කන්‍යා කෘතියෙන් ඔබ හමුවට එන නිශාදිනී අල්විස් අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්
අද පොත්මී “අලුත් පොතක්” විශේෂාංගයෙන් ඔබ හමුවට එන්නේ කන්‍යා කෘතිය නිර්මානය කල නිශාදිනී අල්විස්.
- මුලින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්?
මම නිශාදිනී අල්විස්. සම්පුර්ණ නමම කිව්වොත් තිළිණි නිශාදිනී අල්විස්. මං කළුතර. පවුලේ එකම දරුවා මම. මං හිතන්නෙ මගේ පෞද්ගලික විස්තර ප්‍රමාණවත් වෙවී.
- ‘කන්‍යා’ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්?
ඔව් ඇත්තටම. කන්‍යා මගේ පළවෙනිම මුද්‍රිත නවකතා පොත. කන්‍යා නවකතාවේ අන්තර්ගතය ගැන කතා කළොත්… ඒක පුනරුත්පත්ති කතාවක්. නාග ලෝකයත් මනුස්ස ලෝකයත් යා කරන පුනරුත්පත්ති කතාවක්. වර්තමානයෙන් අතීතයට… ඒ අතීතයෙනුත් තවත් ආත්ම ගාණක් ඈතට දිවෙන අපූරු කතා පුවතක්.
- මේ කෘතිය එළිදැක්වීමේ කාර්යයේදී ඔබට ගොඩක් බාධක අභියෝග වලට මුහුණ දෙන්නටත් සිදුවෙන්නට ඇති. ඉතින් ඒ සියල්ල ජයගෙන මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කළොත්..?
සත්තකින්ම කිව්වොත් මේ පොත එළිදැක්වීමේ දී මට කිසිම බාධාවක් එල්ල උනේ නෑ. මොකද… කතාව ලියාගෙන යන අතරතුරේ මම ප්‍රවීණ ජනප්‍රිය ලේඛිකා මොනිකා පුෂ්පකුමාරි අක්කට මම කිව්වා අක්කේ මං මෙන්න මෙහෙම කතාවක් ලියනවා. අක්කට ඉවර තියන වෙලාවක පොඩ්ඩක් බලන්න. අක්කා කැමති නං මං ආසයි මේ කතාව පොතක් කරන්න කියලා. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා උදේම මොනිකා අක්කා මට කතා කරලා කිව්වෙ නංගි ඒ කතාව පොතක් වෙලා මිනිස්සු අතරට යන්නම ඕන පොතක් මං ඒක කරන්න කැමතියි කියලා. ඉතින් කන්‍යා පොතක් උනේ ඒ විදිහට. ඉතාම කෙටි කාලයක් ඇතුළත මොනිකා අක්කා පොත මගේ අතේ තියද්දි සත්තකින්ම මට දැනුණේ මගේ පුංචි පුතා මගේ අත් දෙකට ලැබුණා වගේ සතුටක්. කන්‍යා පොතක් උනේ මොනිකා පුෂ්පකුමාරි අක්කා, මහින්ද හෙට්ටිආරච්චි අයියා සහ වර්ණ ග්‍රැපික්ස් ආයතනය මාව විශ්වාස කරපු නිසා. අනාගතේ මං කොතන හිටියත් ඒ මේ තුන් දෙනා නිසාමයි. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මං හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ඒ තුන් දෙනාට. මගේ මුල්ම පාඨකයා මගේ අම්මා. අදටත් ඒක එහෙමයි. අම්මා මගේ ලෝකෙ වීරයා. ඊළඟට මගේ මහත්තයා ‘ තුෂාන් මන්ධුක ‘ ලියන්න කියවන්න ආස කෙනෙක් නෙවේ උනත් මට දෙන නිදහස සහ ශක්තිය උපරිමයි. මට එන හැම ගැටළුවක් ම මං කතා කරන්නෙ එක කුස උපදින්න බැරි උනත් මට සහෝදරියක් ම වෙච්ච මගේ අක්කා ‘ සංජනා සුගන්ධි ‘ එක්ක. එයා හොඳ අසන්නියක්. ඒ වගේම මගේ හැම ප්‍රශ්නෙකටම රට පෙරලලා හරි උත්තර හොයදෙන්නේ එයා. ඒ වගේම මං ලියන හැමදේම කියවලා අදහස් දක්වන මගේ ආදරණීය පාඨක හිතවතුන්. ඇත්තටම මට ඉන්නවා අගය කිරීමෙන් විතරක් නොනැවතී අඩු පාඩුවක් දැක්කොත් පෙන්වන ආදරණීයයන් පිරිසක් මට ඉන්නවා. මේ අය නොවෙන්න මං අද මෙතන නෑ. ඉතින් මං මේක අවස්ථාවක් කරගන්නවා ඒ හැමෝටම අනේක වාරයක් ස්තුතියි කියන්න.
- ලේඛිකාවක් වීම අහම්බයක්ද එහෙමත් නැතිනම් ලේඛිකාවක් විය යුතුයි යනුවෙන් ඔබ තුල තිබුනු අරමුණක් එක්ක ආපු ගමනක්ද මේක. කොහොමද මේ ලේඛන කලාවට පිවිසෙන්නට පදනම වැටුනේ..?
ලිවීම මම කළේ පාසල් යන කාලෙ ඉඳන්. ඒ ලිවීම් වලට ජයග්‍රහණත් බොහෝ ලැබිලා තියෙනවා. උසස් පෙළ කරද්දී අපේ සිංහල විෂය භාර බී. එස්. පෙරේරා ගුරුතුමා මට කිව්වෙ ‘ ගජමන් නෝනා ‘ කියලා. ඒ කාලේ එච්චරට කවි ලිව්වා. උසස්පෙළ ඉවර උනාට පස්සෙ මං ආසාවට කෙටිකතා ලිව්වා. බොහොමයක් ලිව්වා. හැබැයි අම්මටයි අක්කා සුගන්ධිටයි විතරයි පෙන්නුවේ. ලියපු ඒවා එහෙමම තියාගත්තා. ඒ කාලෙදිත් මං නවකතාවක් ලියමින් තිබුණා. නමුත් අවාසනාවකට ඒක අස්ථානගත උනා මගේ ආච්චිගේ මළ ගේ වෙලාවෙ. ඊටත් පස්සෙ ආයෙම මුහුණු පොත හරහා තමයි එළියට එන්නෙ මම. ඉතින් ලිවීම අහම්බයක් නෙවේ. ඒකට මං හරි ආසාවෙන් හිටියා සහ හැකි හැම වෙලාවෙම ලිව්වා. අදටත් මං අවුරුදු ගාණකට කලින් ඉඳන් ලියපු කවි මගේ ළඟ තියෙනවා.
- ඔබේ නිර්මාණ තුලින් පාඨකයාට කුමන ආකාරයේ පණිවිඩයක් දීමටද ඔබ උත්සාහ කරන්නේ..?
අනිවාර්යෙන් මට ඕන මගේ කෘතියක් තුළින් පණිවිඩයක් දෙන්න. හැබැයි හැම කෘතියකින් ම මට දෙන්න ඕන පණිවිඩය මේකයි කියන්න බෑ. මොකද ඒ පණිවිඩය කතාවෙන් කතාවට වෙනස්. නමුත් අනිවාර්යෙන් මගේ කතාවක් තුළින් මම යම් යහපත්, වැදගත්, හරවත් දෙයක් සමාජයට දෙනවා. උදාහරණයක් විදිහට කන්‍යා ගත්තොත් කියවපු හැමෝම කිව්වෙ කොයියම්ම සතෙක් ට කොච්චර කේන්තියක් ඇවිත් ගහන්න හෝ හානියක් කරන්න හැදුවත් කන්‍යා මතක් වෙලා අදහස වෙනස් කරගන්නවා කියලා. ඒ තරම් පව කියන දේ ට බය උනා ලු. අන්න ඒ වගේ කුමක් හෝ හොඳ දෙයක් දෙන්නයි මට ඕන.
- අලුතින් මුද්‍රණය වන බොහෝමයක් පොත් වල මිල ගණන් දැරීමට නොහැකි බව මේ දිනවල සමහර පාඨකයන් අතර කතාබහට ලක්වෙමින් තිබෙනවා. ඔබ ලේඛිකාවක් වගේම පාඨකයෙක් වශයෙනුත් ඒ ගැන දරන අදහස කුමක්ද..?
මෙහෙමයි. ලිවීම කියන්නෙ කුසලතාවයක්. ඒක හැමෝටම පිහිටන්නේ නෑ. කෘතියක් නිම වෙන්නෙ සිතිවිලි මතින්. මේ සිතිවිලි ගැලපිල්ල වෙලාවකට හරි වෙහෙසකාරී. ලියන්නන් වාලේ ලියලා පොතක් කරන්න බැහැනේ. අන්තර්ගතය හරවත් ව රසවත් ව මවන්න ලියන්නා අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. ඊට අමතරව සාර්ථක කෘතියක් බිහි කරන්න ලියන කෙනෙක් නොසැහෙන්න මහන්සි වෙන්න ඕන. සමහර කෘති ලියන්න කිව්වට විස්වාස නොකරන තරම් කාලයක් කරුණු එකතු කරන්න ඕන. ඒවා පෙළ ගස්වන්න ඕන. ඉතින් එතැනදී මේ දරන අප්‍රමාණ වෙහෙසත් එක්ක පොතකට ටිකක් ඉහළ මිලක් තියන්න සිද්ද වෙන අවස්ථා තියනවා. හැබැයි… ඒ මිල තැබීම දෙපාර්ශවයටම සාධාරණ විය යුතුයි කියන තැන පෞද්ගලිකව මං ඉන්නවා. මෙතනදී ලියන කෙනාට අසාධාරණයක් නොවෙන්න වගේම පොත ගන්න කෙනාට දැරිය හැකි අසාධාරණ මිලක් නියම නොකරනවා නම් අගෙයි. උදාහරණයක් විදිහට… මගේ කන්‍යා නවකතාවේ පිටු 280 කින් යුක්තයි. මිල රුපියල් 590/=. මං හිතන්නෙ ඒ මිල දෙපාර්ශවයට ම අසාධාරණ නෑ මං හිතන හැටියට
- ඉදිරි නිර්මාණ ගැන මේ වෙනකොට ඔබ තුල අදහසක් තිබෙනවාද..? ඒ වගේම ඔබ ලිවීමට ප්‍රිය කරන යම් කිසි ශානරයක් තිබෙනවාද..?
ඉදිරි නිර්මාණයක් ගැන දැනට අදහසක් නෑ. තාම වස්තු බීජයක් ගැන කල්පනා කරන ගමන්. කොහොමත් එකම රාමුවකට කොටු වෙන්න මම කැමති නෑ. කන්‍යා වගේ කතාවක් ඒ කියන්නෙ පුනරුත්පත්ති ඊළඟ නිර්මාණය හැටියට කරන්න බලාපොරොත්තුවක් නෑ. එහෙම උනොත් ඒකාකාරී වෙනවා. ඒ නිසා පාඨකයාට පණිවිඩයක් දිය හැකි නමුත් වෙනස් යමක් හොයන ගමන් තවම.
- “කන්‍යා” කෘතිය මුද්‍රිත මාධ්‍යයෙන් එළිදැක්වීමට පෙර ඔබ මුහුණු පොත හරහා කතාවෙහි කොටස් ගණනාවක්ම පළකර තිබුනා. ඒ හරහා විශාල පාඨකයින් පිරිසකුත් ඔබ වටා එක් වුනා. නමුත් අපට සමහර අවස්ථා වල සමාජ මාධ්‍ය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී විවිධ අපහසුතාවයන්ට ලක් වන්නට සිදුවන අවස්ථා ද හමුවෙනවා. ඒ පිළිබඳ ඔබේ අත්දැකීම් මොනවාද ?
කන්‍යා මං මුහුණු පොත වෙනුවෙන් ලියපු හතර වෙනි කතාව. මුල්ම කතාව මං ලිව්වෙ ෆේක් එකවුන්ට් එකකින්. කන්‍යා හරහා ඇත්තටම මට ලොකු ආදරණීයයන් පිරිසක් එකතු උනා. මට ආදරේ කරන පිරිසක් එකතු උනා. ඒක මගේ වාසනාවක්. හරි බුද්ධිමත් පාඨක පිරිසක් කන්‍යා හරහා මා වටේ එකතු උනා. ඒකයි මගේ ලොකුම වාසනාව. සමාජ මාධ්‍ය තුළින් කතාවක් ඉදිරිපත් කරද්දි ඇත්තටම සමහර වෙලාවට අපහසුතා වලට මුහුණ පාන්න සිද්ද වෙච්ච අය බොහොමයි. දැනට මට එවැන්නක් සිද්ද වෙලා නෑ. එහෙම නැත්නං මගේ නිර්මාණයක් සොරකම් කිරීමක් ගැන මට දැනගන්න ලැබිලා නෑ. කොහොම උනත් කෙනෙකුගේ සිතිවිලි සොරකම් කිරීම හරි කණගාටුවට කරුණක්. හරිම නින්දා සහගත ක්‍රියාවක්.
- ඔබේ ප්‍රියතම ලේඛිකාව/ ලේඛකයා කවුරුන්ද?
ඊට හේතුව ? ප්‍රියතම ලේඛකයා හෝ ලේඛිකාව… හිතට සැහැල්ලුවක් දනවන්න පුළුවන් ඕනෑම පොතකට මං ආසයි. එක එක අයගෙ එක එක පොත් වලට ආසයි. ඒ අතරින් මොනිකා පුෂ්පකුමාරි අක්කා ට මං ගොඩක් ආසයි. ඇගේ පොත් එකිනෙකට වෙනස් සහ විශේෂයෙන්ම හරි අර්ථවත්. ඇගේ කෘති වලත් තියෙන්නේ කතාවක් විතරක්ම නෙවේ. ජීවිතයට එකතු කරන්න පණිවිඩයක් තියනවා ඇගේ කතා වල. හැමදේටම වඩා ඈ හරි නිහතමානී සුහදශීලි කෙනෙක්. Enid Blyton… ඇයත් මං ආසම කෙනෙක්.
- ලේඛිකාවක් විදිහට මේ ආරම්භ කළ ගමන හැරුනුකොට ඔබේ අනෙකුත් අනාගත බලාපොරොත්තු මොනවාද?
මගේ එකම බලාපොරොත්තුව මගේ පුතා ‘ කිරුළු සස්මිත ‘ එයා ඉපදුනේ ම එයාගෙ අම්මට තාත්තට වාසනාව දෝතින්ම අරං. මට ඕන මං නොදැක්ක ලෝකෙ එයාට පෙන්නන්න. හොඳම හොඳ දරුවෙක් වෙලා ලෝකෙම දිනනවා දකින එකයි මගේ ලොකුම බලාපොරොත්තුව.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment