ලංකාවේ ලිංගිකත්වය ගැන කතා කිරීම සටනක්, ඒක මාත්‍රාවකට කරන්න ඕන, මාත්‍රාව වැඩිවුනොත් අපිටම විෂ වෙනවා
අද පොත් මී අලුත් පොතක් සාකච්ජාව
“පෝ” සමග යලිත් කරළියට එන මුතුමුදලිගේ නිශ්ශංක සමග
1. ඔබගේ අලුත්ම පොත “පෝ”මේ වන විට පාඨකයින් අතට පිදෙන්නට බොහෝම සීම්ත කාලයක් තිබෙන්නෙ. ඔබගේ කතා එකෙනෙකට වෙනස් බොහොම අපූරු මාතෘකා වලින් යුක්තයි. ඉතින් මේ “පෝ” කෘතියත් නම වගේම අන්තර්ගත්යෙනුත් වෙනස් කතාවක්. කතාවේ අන්තර්ගතය ගැන ඔබතුමා මේ වෙද්දිත් යම් යම් ඉඟි පාඨකයින්ට ලබා දීල තිබෙනවා. අපි කැමතියි එහි අන්තර්ගතය ගැන තවදුරටත් පැහැදිළි කිරීමක් දැනගන්න…
ලංකාව වගේ රටක ලිංගිකත්වය ගැන කතා කිරීම සටනක්, ඒක මාත්‍රාවකට කරන්න ඕන, මාත්‍රාව වැඩි වුනොත් ඒක අපිටම විෂ වෙන්න පුලුවන්. මම මෙතෙක් ලියපු ත්‍රිත්ව, බේබී, වගේම පෝ තුලිනුත් කතා කරන්නේ ලිංගිකත්වයේම තවත් පැති කඩක් ගැන.
හැබැයි අර කලින් කිව්ව විදියට අධි මාත්‍රාවෙන් නෙමෙයි. ලාංකිකයින්ගේ මනසට දෙයක් දාද්දී ඒක දාන්න ඕන ටිකක් රස කරලා, එතකොට තමයි හොදට ඔළුවට කිදා බහින්නේ, ත්‍රිත්ව සහා බේබී වගේම පෝ කෘතියත් ත්‍රාසය භීතීය එකතු කරපු, සමාජය නපුංසකයින් නමින් හදුන්වන සංක්‍රාන්තී ලිංගිකයින් ගැන, ඒ ත්‍රාසය යටින් හිතාමත්ම සියුම්ව කතා කරන පොතක්.
මම විශ්වාස කරනවා පෝ අතීශයින්ම ජනප්‍රිය කෘතියක් වේවී
2. ඔබේ හැම කතාවකටම පාදක වුණු යම් කිසි සත්‍ය සිදුවීමක් හෝ අත්දැකීමක් තිබෙන බව ඔබ මීට පෙර සඳහන් කර තිබුනා. ඉතින් මේ පොතත් ඒ වගේ සිදුවීමක් හරහා ලියවුණු දෙයක්ද…?
පෝ මම ලිව්වේ ත්‍රිත්ව සහා බේබී ලියන්නත් කලින්, ඒ මීට අවුරුදු දෙකකට විතර කලින්. පෝ ලියද්දි මම නිර්මානය වැඩිපුරම කේන්ද්‍ර කරපු තැන් දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි “සංක්‍රාන්තී ලිංගිකත්වය” කියන එක.
ඒකෙදී මම සංක්‍රාන්තික ලිංගිකයින් ගැන කවුරුවත් මෙතෙක් කතා නොකරපු වෙනම පැතිකඩක් ගැන කතා කරනවා.
අනිත් එක රහසක්. මම ඒක කිව්වොත් පොත කෙරෙහි තියෙන කුතුහලය නැතිවෙනවා. මොකද පොතේ කේන්ද්‍රය මේ මුලීක කරුනු දෙක. ඒ නිසා මම ඒ ගැන කතා නොකර ඉන්නම්.
පෝ ලියන්න හේතු වුනෙත් ලංකාවේ ජීවත් ව සිටි කාල වකවානුවේදී මා දැකපු සිදුවීමක්. එයත් මම පසුව පැහැදිලි කරන්නම්.
3. ගෝහා – මීශා සහ ත්‍රිත්ව -බේබි ,කියන මේ කතාවල තෙවන කොටස නිකුත් වන තුරු ඔබේ පාඨකයින් බලා සිටිනවා. ඒ කෘතීන් කොයි කාලයේදි වගේ අපට කියවන්නට ලැබෙවිද… ? ඒ වගේම “පෝ”කෘතියෙන් පසුව පාඨකයින්ට ඔබ ලබා දෙන්නට සූදානම් නිර්මාණයක් තිබෙනවාද…?
ත්‍රිත්ව තුන්වන කොටසනම් මේ වෙද්දිත් ලියා අවසන්. ත්‍රිත්ව මුල් කෘතියෙන් සමලිංගිකත්වයත්, දෙවැනි කෘතිය බේබී තුලින් තුන් ඈදුනු ලිංගිකත්වයත් කතා කරද්දී ත්‍රිත්ව අවසන් පොතෙන් මම වෙනස් ම මාතෘකාව එලියට ගේනවා, ඒ තමයි “පරපීඩා කාමුකත්වය” – වෛද්‍ය විද්‍යාවට අනුව ඒක මානසික ව්‍යාකූලතාවයක්. සමාජ සහා සංස්කෘතිකමය කාරනා නිසා එය සැගවී තිබුනත් එයට ගොදුරු වුනු මිනිස්සු අනන්තවත් ඉන්නවා. මම ත්‍රිත්ව තුනෙන් කතා කරන්නේ එහින් ඇතිවන මානසික සහා සමාජීය ව්‍යාකූලතා සහා හානිය ගැන.
පෝ ට පසුව තවත් වෙනස්ම ඝනයේ නිර්මානයක් එන්න තියෙනවා. බාබා එක්ස්, මම බාබා එක්ස් තුලින් ආගම සහා මිථ්‍යාව ගැන වඩාත් පුළුල්ව කතා කරනවා. මම හිතන්නේ මගේ අනිත් කෘතීන්ට වඩා බාබා එක්ස් ලොකු පෙරළියක් කරයි සහා ඒ වගේම මාව සමාජය විසින් තවත් විවේචනයට ලක් කරයි. මට තියෙන්නේ ඒ දිහා සානුකම්පිතව බලාගෙන ඉන්න 🙂
4. ඔබ මින් පෙර ලියන ලද කෘතීන් වලට ලැබුණ පාඨක ප්‍රථිචාර ගැන ඔබට මොකද හිතෙන්නෙ. විශේෂයෙන්ම “ත්‍රිත්ව” කෘතිය බොහෝ පිරිස් අතර කතාබහට ලක් වුනා. ඉතින් විවිධාකාර ප්‍රතිචාර ඔබට ලැබෙන්නට ඇති…ඒ ගැන සිහිපත් කළොත්..?
මම ටිකක් වෙනස් පුද්ගලයෙක්. විවේචන තුලින් මම ලබන්නේ ආශ්වාදයක්. කොටින්ම ත්‍රිත්ව මුල් පොත ලියද්දි ත්‍රිත්ව තවත් පොතක් ලියන්න මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. එහෙත් ත්‍රිත්වට විවේචන සහා ගෙරවුම් වැඩි වෙද්දි මම තවත් එකක් ලිව්වා. ඒකෙන් පස්සේ ත්‍රිත්ව තුනත් ලියලා ඉවර කලා. මාව වට්ටන්න පුලුවන් ප්‍රශංසාවට විතරයි 🙂 මොකද වැඩියෙන් ප්‍රසංශා ලැබෙද්දි මම වැඩිපුර විවේක ගන්න උත්සහා කරනවා. ඒ මගේ හැටි. එහෙත් විවේචන වැඩි වෙද්දි මම තව තවත් ඒ දේ කරන්න පෙළබෙනවා. මගේ ජීවීතේ මම ලබපු බොහෝමයක් ජයග්‍රහන මම ලබා ගත්තේ විවේචන සහා අපවාද නිසා. ඒක හරියට උඩු ගං බලා පිහිනීමක් වගේ. ඒක මට රසවත්.
5. ඔබ හිතනවාද ලේඛකයකුට ඔහුගේ ලිවීම තුල යම් යම් කාරණා සම්බන්ධව සීමාවක් තිබිය යුතුයි හෝ එසේත් නැත්නම් සීමාවකින් තොරව නිදහසේ ඕනෑම කරුණක් ගැන අදහස් දැක්විය යුතුයි කියා…?
මම විශ්වාස කරන කලාකරුවා කිසිම රාමුවකට කොටු වෙන කෙනෙක් නෙමෙයි, එහෙම රාමුවක් තුල කොටුවෙලා ලියනවනම් ඔහු කලාකරුවෙක් වෙන්නත් බැහැ. කලාවට “බිය” එකතු වෙන්න ඕන නැහැ. එහෙම වුනොත් නිර්මානයේ තියෙන වටිනාකම නැති වෙලා යනවා, නිර්මානාත්මක අගය හීන වෙනවා. කලාව කියන්නේ රාමුවක් ඇතුලේ කොටුවෙන්න ඕන එකක් නෙමෙයි. ඒ නිසා මම කැමතියි අත දිග හැරලා ලියන්න. විවේචන රැවුම් ගෙරවුම් ඒවා කලා නිර්මානයකට පොදු දේවල්. තම නිර්මානය බිහිකලාට පස්සේ කලාකරුවගේ කාර්යය එතැනින් අවසන්, ඉතිරිය ජනතාව තීරනය කරයි. ඒ තීරනය මොකක් වෙයිද කියන එක කලාකරුවට අදාල නැහැ. කලාකරුවගේ රාජකාරීය “නිර්මානය තමන්ගේ උපරිමයෙන් අවසන් කිරීම.” එපමනයි. 🙂
6 – ඔබ ලංකාවෙන් පිට බොහෝ කල් ජීවත් වුනු අයෙක්, ඔබේ පෞද්ගලික ජීවීතය ගැනත් කිව්වොත්?
මම ස්විස්ටර්නතයේ සහා අර්මේනීයාවේ ජීවත් වෙන කෙනෙක්. මම රටවල් දෙකක් ගැන ලියුවේ කාලෙන් කලෙට අපි මේ දෙකේම ජීවත් වෙන නිසා. ඒ හැරෙන්න අපි මේ වෙද්දි රටවල් විසිපහක පමන ජීවත් වෙලා තියෙනවා. මගේ බිරිද ස්විස් අර්මේනීයන් මිශ්‍ර කෙනෙක්. අපි ගොඩක් ට්‍රෑවල් කරන අය ඒ නිසා එක රටක හිර වෙලා ඉන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. පෞද්ගලික ජීවීතය ගැන කතා කලොත් මට ඇත්තටම පෞද්ගලික ජීවීතයක් ඇත්තෙම නැද්ද කොහේද මොකද මගේ ජීවීතයේ ගොඩක් සිදුවීම් මගේ පොත් වල තියෙනවා අනිත් ඒවා සමාජ මාධ්‍යන් වල ඇති 🙂 මට ඕන මැරෙන මොහොතක වුනත් නිදහසේ මැරිලා යන්න ජීවීතය ගොඩක් සංකීර්න කර ගන්නේ නැතිව.
Comments
Post a Comment