෙවි නන්දිමිත්ර හට සමු දුන්න්නේය.
මහා සේනාව රැගෙන වනයේ නොපෙනී යන රාක්ෂසයන් දෙස ඇසි පිය නොහෙලා බලා උන් නන්දිමිත්ර සෙනෙවි තම අසු හරවා විජිතපුරය දෙසට යන්නට විය.
නිමි
පූජා රූපසිංහ
Facebook Profile > Poojaa Rupasingha
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment