දඩයක්කාර ආත්ම
මගේ නිරුවත් උඩුකය පුරාම දාඩිය වැක්කෙරෙන හැටි මට දැනුනත් ගල් ගැහුන ශරීරය ඒ වෙලාවේ තිබුනේ මට ඕන විදිහට හසුරුවා ගන්න පුලුවන් විදිහකට නෙවෙයි. එළියේ ඉදන් ගේ ඇතුලට මං ආවේ හීනෙන් වාගේ. මට තාමත් ඒ ඇස් මතකයි. ඒවා වියරුවෙන් පිරිලා. ද්වේශය පිටාර ගලනවා. සතියක් නෑ මං මෙතනට ඇවිත්..ඒත් ඒ සතියේ එකම දිගට එකම හීනයක් උඩ මං ජීවත් වෙනවා.
”කෝලිත අයියේ… කෝලිත අයියේ”
මං එහා පැත්තේ නිදාගෙන උන්නු කෝලිත අයියට කීද්දුවවත් ”හ්ම්” ගාපු මිනිහා ආයෙම අනෙක් අතට හැරිලා නිදා ගත්තා.
”නැගිටපන්කෝ..මං.. මං…මිංගියගේ සොහොන..”
මට ඉවරෙටම කියන්න අවස්ථාවක් නොදීම ඌ නැගිට්ටේ ඉද්ද ගහලා වාගේ මිංගිගේ නම අහද්දීම.
”ඇයි… ඇයි බං.. මොකක්ද සොහොනේ?”
ඇස් නලලේ තියාගෙන කෝලිත අයියා ඇහුවේ මගෙන්.
”නෑ බං. මං දැක්කා සුදුම සුදු හංසයෙක් ඉන්නවා”
ඔව් මං ඇත්තටම ඒක දැක්කා. මෙච්චර කල් හීනෙන් දැකපු ඒ දර්ශනය ඇත්තටම දැක්කා කියන්න මට ඕන උනා.
”උඹ දැන් නිදාගෙන නෙමේද උන්නේ?”
”නෑ.. මං එළියට ගිහින් ආවා විතරයි.මට තාම හීනයක් වාගේ”
මං කිව්වේ ඇත්ත. හංසයෙක් හිටියා. ඒත් කෝලිත මගේ දිහා බැලුවේ මට පිස්සු කියන්නා වාගෙයි.
”මොනවා?හංසයෙක්? උඹේ ඔලුව කොහේ හරි වදින්න ඇති. ඇයි යකෝ බුදුවරු බුදුවෙන මේ පාන්දර නැගිටගෙන එලියේ ඇවිද ඇවිද උඹ මක්කා කොරනවද?හංසයෙක් තියා පාත්තයෙක්වත් මයේ දෑහට දැකපු කලක් නැතිකොට උඹ කියන්නේ මිංගියගේ සොහොන් පල්ල උඩ සුදුම සුදු හංසයෙක් ලැගගෙන හිටියා කියලද?”
කෝලිත අයියගේ සෝලි හඩට වඩා මමත් තාම හිතන්නේ ඒක මං දැකපු හැබෑවක් ද කියලා. හංසයෙක් කොහෙද මේ මූකලානේ. ඇරත් මිංගි මළේ මාව බලන්ට බැරි උන ශෝකෙන්මය කිව්වට ඒකී කොහොමද කෝලිතයව සහේට අරගෙන පවුල් කෑවේ. දහ අවුරුද්දක් කල්දේරම් බත් ගිලලම මං උන්නේ කෙසඟ වෙලා වාගේ. ඉස්සර තිරිහන්කම් දැන් බල්ලට ගියත් මට මිංගි කියන්නේ අමතක නොවෙන අතීතයක්.
”සමහර විට ඒක හීනයක් වෙන්ට ඇති බං. මට ඇහැපියවුනේම නෑ. විඩෙන් විඩේ ඇහැපියවීගෙන එන තත්පරෙන් හීනෙන් මිංගියා ඇවිත් කතා කොරනවා. ඒකයි මං එළියට බැහැලා ටිකක් සොහොන පෙනෙන තැනක ඉදගෙන උන්නේ. ඒත්… සුදුම සුදු ලොකූ හංසයෙක් මං දිහා බලාගෙන ඇස් වලින් ලේ වගුරෝගෙන ඇඬුවා මං මගේ දෑහටම දැක්කා . අඬ නින්ද නිසා බොඳ වෙච්චී හීනයක් වෙන්ට ඇති ඒක. ”
හිත හදාගන්න ඕනාවට එහෙම කියලා දැම්මට මොකද මගේ හිත තිබුනේ තිගැස්සිලා. මිංගි ලෙඩකින් මළා කියලා සාරදාක්කා මාව බලන්ට ඇවිත් කියපු දවසේ රෑත් ඔය වගේම දර්ශනයක් මං හීනෙන් දැක්කා. ඌ පාත්තයෙක් නෙවෙයි. මහා විශාල හංසයෙක්. මට මතකයි දවසක් ජයතුවගේ මහ ගෙදර කලු සුදු රූප පෙට්ටියෙන් ඉංගිරීසි රටවල ඉන්න හංසයෝ රංචු ගනන් පෙන්නුව හැටි. මම ඒ සතෙක් දෑහට දැක්කාමයි. ඒත් මේ රටේ කොයි මුල්ලක ඉන්නද හංසයෙක්.
”හංසයෙක්ට තියෙන්නේ එකම එක ආදරයක් විතරයි. කතාවක් තියෙනවා එක සතෙක් මැරුණාම අනෙක් සතාත් දුකෙන්ම මැරිලා යනවා කියලා. ඒ නිසා මට ඕනෑත් හංසයෙක් වගේ ජීවත් වෙන්ට. ආදරේ කොරන්ට”
මිංගි එහෙම කිව්වේ විහිලුවට කියලයි මං හිතාන උන්නේ. ඒත් තව එකෙක් මරාගෙන මැරෙන ආදරයක් මොකටද කියලයි මට හිතුනේ.මිංගිට එතකොට වයස දහ අටක් විතර ඇති.ගැටිස්සියක් නිසා හැමදේම නොතේරී කියවනවා කියලයි මං ඒකී ගැන එදා හිතාන උන්නේ.
” උඹ මං එක්ක තරහින් තාමත්”
කෝලිත අයියා බෙලිමල් කෝප්පයක් එක්ක හකුරු කෑල්ලක් මට දික්කරලා නෝක්කාඩු කතා කරා. ඒත් ඒක බොන්න හිතක් මට තිබුනේ නෑ. ඌ එක්ක පුංචි කහටක් නැත්තේම නෑ. ඒත් මොකටද ඒකත් පෙන්නන්නේ. ඒ නිසා මං කරේ හිනාවෙලා ප්රශ්නේ මගාරින එක.
”මං නැති කාලේ මිංගියා දුක් විදින්ට ඇති. උඹ මගේ යාලුවා නිසාත්, මං ආයේ නිදහස් වෙන එකක් නෑ කියලා හිතාන උන්නු නිසාත් මිංගියා උඹට කැමති වෙන්න ඇති..ඒත්,කිසිම අසනීපයක් හැදුනේ නැති මිංගියා ඇස් දෙකෙන් ලේ වැක්කෙරෙන ලෙඩකින් මියෑදුනා කිව්වම මට තාම විශ්වාස කොරන්ට බෑ බං. එහෙව් ලෙඩක් මේ ආත්මෙටම මං ඔය ඇහුවාමයි. ”
හිතේ වේදනාව වචන වලට පෙරලෙද්දී කෝලිත අයියා කරේ මං ලගට ඇවිත් පිටට තට්ටුවක් දාන එක. මට දැනුනේ මගේ ම කෙනෙක් ලග ඉන්න සැනසුම. ඒත් ඒ ඇගිලි තිබුනේ වෙව්ල වෙව්ල.
”හීන්මලේ මලයා මේ අහපන්. ඒකීව මං සහේට ගත්ත එක හැබෑව . ඒත් ගම්බාර දෙවියන් සත්ත කරලා උඹට දෙයක් කියන්න මට පුලුවන්. ඒකී මං එක්ක පවුල් කෑවේ නෑ. ඔය කරුමක්කාර ලෙඩේ හැදෙන්න මුල් කාලවල ඒකී ටිකක් මට හිතවත්කම් පෑවට ඒකිගේ මුලු හිතේම උන්නේ උඹ ”
කෝලිතගේ වචන වල තිබුනේම කිනිසි පාරවල්. මිංගි හැඩකාරී. වැව් දිය පාට ලොකු රවුම් ඇස් දෙක. රතු කරඹ ගෙඩි වගේ රෝස පාට තොල්පෙති. කිතුල් මල වාගේ කැරලි ගැහුන ඉණට වැටුන කොණ්ඩේ. ඒ මදිවට ඒකිගේ කටහඩ. හරියට ගුත්තිලගේ වීණා වාදනයටත් පරාදවෙයි කියලාමයි හිතුනේ මට. මට මතකයි කෝලිත පවා ඒ කාලේ මිංගියට බැල්ම දාපු හැටි. ඒත් ඒකී කැමති උනේ මට. මගේ ආදරේට. හොදට ඉගෙන ගත්ත කෙලි පොඩ්ඩ. හැමදේම අතෑරලා මං එක්ක ආවට.
”තෝ මේකාව මැරුවා නේද බොල?”
පොලිසියේ රාළහාමි මගෙන් එහෙම අහනකොටත් කිනිස්ස තිබුනේ මගේ අතේ. වේලිච්ච ලේ සුවඳ මට අද වාගේම මතකයි . එතන එදා දහ පහලොස් දෙනෙක් ඉන්ට ඇති.අලුත් අවූරුද්දට වැටෙන බූරු පොලට ගමේම සේසත එකතු උනේ සාරෙට. හැම සැරයකම දිනන්නේ මං උනත් මේ සැරේ මිංගිට උන පොරොන්දුව නිසාම මං සෙල්ලම් බලන්ට විතරක් යන්ට හිතාගත්තා. කොතන ගියත් බූරු පොලක කෝලිත වාගේම සුමනේ, ධර්මේ, ආරොන් වාගේම පියදාස මේ සේරම මගේ යාලුවෝ රංචුවත් උන්නු නිසා වැඩිය අවුලක් මට දැනුනේ නෑ.
”අනේ බුදු රාළහාමි මං නෙවෙයි ඇන්නේ. මං රණ්ඩුව බේරද්දී වෙන කාගේ හරි අතක තිබුනු පිහියක් මගේ අතේ කවුරු හරි තියැව්වේ. දෙයියම්පා කූඹියෙක් වතුරක ගිලෙන්ට දගලද්දීත් ගොඩ ගන්න මට පරපණක් නැහුවයි කියන්නේ කොහොමදෑ”
දහ අතේ වැද වැද කිව්වත් උන් නෙමෙයි එක වචනෙකට කන්දුන්නේ. වටපිටේ එකෙක්වත් නොඋන්නුකොට යාලුවන්ගේ කෙරුවාව ගැන හිතන්න අමුතුවෙන් දෙයක් ඉතිරිවෙලා තිබුනේ නෑ.
”හීන්මලේ අයියණ්ඩිට මං කිව්වා. ඔය සෙතේ කරගන්ටනේ දැගලැව්වේ. දැන් මට ඔයැයිත් නැතිකොට කාගේ සරණක්ද?”
මිංගි ඇස් දෙක ගෙඩි ගහගෙන අඬනකොට පපුව උණුවතුරෙන් වගේ පිච්චුනේ මගේ. ඒ වේදනාව පොක්කලම් වෙලා ආය ආය මතුවෙනවා කියලා මං නොදන්නවත් නෙවෙයි.
”එතන එකෙක් රා බීලා ඉදලා. ඌ පැරදීගෙන එද්දී නැගිටලා යන්න හැදුවා. අනෙක් එවුන් ඌට ගහන්න පනින වෙලේ මම පැන්නේ කලබලය මට්ටු කොරන්ට. මොකෙක් හරි පිහියා තලයක් මයේ අතට තියද්දීම පොලෝසියෙන් පැන්නා එතෙන්ට. ඇන්නේ මොකාද කියලා දකින්ට බැරි උනා මට. අන්තිමට උන් සේරම බේරිලා මං අහුවුනා”
මුමුණ මුමුණ මං කියපු දේ මිංගි අහගෙන උන්නේ නහය උඩට ඇදගෙන.
”කෝලිතයියා බඩු ටිකක් ගෙදරට ගෙනල්ලා දැම්මා. ඔහේ කීවාය කියලා . මං කිව්වේ ආය එන්ට එපාය කියලා. ගමේ එව්වෝ පද හදාවී. මට ඕනේ අයියණ්ඩි මේකෙන් බේරිලා ගමට එන්ට..කවදාහරි කරපු එකා එලිවෙචිචිදාට ගමේ එව්වොන්ගේ කටවල් මං වහනහැටි දනී”
මිංගියා අවසාන මොහොතෙත් උත්සහ කරන්නේ මාව ගලවගන්ට. මං ඒකිගේ කීම නාහපු වැරැද්ද.
”මං ආය නාවොත් මට වෛර කරන්ට එපා. හේතුවක් තියෙනවා එහෙම කරන්ට”
මිංගි මාව බලන්න ආව අන්තිම දවස. මං,
”මිංගියෝ ඔහොම ඉදින්”
කියද්දිත් ඒකී අඬාගෙන දිව්ව හේතුව මං දැන ගත්තා. අවුරුද්ද, දෙක, තුන ගතවෙද්දී උඹ පස් අවුරුද්දෙන්ම කෝලිතයත් එක්ක එක වහලක් යටට ගියා කියලා ආරංචි ආවා. ඉන්මනත උඹ ආයේ මාව බලන්ට ආවේ නෑ. දහ අවුරුද්දක් ගත වෙන්ට ඔන්න මෙන්න. මට උඹව මතක් නොවුනාම නෙවෙයි . හීනෙනුත් එන්නේ උඹ වෙච්චි .
”වැරැද්දක් කලා හෝ නොකලා හිරබත් කන්ට ආවාම ලග උන්නූ සේරම වෙනස් වෙනවා බං. ගෑනි පවා”
හිරගෙදර ලප චන්දන එහෙම කිව්වේ මට. තමන්ගේම ගෑනිව මරලා ආව ඌව වත්, ඒ වචනවත් සාධාරණ කරන්ට මට ඕනෑ උනේ නෑ.
”එපා… එපා… මිංගියෝ උඹ ඔතනට යන්ට එපා”
මට මතකයි. එදා රෑ කට්ට කරුවල. උසම උස කට්ට කලු නපුරු මිනිහෙක් සූදු හංසයෙක්ව බෙල්ලෙන් අල්ලාගෙන පණ පිටින් තටු ගලෝනවා. මගේ හිරකූඩුව පුරාම හංස තටු එක යායට. හුලගට ඒ මේ අත පාවෙනවා. අර මිනිහා ලගට මිංගි අඩියෙන් අඩිය ලං වෙන්නේ කොහේදෝ ඉදන් ඇවිදින්. තරහවකින්. එක පාරටම හංසයාව අතෑරපු මිනිහා මිංචිගේ බෙල්ලෙන් අල්ලගෙන දිග ඉරට්ටකින් ඒ ඇස්වලට ඇනගෙන ඇනගෙන යනවා..එක දිගට වීසී වෙන ලේ වලින් සිරකුටිය තෙත් වෙද්දී මං කරේ කෑ ගහහ දගලන එක.
අතට දැනුන තෙතක් එක්කම මං ඇහැ ඇරියා. එක කාමරේ උන්න පොට්ට සෝමේත්, වීල් සරාත් හොදට ගොර ඇද ඇද නිදාගෙන සැපට ඉද්දිත් කොහෙන්දෝ මන්දා ආව ලේ පාරක් ඇත්තටම සිරකුටියේ සීතල පොලොව දිගේ ගලාගෙන ගියා. ඉද්ද ගැහුවා වගේ නැගිටලා ලං වෙලා බලනකොට බිත්තියේ කෙලවරක මුල්ලකට වෙලා සුදු ජායාවක් එහෙට මෙහෙට වෙව්ලන හැටිත් මගේ දෑහින්ම දකිද්දී මට කෑ ගැස්සුනේ මිංගියව නාදුනන එකා බෙල්ලෙන් අල්ලගෙන හිටපු හැටි මතක් වෙලා. ඒත් එක්කම අඩි සද්ද දෙක තුනක් එක්ක කවුරුහරි දුවගෙන එන සද්දෙ නෑහීගෙන කකුල තෙතට ලිස්සලා යද්දී ඇස් පියවෙලා ඔලුව සැරටම බිම වදිද්දී කාකි කෝට් එකක් මගේ ඇස් වලට පෙනිලා නොපෙනිලා ගියේම කට්ට කරුවලේම.
”ඔලුව පැලිලා වගෙයි. මේ වගේ පැලෙන්නේ කොහොමද? තොපි එහෙම ඌට ගැහුවද ? ඇත්ත කියපියව්?”
සැරවැර නිලධාරීයෙක් ඇවිත් සරාටත්, සෝමෙටත් එකපිට එක තඩි බාද්දී උන් වේදනාවට විලාප තිබ්බේම,
”බුදු සෑර් ඒ අපි නෙවෙයි” කියාගෙන.
”මේක යකාගේ වැඩක්නේ අයිසේ. උන් ගැහුවෙත් නැතුව මේකාම ඔලුව පලාගත්තා කියලා හිතන්නද? මට හිතෙන්නේ මූ අපිව රවට්ටලා මෙතනින් පනින්න හිතුවා වාගේ..ටිකක් සෝදිසියෙන් ඉන්න තිබුනා ඔය යකා ගැන”
ඒ ලොක්කාම මං ගැන ආයෙම මමවත් නොහිතුව චරිත සහතිකයක් දෙද්දී මං කරේ කිසිම දෙයක් නොකියා ඇස් තදකරගෙන වහගෙන උන්න එක. අනෙක් අතට මට ඇස් දෙක අරින්න අමාරු ගානයි. හරිම ලස්සන එලි ඈත නිවි නිවි දිලිසෙන හැටි මම දැක්කේ හීනෙන් වෙන්න ඇති. ඇගට දැනුනේ සැහැල්ලුවක්. කවදාවත් නොකරපු මිනීමැරුමකට මේකේ යකඩ කූරු ගනින මට , මං නොකරපු වැරදිත් ඇගට වැටෙනවා කියන එක මහලොකු දෙයක් උනේ නෑ. මං නිවැරදි වෙන්න ගියත් මට අන්තිමට වෙන්නේ වැරදිකාරයෙක් වෙන්න විතරයි කියන එක මං දන්නවා.
මට මගේ ඇස් විශ්වාසයි. ඊයේ මං ඒ දැක්ක හැමදේම ඇත්ත. හැබැයි ලේ පාර ඇර හැමදේම මායාවක් වාගේ. ආයෙමත් මට මතක් උනේ ඒ අතීතය.
”උඹ දුක් වෙන්ට කාරි නෑ. මිංගි කෝලිතයව සහේට අරගෙන. උඹ කවදාවත් මේකෙන් එලියට නොඑන එකේ ඒකී දුක් විදින්ට ඕන නෑ නෙව ”
සාරදා අක්කා කියන වචනයක් පාසා මං නිහඩවම මිංගියා මට කෙසෙල් කොලේ ඔතලා එවපු බත් එක දිහා බලාගෙන උන්නා.ඒකී දන්නවා මං මනාප , අමනාප දේවල්. මේකත් ඒ වගේ කාරණයක්. ඒත් මට හිතාගන්න බැරි අවුරුදු පහක් යන්ටත් කලියෙන් ඒකී කනපිට ගහපු හැටි.
”උඹ බර කල්පනාවක වගෙයි”
කෝලිත අයියගේ වචන වලින් අතීතයේ මතක වලට හිත පැටලිලා ආයෙම ඇදගෙන වැටුනේ වර්ථමානයට. දැන් මං නිදහස් මිනිහෙක්. ජනාධිපතිතුමාට පින් සිද්ධවෙන්න මං සමාවක් ලැබිලා එලියට ආවා.මිංගියා හිටියා නම් ඒකි තරම් සතුටු වෙන කිසිම කෙනෙක් ඉන්නේ නෑ.. වත්තේ කෙලවරක ඒකිගේ සොහොන වටේට නිල් පාට පුංචි මල් වගයක් පිපිලා තිබුනේ හරිම ලස්සනට.
”මට උඹ එක්ක තරහක් නෑ මිංගියෝ. මං හැමදේකින්ම නිදහස් වෙලා ආවා. දැන් මට ඕනා මේවට මාව පටලෝපු උන් කවුද කියලා දැනගන්ට. මට උඹව නැති කරේ උන්. මගේ හොදම කාලේ නැති කලේ උන්. තව ටිකක් ඉවසාපන්”
මං කියන දේ අහගෙන ඒකී නිදාගෙන ඉන්න අපූරුව. කෝලිත ඒකිගේ දෙවෙනි මිනිහා උනත් මට ඌ ගැන තරහක් තිබුනේ නෑ. මගේ ගෑනිව බලාගත්තේ ඇස් දෙක වාගේ කියලාත්, ඒකී උන්නේ නමට කියලාත් කියද්දී ඌ ගැන තිබුන ගෞරවය දෙක තුන වෙලා මට දැනුනේ.
”හීන්මලේ මලයෝ මං හැමදේම හෙව්වා බං. එදා මමත් පැනලා දිව්වා මිසක එතැන උනේ මොකක්ද බලන්ට නැවතෙන්ට සිහියක් නෑ. උඹ නිරපරාදේ හිරේ විලංගුවේ වැටුන වෙලේ හැමතැනකටම දුවලා උඹව බේරගන්ට බැලුවත් මට ඒක කරන්ට බැරි උනා. අනෙක් අතට උඹව නිදහස් වෙලා එයි කියලා විශ්වාසයක් තිබුනෙත් නෑ නෙව”
කෝලිත අයියගේ කතාබහේ අමුත්තක් තේරුනත් නොතේරුන ගානටයි මං උන්නේ. මූණ පුරාම රැව්ල වැවුනු කෝලිතගේ ඇස්වල තිබුනේ හිස් බැල්මක්. ඒවා සුදුපාටට හැරිලා තිබුනේ මැරිච්ච එකෙක්ගේ වගේ.
”උඹ ආය රෑට එලියට බහින්ට එපා හීන්මලේ මොකක් නමුත් අමුත්තක් මටත් දැනෙනවා. ”
රෑ දෙපාරක් මහා හුලගක් ඇවිත් කුප්පි ලාම්පු එලිය නිවෙනකොටත් කෝලිතගේ අත් වෙව්ලනවා මං බලාගෙන.
”ගමට ගියා නම් මේ කරට්ට උන හේන් දෙක අතෑරලා කුඹුරක් බලාගෙන ඉන්ට තිබුනා කාලා බීලා නිදහසේ. මෙහේ රෑට මදුරුවෝ තල තල ඉන්න වෙලාවේ. ගෙයක් දොරක් පේන තෙක් මානෙක නැතිකොට මොන සැපක්ද?”
කෝලිත අයියා තනියම කියවනවා. අමුතු සීතලක් දැනීගෙන ශරීරයම අයිස් වාගේ හිරිවැටෙද්දී කෝලිත අයියා කරේ මාවත් ඇදගෙන පැල ඇතුලට රිංගාපු එක. කවදාවත්ම මගේ ඇගට රස්නයක් දැනුනේම නැත්තේ ඇයි කියලා මං නොහිතුවම නෙවෙයි. හැමදාම මගේ ශරීරය පිණිදිය ගානයි. සීතලයි.
”ඇ….ඇයි අයියේ?”
කුතුහලේ හින්දාම මං ඇහුවේ පැලැල්ලෙන් පොල්ලතු සිදුරෙන් එලියට ඇහැ තියලා බලන කෝලිත අයියගෙන්. ”සද්ද නැති ඉදපන්” කියන්න වාගේ අත එහෙට මෙහෙට වනලා ආයෙම පැලැල්ලෙන් එබීගෙන උන්නු කෝලිත අයියා ලගට කිට්ටු උන මමත් සිදුරකින් එලියට එබුනා. කකුල් දෙකේ ඉදලම ආව වෙව්ලිල්ලක් මුලු ඇගම අඩපණ කරද්දී මං තදින් පැලැල්ල අල්ල ගත්තා.
ඒ උන්නේ මිංගියගේ අවතාරේ! මොනවා කිව්වත් මං වාගේම කෝලිත පවා ඒ දේ දැක්ක වග මට දැන් විශ්වාසයි. එතැන උන්නේ හංසයෙක්. මිදුල පැත්තේ ඇවිදගෙන ආවේ හෙමීට වාගේ. දෙපැත්තට වැනි වැනී. සතාගේ කදෙන් උඩු කොටස මිංගියාගේ ඉණෙන් උඩත්,පහල කොටස හංසයෙකුගේ ශරීරයත් විදිහට එකතු වෙලා තිබුනා. ඒත් වෙනදාට ආදරෙන් බලන ඇස් දෙකෙන් ලේ විදින හැටි මං දැක්කේ යක්ෂණියක් ගානට. ඒකිගේ කොණ්ඩේ තිබුනේ අවුල් වෙලා. අත් සුදු කඩදාසියක් වාගේ සුදුමැලි වෙලා. මුහුණ මැරිච්ච එකියක් වාගේම පාට වෙලා. ලේ බිදක් නැතිව. ඒත් ඒකිගේ බැල්ම වැටිලා තිබුනේ අපේ දිහාවට. හරියටම කෝලිතගේ ඇස් එක්ක ඒ ඇස් යාවෙලා තිබුනේ කෝපයත්, වෛරයත් එකතු වෙලා.
”අ…අපි ඉවරයි හීන්මලේ”
කෝලිත වෙව්ලන කටහඩින් කෙදිරුවේ මට. ඒත් මං උන්නේ වෙනම සිහියක.
”මිංගි….”
අවතාරයක් උනත් ඒ ඉන්නේ මං ආදරේ කරපු ගෑනි නේද කියලා හිත කියද්දී මං කලේ උන්න තැනින් නැගිටලා ගිහින් පොල්ලතු දොර ඇරලා එලියට ගියපු එක. ක්රම ක්රමයෙන් මාව දකිද්දී ඒකිගේ නපුරුකම් දියවෙලා අර්ධ සත්ව රූපේ මැකිලා මනුස්ස රූපෙකට හැරෙද්දී ඒක ඇස්වල තිබුනේ දියවුනු කදුළු.
”එපා… මලයෝ … යන්ට එපා”
කියලා කෑ ගහන කෝලිතගේ වචන ගැන සැලකිල්ලක් නැතුවම මං ඒකිට කිට්ටු උනා.
”මයේ දෙයියෝ සමාවෙන්ට ”
ඈත ලෝකෙකින් කොදුරනවා වාගේ ඇහුනේ මිංගිගේ වචන. ඒකිට මාව අල්ලන්ට බෑ. මට ඒකිව අල්ලන්ට බෑ. ලස්සන සුදෝ සුදු රැස් වලල්ලක් ඒකී වටේට දිලිසෙනවා.
”උඹ මාව දාලා ගියාද මිංගියෝ?”
කියලා මං අහද්දී ඒකී අත දික්කරේ පොල්ලතු පැල අස්සට.
”ගියේ නෑ. මාව යැව්වා”
”කවුද? මට කියපන් ඒ කවුද?”
ඒත් උත්තර නොදී ඒකී හයියෙන් හිනාවුනා. වියරුවෙන්ම. ගින්දර වාගේ ඇස් ගිනියමෙන් එලිය වෙලා කලු සූදු ඉංගිරියාවක්වත් නැති බැල්මෙන් ලීයක එල්ලීලා තිබුන කුප්පි ලාම්පුව වීසී වෙලා ගිහින් පොල්ලතු ලග පෙරලිලා ගේ කෑල්ල ගිනිගද්දී මං දැක්කා කෝලිත අයියා එලියට පැනගන්න හැටි. මට ඕන උනේ මිංගියව නතර කොරන්ට.
” එපා… ඕක කරන්ට එපා මැණිකේ.. ඌ මක්කා කොරාටද?”
කියලා අහද්දී ඒකී වියරු වැටිලා වාගේ හිනාවුනා. ඈතින් නරි රැලක් විලාප තියෙන හඩ එක්ක බස්සෙක් ”හූම්” කියන සද්දෙත් එකතු වෙලා ආවේ මූසල හැගීමක්.
”මාව බේරගනින් හීන්මලේ”
කෝලිතගේ හඬ පණක් නැති ගානයි. මූණේ එක පැත්තක් පිච්චිලා ඇටකටු පේන ගානට. මං උනත් උන්නේ ඒ දර්ශනයෙන් බය වෙලා. මොකක් හරි මමත් නොදන්න දෙයක් දැන් සිද්ධ වෙන ගානට හිතට දැනුන නිසා ඈතට විසී වෙලා අඩපණව ඉන්න කෝලිත ලගට කිට්ටු වෙන්න එපා කියලමයි මගේ හිත කිව්වේ.
”එදා බූරු පොලේදී ඒ මිනිහව මැරුවේ මෙන්න මේකායි ඌගේ අනිත් යාලුවෝ ටිකයි එකතු වෙලා. ඒ මිනීමැරුම කරලා හදිසියෙන් පිහිය හීන්මලේ අයියණ්ඩි අතට දීලා පැන්නෙත් මූ තමයි. ඒක කලේ ඔහේගෙන් මාව වෙන් කරලා මූට මාව සහේට ගන්න.පොලිසියට ඔත්තුව කලින්ම දුන්නෙත් ඌ තමයි. දවසක් බඩු ගේන මුවාවෙන් ගෙදරට ඇවිත් සේරම කියලා මාව බය කොරනකොට බය උනු ගානට ඉදලා ඌව කරකාර බැන්දේ මයේ දෙයියට උන් කරපු අපරාදේට පලි ගන්ට. අනෙක් උන් මේ වත්තේම කොන්වල යටවෙලා ඉන්න කොට මේකාව විතරක් මට මරාගන්ට තාමත් දතකන්ට වෙලා. ”
මිංගියගේ වචන වලින් මං ගල්ගැහුනා. පණ වගේ උන්නු යාළුවෙක් මෙහෙම කරා කිව්වම කොහොමද මං විශ්වාස කරන්නේ. මිංගියා නොකියන්ට මං මේවා විශ්වාස කොරන්ට දගලන්නේ නෑ. මට දැන් මතකයි. අතින් ඇදගෙන දුවන්ට තනන ගානට මගේ අතට පිහිය දුන්නේ කෝලිතම තමා. වෙව්ල වෙව්ලා අත් එකතු කරගෙන වැදගෙන ඉන්න කෝලිතගේ බැල්මේ තිබුන භීතිය කවදාවත් මට අමතක වෙන එකක් නෑ. ශරීරය පුරාම පිලිස්සුම් තුවාල වලින් වැහිලා තිබුනත් ඊට වඩා භීතියෙන් හිටිය ඔහු ගැන මට වේදනාවක් දැනුනේ නෑ.
”මං උඹට ආදරේ කලා මිංගියෝ. ඇත්තමයි”
ඌ කෙදිරුවේ එච්චරමයි.
”ආදරේ?හහ්!උඹ වෙන් කොලේ එහෙව් ආදරෙන් උන්නු අපිව. උඹ නොදන්නවට සංසාර හයක එකට ජීවත් උනු අපිව මේ සංසාරෙන් වෙන් කරපු පවට සමාවක් නෑ”
මිංගි කවදාවත් මෙහෙම දැකලා තිබුනේ නෑ මම. ඒකී හැඩකාරී. නිමිච්ච එකී. ඒත් දැන් මං දකින්නේ කාලි මැණියන් එතැනට වැඩලා වාගේ.
”පලිගන්ට එපා මැණිකේ. හොද ජීවිතේකට යන්ට. මං මේකා ගැන බලා ගන්නම්”
මං කිව්වේ ඇස්වල කදුළු උනනකොට. ඒත් එක කඳුලක්වත් මට සීතලට දැනුනේ නෑ.
”මේ ඇස්! මයේ දෙයියෝ පේනවද මයේ ඇස් දෙක. උන් ඒවා රැහැපු ඉරටු ගොඩක ඇනලා අන්ධ කරා. සේරම වමාරයි කියලා මට දස වඳ දුන්නා. මං පැනලා යයි කියලා කකුල් වැල් වලින් බැදලා දැම්මා. ගමේ උන්ට මං ලෙඩින් මැරුනා කියලා පාංශකූලෙවත් නොදී මාව මේ පොලොවේ වැලලෙව්වා. ඒ මදිවට මයේ දෙයියෝවත්…”
මිංගියා ඉකිගහන්න ගත්තේ පොඩි එකෙක් වාගේ.
”මං.. ඇයි මට මොකද ? මං මේ ඉන්නේ මිංගියෝ. උඹ නැති අඩුව නිසා උනත් ඇවිදින මිනියක් වාගේ මං මේ ඉන්නේ.මං ආවෙත් පලිගන්ට. ඒත් මං දැනගෙන උන්නේ නෑ මිනීමරුවා කවුද කියලා… ”
මං කීවේ ඔලුවේ අත්දෙක තියාන බිම ඉදගන්න ගමන්. ඒකී මගේ දිහා බැලුවේ පුදුමෙන් වාගේ.
”ජීවත් වෙලා?”
පුදුම වෙන්ට දෙයක් තිබුනා ද මං දන්නේ නෑ..ඒත් මගේ දිහා එක පාරක් බලපු කෝලිත කෑ ගහගෙන ඈතට පැන්නා.
”උඹ… උඹ.?”
කෝලිතගේ අත තිබුනේ මගේ පැත්තට දික්වෙලා. ඌ ලෑස්ති උනේ එතැනින් පැනලා දුවන්න. ඒත් ඒකට ඉඩක් ලැබුනේ නෑ. ඒත් එක්කම කෝලිතගේ ඇගට පැන්න මිංගි ඌගේ බෙල්ලට පැනලා උගුරු දණ්ඩ කඩලා ගත්තේ මගේ ඇස් දෙකින්ම බලාගෙන ඉන්දැද්දී. විශාල සිදුරක් එක්ක උගුර අල්ලගෙන කෝලිත දැගලුවේ උමතුවෙන්. කකුල් වෙව්ලගෙන එද්දී මං මිංගියව එතනින් ඇදලා ගත්තත් කෝලිත දගල දගලා පණ ඇද්දා. උගුරෙන් විදින ලේ මිංගියගේ කටේ තැවරිලා තිබුනේ ලේ බොන යකින්නක් වාගේ. මිදුලේ තැන තැන වියරුවෙන් ඇවිදින …වැටෙන… දගලන කෝලිත දිහා මිංගි බලන් උන්නේ සතුටින්. අන්තිමට ඉතිරි හුස්ම පොදත් එලියට දාලා වැලි ගොඩේ දගලපු කෝලිත මැරෙද්දී ඇස් දෙක ලොද ගෙඩි ගානට තිබුනේ එලියට පැනලා.
” උඹ….ත් අව..තා.. ර. ….යක් ”
මගේ දිහා බලපු කෝලිත අන්තිමට කිව්වේ ඒ වචනේ. ඒ ඇයි කියන්න මට තේරුනේ නෑ.
”අවතාරයක් ?මං?”
පුදුමෙන් මං මට ම මතුර ගද්දී මිංගි මට ලංවෙලා තුරුල් උනා. ඔව් මට දැන් ඒකිව අල්ලන්න පුලුවන්. මට පුලුවන්. ඒ මිංගි පලි අරගෙන ඉවර නිසාද?
”සමාවෙන්ට දෙයියෝ. ඔය හුස්ම ගත්තේ මං වෙච්චි. බලන්ට ආවා මිසක මරන්ට ආව ගමනක් නෙවෙයි එදා ආවේ මං”
ඒකී ඉකිගගහ කියන්නේ මොකක්ද කියලා මට තේරුනේ නෑ. ඒත් ,
”උඹ කියන්නේ මං මැරිලා කියලද?”
අහනකොට ඇස්වල කදුළු පුරවගෙන ඉදිපු උඹගෙන් මං ගොඩක් දේවල් තේරුම් ගත්තා.
”ආත්මයක් වෙලා පා වෙවී උන්නා නේද?මෙතනට ආවෙත් ඉබේම නෙවෙයි. මං ගෙන්නා ගත්තේ පලිය ගන්ට. කෝලිතයට උඹව පෙනුනට වෙන කාටවත් උඹව දකින්න බෑ හීන්මලේ අයියණ්ඩි. අපි අපේ පලිය ගත්තා. ”
මට මේ කිසි දෙයක් තේරුනේ නෑ..එදා මං කෝලිත දුන්න බෙලිමල් පවා බිව්වේ නැත්තේ ඒ නිසාද?. මං මැරුනද? ඒත් ඒ කවදද? මට මොකුත් තේරුනේ නෑ
”කවදද? මං..මං මැරුනේ කවදද?”
”එදා හිරගෙදර ඇදගෙන වැටුන වේලේ ඔලුව පැලිලා හුගක් ලේ ගිහින් තිබුනා. මට ඕන උනේ මං මැරුණ හැටි පෙන්නන්ට. ඒත් මං එදා ඇත්තටම ආවා. මයේ දෙයියෝ බලන්ට. ඒත් අන්තිමට මං නිසා ජීවිතය නැති උනා”
මිංචි කියවන්නක් නොතේරේ. මං මගේ දෑත් දෙස බැලුවේ ඒ වෙලේය. භීතිය දැනුනා නෙවෙය. සුදුමැලි අත් පුපුරාගොස්ය. ලේ විදින බඩබොකුවැල් එලියට පැනය. කකුල් වලින් පණුවන් දගලන්නේ එලියට එන්නට පොරකමින්ය. එසේනම් මා මියගොස් වග ඇත්තය. එදා සිරකුටියේ දී නිලධාරීයා එවන් වදන් කිව්වේ ඒ නිසා වන්නට ඇත. ශරීරය බාර ගන්නට හෝ දෙන්නට නීතියක් නැති නිසා ඔහේ වලලන්නට ඇත. එසේනම් ජනාධිපති සමාව ගැන මං දුටුවේ විකාරයක් වන්නට ඇත. මැරුණු එකෙක්ට ජනපති සමාව කොහෙන්ද? මිංගි තාම මගේ ශරීරයේ එල්ලී ගත් ගමන්ය . ඈතින් එන එළි දෙකක් අප දෙසට ඇදෙන්නේය. මිංගි මගේ මුහුණ බැලුවේ හිනාවීගෙනය.
”තවත් ආත්මයක්”
මිංගි කෙදිරුවේය. ඒ මුහුණ එදා වාගේම හිනාවෙන් ලස්සනට පිරී ඇත. අප වටේට ඇවිදිමින්.. ඉගිලෙමින් උන් සුදු හංසයන් දෙදෙනෙකුගේ ජායාවන් ඇදී මැකී ගියේය.
”උඹ වෙනුවෙන් විතරක්”
මං කලේ පොරොන්දු වීමය. වඩාත් ලංවුනු ඒ එළි දෙසට දෙපැත්තකට බෙදී ගිය අප දිස්නයෙන් මැකී ගියා මතකය. හිරු එන දවසක අන්ධකාරය සදහටම මියෙනු ඇත. මිංගි උඹ අවාරෙක හිතට වට වැස්සකි. කාන්තාරයක වැස්සකි. අපේ ආත්ම පලිය ගෙන අවසන්ය.
÷පසුවදන÷
”කෝලිතයා දවස් ගානක් තනියෙන් කතා කර කර ඉන්නවා මං මගේ දෑහටම දැක්කා. බඩඉරිඟු ඇට ටිකක් ඉල්ල ගන්ට ගිය මාවත් එලවගත්තේ පිස්සෙක් වාගේ. පවු. මිංගියා මැරෙනකොටවත් ඔච්චර කරපු මිනිහට ආලවන්තකම් කොරේ නෑ නෙව”
සිසිලින් පන් මල්ල කිහිල්ලේ ගසාගෙන බිම තිබූ පොල් අත්ත අනෙක් අතට ගත්තේය.ජයවතී ඇයට ලං උනේ රහසක් කොදුරන්ට වාගේය.
”උඹ කියන්ට එපා මෙව්වා කාටවත්. මං මේ උඹට නිසා කියන්නේ. මිංගියා මළේ නෑලු බං. කෝලිතයා මැරුවාය කියනවනේ. හිරගෙදර දී හීන්මලේ එකා මැරිලා තිබුනෙත් පුදුම විදිහකටලු. ඔය කෝලිතයා හීන්මලේගේ නම සැරින් සැරේ කොදුරනවා මගේ මේ කන් වලට ඇහිලා තියෙනවා. සතෙක් පැනලා කෝලිතයව කාලා කියලා කිව්වට උඹට හිතෙන්නේ නැද්ද ඒක කොරේ මිංගියගේ අවතාරේ කියලා?”
සිසිලින් ගැස්සී ගියේය.
”මිංගියගේ අවතාරේ?”
”ඔව්… මගේ මිනිහා ඇස් දෙකෙන් ම දැකලා තියෙනවා කෝලිතයා බූරු පොලේ දී කිනිස්ස හීන්මලේගේ අතේ තියන හැටි. සාක්ෂී දෙන්ට බයට අපේ මිනිහා හැංගිලා ගියා . ඕවා සේරම මිංගියා නොදැන උන්නා වෙන්න බෑ”
ජයවතී අමුතුවට හිනා වෙද්දී සිසිලින්,
”උඹට ඇත්තටම පිස්සුදෑ?”
ඇසුවේ ගැහෙමින්ය. මීදුමක් අවට වෙලා ගද්දී, සුළඟ සමග පාවී ආවේ උලමෙකුගේ කෙදිරිලි හඩකි. ගැහැණු දෙදෙන විලාප තබමින් දුවගියේ අත තිබූ දේවල් බිමට අතෑරගෙනය.
නිමි.
ශෂී වර්ණකුලසූරිය
Facebook profile > Shashi Warnkulasuriya
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment