වින්ද්‍යා ඉශානි සමග පොත් මී අලුත් පොතක්

1. මුලින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත් ?
මං පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කෙනෙක්ගේ නිර්මාණයක් හොඳ නම් ඒක වැළඳගන්නව මිසක් එතනින් එහාට විස්තර හොයන එක තේරුමක් නෑ කියන එක.ඉතින් සරලවම කිව්වොත් මං තාම තෙවනි වසරෙ ඉගනගන්න ශිෂ්‍යාවක්.
2. ලේඛකයෙක් / ලේඛිකාවක් කියන්නේ විශාල අත්දැකීම් සමුදායක් වගේම ලොකු දැනුමක් තිබෙන කෙනෙක්. ඔබ වැනි තරුණ වයසේ කෙනෙක් මෙවැනි කෘතියක් එළිදැක්වීම විශාල ජයග්රහනයක්. ලේඛන කලාවට පිවිසෙන්නට ඔබට අඩිතාලම වැටුනේ කොහොමද?
මං ඉස්කෝලේ යන කාලෙ සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කරල තිබුණා.ඒත් මම විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරන්න පටන් ගත්තට පස්සෙ ඒ දේවල් ටිකක් මඟ ඇරුණා.ඒත් ෆේස්බුක් එකේ ලියන්න පටන් ගත්තට පස්සෙ ඒව දැකලා මට පුවත්පත් වලින් ලිපි ලියන්න ආරාධනා ලැබුණා.ඒ විදියට තමයි මාව පාඨකයන් ලේඛිකාවක් විදියට අඳුනාගන්නේ.
3. මළවුන් අකුරු කරයි කියන්නෙ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. ඉතින් මේ කෘතිය මොන වගේ සිද්ධියක් සම්බන්ධව ලියවුනු කෘතියක්ද?
මේක සරලවම කිව්වොත් අද්භූත කතාවක් . මං පොතේ හැඳින්වීමෙන් කොටසක් මෙතන සඳහන් කරන්නම්. “”අද්භූත කතා ලෙස මුලින්ම මා අසා තිබුණේ බාල කාලයේදී අපි අපි කතාවුණ කතාන්දරය.අත්දුටු සිද්ධීන් හෝ කොහෙන් හෝ ආරංචි වී තිබූ පුවත් ය. යොවුන් වියට එළඹී තරමක් කුඩා අකුරින් මුද්‍රිත පොත් කියවාගතහැකි අවධියේදී පාසල් පුස්තකාලයේ තිබූ අද්භූත කතා ඇතුළත් පොත් කියවීමට අමතරව ඒවා පන්තියේ මුල්ලකට වී විශ්ලේෂණය කිරීමේ අපූරු සිරිතක්ද අපිට විය.වයසත් සමඟ සිනමාව ජීවිතයට සමීප වීමේදී කොහෙන් හෝ නැරඹූ හොල්මන් චිත්‍රපට ගැන විදුලි විසන්ධි වී පාඩම් ඉගැන්වීම අඩපණව තිබූ අඳුරු හැන්දෑවල කුටු කුටු ගෑම සිත පිනවන්නක් විය. මෙම කෘතිය තුළ ඇත්තේ එකී කතා බස්, සිනමා සිත්තම් වලින් මනසට කාවැදුණු කම්පන, කියවූ අකුරු වලින් හිතට වැටුණු සෙවණැලි සහ පාසලේදී අපට විසඳාගත නොහැකිවුණු අභිරහස් වල සම්මිශ්‍රණයක් බව කිවහොත් නිවැරැදිය”
4. ඔබේ මේ කෘතිය එළිදැක්වීමේ කාර්යයේදී බොහොමයක් දෙනා උදව් කරන්නට ඇති. ඒ අය ගැනත් සඳහනක් කළොත්?
අම්මා, තාත්ත ඇතුලු මගේ පවුලේ අය, නොහිතපු වෙලාවක පොතක් එළිදක්වමු කියලා ඒ කටයුත්ත අවසන් වෙනකන් කැපවුණ චාමර අයියා ඇතුලු CR Publishers සියලුම දෙනා.අකුරු උගන්වපු ගුරුවරු ,නෑදෑයො ,මං ලියන එක අකුරක් හරි ආසාවෙන් කියවල තියන සේරම පාඨකයන් , ඒ වගේම පුවත්පත් වලට ලිපි ලිවීමට මට ආරධනා කල හැමෝමත් මතක් කල යුතුමයි.
5. ඔබේ පළමු කෘතියම බොහෝමයක් පාඨක පිරිස ආදරයෙන් වැළඳගත්තා. ඉතින් ඒ පාඨකයින් දැන ගන්න කැමති ඇති ඔබේ ඉදිරි නිර්මාණ ගැනත්. ඉදිරියට ඔවුන් වෙනුවෙන් මොන වගේ නිර්මාණද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
තාම ඒ ගැන අදහසක් නෑ.ස්වතන්ත්‍ර විදියට තනියම හිත හිත ලියන එකට කොච්චර කල් යනවද කියල ලියන කෙනාටවත් හිතාගන්න බෑනෙ.අදහසක් ආවෙ නැත්තන් අවුරුද්දක් වුණත් කල්පනා කර කර ඉන්න වෙනවා.
6. ලේඛන කලාවෙන් ඉදිරියට යාම හැරුනු කොට ඔබේ අනෙකුත් අනාගත බලාපොරොත්තු මොනවාද ?
මේ සංකීර්ණ ලෝකෙන් මිදිලා ,මිනිස්සු හැල්මේ දුවන රේස් එකෙන් අයින් වෙලා නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න එක.
7. ලේඛකයෙක් / ලේඛිකාවක් වෙන කෙනෙකුට තමාගේ දැනුම වර්ධනය කරගන්න පොත් කියවීමත් බොහොම වැදගත් වෙනවා. ඉතින් ඔබ කැමති කුමන ශානරයකට අයත් පොත් කියවන්නද ..?ඒ වගේම ඔබ කැමතිම ලේඛකයෙක් හෝ ලේඛිකාවක් ඇති . ඒ කවුද ?
එහෙම එකක් කියල නැහැ.ඔලුවට වදයක්,කියවනකොට ලොකු පීඩනයක් දැනෙන්නෙ නැති ඕනිම පොතක් කියවනවා.මැටිල්ඩා ,රමෝනා ,ටොට්ටෝ චං වගේ හිතුවක්කාර අපූරු ළමයින්ගෙ කතා තියන පොත් වලට වැඩියෙන් කැමතියි. කැමතිම ලේඛිකාව එනිඩ් බ්ලය්ට්න්.කැමතිම ලේඛකයා ඒ පොත් අපිට පුංචි කාලෙ සිංහලෙන් කියවන්න පරිවර්තනය කරපු සුදත් රොහාන් මහත්මයා .ඒ වගේම ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද මහත්මිය.
8. ඔබ හිතන විදිහට ලේඛකයෙකුට සමාජය වෙනුවෙන් කළ හැක්කේ කුමන ආකාරයේ මෙහෙවරක්ද.?
මිනිසා කියන්නෙ මැෂින් එකක් නම් ශරීරය කියන්නෙ ඒ මැෂින් එක හදන්න ගත්ත ලෝහ ටික නම්, දැනුම කියන්නේ විදුලිය නම් සාහිත්‍ය තමයි ඒ මැෂින් එකට දාන ලිහිසි තෙල් වෙන්නෙ .සාහිත්‍ය නැත්තන් ජීවිත කටුක,ගොරහැඩි වෙනව.ජීවිත ඉක්මනට ඔහේ ගෙවිල යනවා.ජීවිත අඩපණ වෙනවා.සුමට නැති වෙනවා.. ඉතින් සාහිත්‍ය නිර්මාණය කරන කෙනෙක් විදියට ලේඛකයෙක්ට පුළුවන් වෙන්න ඕනි මිනිස්සුන්ගෙ හිත්වල සංකල්ප රූප මවන්න.ඒකෙන් යාන්ත්‍රික ජීවිත අර විදියට සුමට කරන්න .
9. වත්මන් පරපුර බොහෝ විට පොත් පත් කියවීමට වඩා සමාජ මාධ්‍යට ඇබ්බැහි වී සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ඒක එක එක්කෙනාට සාපේක්ෂයි.ගොඩක් දෙනා සමාජ මාධ්‍ය වලට එන්නෙ තමන්ගේ එදිනෙදා වැඩ හින්දා හෙම්බත් වෙලා පොඩි විවේකයක් ගන්න.ඒ වෙලාවට මිනිස්සු ආසයි Meme එකක් බලල හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න.ඒ ක්ෂණික විනෝදාස්වාදය ඒ වගෙ වෙලාවට පොතක් කියවලා ගන්න අමාරු වෙන්න පුළුවන් … ඒත් ඒ කෙනාම නිවී සැනසිල්ලේ හොඳ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක් හම්බුණාම පොතක් කියවනවා වෙන්න පුළුවන් .හැබැයි මනුස්සයෙක් වුණාම අඩු ගානෙ ෆෝන් එකක් පාවිච්චි කරන්න පටන් ගන්න කලින් කාලේ, ඒ කියන්නෙ පාසල් කාලෙ ඉවර වෙනකන්වත් කියවීමේ පුරුද්දක් හදා ගන්න එක ගොඩක් වටිනවා.මොකද ඩිජිටල් මාධ්‍ය වලින් අපේ පරිකල්පන හැදෙනව අඩුයි.චිත්ත රූප මවා ගන්න එක සංවර්ධනය කරගන්න පොත් කියවන එක උදව්වක් වෙනවා.
10. අවසාන වශයෙන් ඔබට ආදරය කරන ඔබේ පාඨක පිරිසට ඔබට කියන්න තියෙන්නේ මොනවාද?
ඒ හැමෝම ගොඩක් වෙනස් විදියට හිතන හොඳ පාඨකයො පිරිසක්.වැරදි,අඩුපාඩු තිබ්බොත් කියනවා.බොරුවට පුම්බල තියල නැති තැන බනින අය නෙවෙයි .ඉතින් ඒ වගේ පාඨකයො පිරිසක් ඉන්න එක ගැන සතුටුයි .
පොත් මී ප්‍රකාශන පුද්ගලික සමාගම
Comments
Post a Comment