රදළතැන්න - එරන්ද වාකිෂ්ඨ

අද පොත්මී “අලුත් පොතක්” සාකච්චාව තරුන ලේඛකයෙකු වන එරන්ද වාකිෂ්ඨ සමග, මේ ඔහුගේ අලුත්ම පොත

රදළතැන්න

 

මෑතකදී ඔබේ අලුත්ම කෘතිය රදළතැන්න නිකුත් වුනා. රදළතැන්න කියන්නේ ලංකාවේ වලව් පැලැන්තිය කියන සමාජයේ “බැස්ම” ගැන කතිකාවක් ගොඩ නගන ත්‍රාසය සහා කුතුහලයෙන් පිරුනු කතාවක්, මෙවන් කතාවක් ලිවීමට හේතු වුනේ කුමක්ද?

ඔව්. ඒ කතාව හරියටම හරි රදළතැන්න කියන නවකතාව එකිනෙකට වෙනස් ශානරයන් දෙකක එකතුවක් වගේම සමාජය ඇතුලේ ක්‍රමයෙන් නැතිවී යන සංස්කෘතිකමය කාරණාවන් කිහිපයක් පෙන්නුම් කරන නවකතාවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. රදළතැන්න නිර්මාණය වෙන්නේ මගේ මිතුරියකගේ හිතේ මැවුණු අදහසක් විදියට. ඇය මට ඉදිරිපත් කළ කතාවේ මුලිකම සිදුවීම් කිහිපය සහ චරිත වලට මම මගේ ශෛලිය අනුව පණ දුන්නා කිව්වොත් වඩා නිවැරදි.

 

ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝමයක් නවකතා ප්‍රකාශයට පත් කර ඇති කෙනෙක්, ඉතින් ඇයි අනිත් කතා අභිබවා රදළතැන්න මුද්‍රනය කරන්න හිතුවේ?

රදළතැන්න කියන්නේ මම මුද්‍රිත මාධ්‍යයෙන් එළිදක්වන මගේ දෙවෙනි නවකතාව. ඒ වගේම මම නිර්මාණකරණය ආරම්භ කරාට පස්සේ මට වැඩිම ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණු , මම පුද්ගලිකව වඩාත් ආසාවෙන් රචනා කළ සහ මුද්‍රිත මාධ්‍යට ලබාදෙන්න කියල වැඩිම ඉල්ලීම් පිරිසක් ඉදිරිපත් උනේ රදළතැන්න කතාවට. මේ කතාව අනිත් කතා අබිබවා මුද්‍රිත මාධ්‍යයට දෙන්න මට ඒ හරහා ලොකු උත්තේජනයක් ලැබුනා.

 

 

ඔබ සමාජ මාධ්‍ය, විශේෂයෙන්ම මුහුනු පොත හරහා වසර කිහිපයක්ම නිර්මාන බිහි කල අයෙක්, එවන් අත් දැකීමක් ඇති අයෙකු විදියට ඔබ මුද්‍රිත මාධ්‍ය සහා ඩිජිටල් මාධ්‍ය අතර ඇති වෙනස් කම් දකින්නේ කොහොමද? එහින් නූතන තරුන තරුණියන්ට ලැබෙන සහය මොනවගේද?

මේ ප්‍රශ්නයට පිළිතුර මම පටන් ගන්නම් ඇයි මම මුද්‍රිත මාධ්‍යයට නොයා ඩිජිටල් අන්තර්ජාලය හරහා නිර්මාණ කරන්න පෙළඹුනේ කියන තැන ඉඳන්. පුරුදු වෙන්න කෙටිකතාවක් , කෙටි නවකතාවක් ලියනකොට මට ඇත්තටම මේක පළකරන්න සුදුසු මාධ්‍යයක් ගැන අදහසක් තිබ්බේ නැහැ. ඒ නිසා හිතේ ආසාවට මුහුණු පොතේ සහ කතුවරයා කියල වෙබ් අඩවිය හරහා පළකරපු නිර්මාණ වලට හොඳ ප්‍රතිචාර ලැබෙනකොට මම නිකමට කල්පනා කරා මෙතරම් ජනප්‍රියත්වයක් මේ මාධ්‍ය වලට ලැබෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද කියන එක. පිළිතුර ඉතාම සරලයි. ඩේටා ටිකක් වියදම් කරලා නිර්මාණ රසවිඳින ඒක කඩේකට ගිහින් ලොකු ගානක් ගෙවල පොතක් අරගන්නවට වඩා සෑහෙන්න ලේසි. ඒ වගේම රචකයෙක් ට ආධුනිකයෙක් ට මේ මාධ්‍යය තරම් තවත් හොඳ තක්සලාවක් නැහැ. කිසිම වියදමක් නොදරා , කාගෙන් වත් උදව්වක් නැතුව මේ දේ කරන්න පුළුවන්.

හැබැයි මුද්‍රිත මාධ්‍යට යනකොට තත්වය හාත්පසින් වෙනස්. ප්‍රකාශයෙක් තෝරාගැනීමේ ඉඳලා අවශ්‍ය පිරිවැය දැරීම දක්වාම තියෙන්නේ සෑහෙන වෙහෙසකර ගමනක්.

 

සමාජ මාධ්‍ය හරහා නිර්මාන බිහිකොට ඒවා මුද්‍රිත මාධ්‍යට ගෙන ආ කෙනෙකු විදියට, මේ වෙද්දිත් සමාජ මාධ්‍ය තුල කොටු වී සිටින තරුන පරම්පරාවට ඔබ දෙන අවවාදය කුමක්ද?

අනිවාර්යෙන් ජීවිතයේ ඒක වතාවක් හෝ ඔබගේ නිර්මාණයක් මුද්‍රිත මාධ්‍යයට දෙන්න. ඒ වෙනුවෙන් උදව් කරන්න කැමති ප්‍රකාශකයෝ ඕනතරම් ඉන්නවා. මොකද මුහුණු පොත සහ සයිබර් අවකාශයෙන් එළියේ තවමත් පොතක් අතට අරගෙන සුවඳ බලන්න ආස සාම්ප්‍රදායික පාටක ප්‍රජාවක් ඉන්නවා. එයාල අලුත් පරම්පරාව වෙනසක් නැතිව ආදරයෙන් පිළිගනීවි. ඒ නිසා මම කියන්නේ නවකයින් හැම කෙනෙකුටම මුහුනුපොතටත් සයිබර් අවකාශයටත් කොටුවෙන්න , සීමා වෙන්න එපා. ඒ සීමා බිඳගෙන යන්න.

 

 

ඉදිරියේදී ඔබ විසින් නිකුත් කිරීමට සූදානම් කර ඇති නවතම කෘතීන් ගැන සදහන් කලොත්?

මගේ පළමු නිර්මාණය වන “සංහාරා” කෘතියේ මුල් පිටපත් සියල්ලම මේ වනවිට අවසාන වෙලා තියෙනවා. ඒ නිසා මම අලුත් ප්‍රකාශන සමාගමක් හරහා සාහිත්‍ය මාසය වන විට සංහාරා නව මුහුණුවරකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සංහාරා දෙවෙනි කොටස වන “කයිරෝ” වල වැඩ කටයුතු වගේම “රදළතැන්න” නවකතාවේ දෙවෙනි කොටසක් හැටියට “මිඳුම් හීන” එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

අවසන් වශයෙන්, නූතනයේ පීඩීඑෆ් මංකොල්ලයක් සිදුවෙනවා, අලුතින් නිකුත් වන පොත් පවා ජායාරූප මගින් අන්තර්ජාලයට නිකුත් කිරීමේ ජාවාරමක් පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

නිර්මාණ මංකොල්ලය ගැනනම් තියෙන්නේ අවන්කවම කළකිරීමක්. සමහරවෙලාවට අපි ලියපු නිර්මාණ අඩුම ගානේ උපුටාගැනීමක් කියලාවත් නොකියා වෙනත් තැනක පලකරලා ඉවරයි. කොටින් ම කියනවා නම් මම දන්නෙත් නැතුව මම ලිව්ව කෙටිකතාවක් ආශ්‍රයෙන් යු ටියුබ් එකේ Audio book එකක් පවා තියෙනවා. නමුත් සමහර තැන්වලදී කවුරු හරි ඒක රසවිඳිනවානේද කියල මම හිත හදාගන්නවා. නමුත් මුද්‍රිත මාධ්‍යය කෘති PDF හරහා අන්තර්ජාලයට එකතු කිරීම නින්දිත ක්‍රියාවක්. ලංකාවේ වෙළඳපොළ ඇතුලේ සහ ලංකාවේ ප්‍රකාශන වලට තියෙන තත්වය ඇතුලේ රචකයෙක් ලේඛණය හරහා ආදායමක් උපයාගන්න බොහොම දුක් මහන්සියෙන්. ඒ වෙනුවෙන් නිසියාකාරව නෛතික රාමුවක් සම්පාදනය නොවීම කනගාටුදායක දෙයක්.

එරන්ද වාකිෂ්ඨට සහා ඔහුගේ රදළතැන්න කෘතියට – පොත් මී අපෙන් උනුසුම් සුභ පැතුම් !

 

පොත් මී ප්‍රකාශන පුද්ගලික සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න