කතා කරන මහ වැව කෘතියෙන් ඔබ වෙත එන සුමනා විජේරත්න මහත්මිය අද පොත්මී සමග

කතා කරන මහ වැව කෘතියෙන් ඔබ වෙත ආ සුමනා විජේරත්න මහත්මිය, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගයෙන් –

 

Sumana Wijerathne SriLanka writer

 

01. කතා කරන මහවැව කියන්නේ ඔබගේ දෙවෙනි කෘතිය. වෙනස්ම මානයක් ඔස්සේ ලියවුන මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි පැහැදිළි කිරීමක් කළොත්…?

පොතේ අන්තර්ගතය පදනම් වෙලා තියෙන්නේ ලංකාවේ කුඩා වාරිමාර්ග පද්ධතිය සහ එම තාක්ෂණය හා බැඳුණු ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳව කතිකාවතක්. හැබැයි මේක ගොතපු කතාවක් වත් එහෙම නැත්නම් පර්යේෂණ කෘතියක් වත් නොවෙයි. ඒවගේම මේක මගේ ජීවිත කතාවත් නොවෙයි. හැබැයි මේ පොතේ ඇතුළත් හැම සිද්ධියක්ම, හැම කතන්දරයක්ම සත්‍යය කතා සහ මගේම අත්දැකීම්. අන්තර්ගතය කාලය හා අවකාශ තරණයක්. ඉතිහාසයට යනවා වගේම ලංකාව විතරක් නොවෙයි ලෝකය පුරාත් යනවා. හැබැයි වැඩි පුර කේන්ද්‍රගත වෙලා තියෙන්නේ හැටේ දශකයේ කුඩා දරුවෙක්ව සිට, හැත්තෑව දශකයේ නව යොවුන් විය අභිනන්දනය කළ, අසූව සහ අනූව දශකයේ රාජ්‍යය සේවයේ සිට, නව මිලේනියාවේ දී තම පවුල සමඟ කැනඩාවේ පදිංචියට පැමිණි ශ්‍රි ලාංකික ගැමි දියණියක් තමන් ගේ ඇසින් තම ගමේ සිදුවී ඇති විපරිණාමය දෙස බලමින් එය ලෝක තත්වයන් වගේම ලංකාවේ ඈත අතීතය සමග සාපේක්ෂව සසඳමින් යම් පණිවිඩයක් දීමට දරණ උත්සාහය.

02. ඔබ මේ කෘතිය තුළින් පාඨකයාට , ඒ වගේම වත්මන් සමාජයට දෙන්නට උත්සාහ කරන්නේ මොන වගේ පණිවිඩයක්ද…?

අද මුලු ලෝකයම මුහුණ දීලා තියෙන අර්බුදයක් තියෙනවා. ඒක තමයි අසීමිත ලෙස මිහිතලයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, පරිසරයට කොහෙත්ම ඔරොත්තු නොදෙන ආකාරයෙන් අපද්‍රව්‍ය මුදාහරිමින්, මානව සංහතියම ලෙඩ කරමින් කරනු ලබන පාරිසරික හානිය. මේ තත්ත්වයට පදනම වැටුනේ හැටේ දශකයේ. ලෝකය පුරාම පාරිසරික සමතුලිතය බිඳ වැටීම ආරම්භ වුණේ ඔය කාලෙදි.

ලංකාවේ කුඩා පරිමාණ වාරි ශිෂ්ඨාචාරය තුළ මිහිතලයේ සමෝධානය රැඳිලා තිබුණා චිරාත් කාලයක් මුළුල්ලේම. වැඩ වසම් ක්‍රමය තුළ දුප්පත්කම, කුල ක්‍රමය වැනි එකතැන පල්වෙන ගති ග්‍රාමීය ජන සමාජයේ තිබුණාට, හැටේ දශකය වන විට, ඒවායේ යම්කිසි ප්‍රගමනකාරී තත්වයක් සමාජය තුළ ගොඩනැගී තිබුණා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා හැත්තෑව දශකයේ දී. ඒවගේම ඒක උඩුයටිකුරු උණා අසූව අනූව දශක වල. මෙන්න මේ තත්ත්වයට පදනම් වු හේතු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා නොගෙන, පිළියම් හෝ ඉදිරි සැලසුම් ගැන කතා කරන්න අමාරුයි. අන්න ඒ අවබෝධය පිළිබඳව කතිකාවතක් ගොඩනැගීම තමයි මම මේ පොතෙන් බලාපොරොත්තු වන්නේ
නුතනවාදීන් හැම විටම, වාමවාදීන් පවා ඉපැරණි ක්‍රමෝපායන් කෙලින්ම ප්‍රතික්ෂේප කරන්නේ, යුරෝපීය වැඩ වසම් ක්‍රමයට අපේ වැඩවසම් ක්‍රමය සියයට සියයක්ම සමපාත කරගෙනයි. එම නිසා ඒ අය, දේශීය තාක්ෂණය, හෙල වෙදකම දේශීය ගොවිතැන වැනි සුභවාදී අංග පවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

හැබැයි බටහිර අද ලෝකය පුරාම ඇති පාරම්පරික දැනුම් සම්භාරයන් ඒකරාශී කරමින් සිටිනවා. වැහි වතුර ගබඩා කිරීම rain water harvesting නමින් ඇමරිකාවේ පවා පර්යේෂණ කරනවා. අපි වැව් ගොඩකරලා පිට්ටනි හදනවා. මේ ගැන යලි අවධාරනය කිරීම තමයි මෙහි පණිවුඩය.

 

Sri Lanka new Sinhala book "Katha karana maha wawa" buy online

 

03. කතා කරන මහ වැව තුල තියෙන්නේ අපේ ඉතිහාසය . ඒ තුළින් පොත කියවන පාඨකයා වසර ගණනක් ඉපැරණි ඉතිහාසයකට ගෙන යනවා. නමුත් මෙය පාඨකයාට වෙහෙසකින් තොරව රසව්ඳිය හැකි කෘතියක්. පාඨයාට ඒ රසය ලබා දීමට ඔබ මෙහිදී භාවිතා කළ උපක්‍රම මොනවාද…?

මේක ඇත්ත. මම මේක ඉදිරිපත් කරන්නේ පුරා විද්‍යාත්මක වාර්තාවක් විදිහට නොවෙයි. පුරා විද්‍යාත්මක තොරතුරු හැම එකකටම වාගේ මම මගේම කතන්දරයක් ඈඳලා තියෙනවා එය රසවත් කරන්න. ඒක නිසා පාඨකයාට නොදැනෙන්න මම ඒ තොරතුරු ඒ අය ලවා අභිනන්දනය කරවනවා.

04. ඔබ විසින් ලියන ලද පළමු කෘතිය ගැනත් අපි මතක් කිරීමක් කරමු…
මගේ පළමු කෘතිය යුගදිවිය අරණේ සිසිලස. එයට පදනම් කර ගත්තේ බෞද්ධ සාහිත්‍යයේ එන විශාඛාවට, විවාහ වන දිනයේ දුන් අවවාද. මෙම අවවාද වල සම්ප්‍රදායික නිර්වචන අතික්‍රමණය කරමින් ඒ සඳහා දහමේ හරාත්මක කරුණු ගලපා ඉදිරිපත් කිරීමක් තමයි එම පොත. ඒක ඇත්තටම මුල් කතාවට අර්ථකතනයක් කියන්න පුළුවන්. ඒ වගේම විශාඛාව කියන්නේ පැරණි සාහිත්‍ය කෘතිවල සාම්ප්‍රදායිකව ආකෘතිගත කරලා හිරකරලා තියෙන චරිතයක් නොවෙයි, ඇත්තටම සම්ප්‍රදාය විරෝධී උඩුගම්බලා ගිය චරිතයක් කියන එක තමයි මම මේ පොතෙන් ඉදිරිපත් කරන්නේ.

05. කතා කරන මහ වැව මිළදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පාඨක පිරිසට එය මිළදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කළොත්…?

ත්‍රිමාන තමයි මෙහි ප්‍රකාශක. දැනට ත්‍රිමාන,සමුද්‍රා, බොරැල්ල, කුරුණෑගල සහ අනුරාධපුර ශාඛා වලින් සහ, සරසවි සියළුම ශාඛා සූරිය -මරදාන, දයාවංශ ජයකොඩි -මරදාන, ඔනීරෝ- මහරගම සහ

Online – Thrimana Publications (Pvt) Ltd, Grantha.lk, Bookmark.lk, Booksy.lk, URead.lk, අමුතු කඩේ, vdharshana.lk තුළින් මිලදී ගන්න පුළුවන්.

 

Sri Lanka new books buy online

 

06.. ඔබ කෘතියක් ලෙසින් මෙය එළිදක්වන්නට ප්‍රථමයෙන් මුහුණු පොතේ මේ කතාව කොටස් වශයෙන් පළකර තිබෙනවා. ඉතින් මෙය මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයන් අතට පත් කිරිම සඳාහා වූ කාර්යයට ඔබව දිරිමත් කළ , ඔබට උපකාර කළ පිරිස ගැනත් මේ මොහොතේ මතක් කිරීමක් කළොත්…?

අද තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ජාල සැඟවුණු දක්ෂතා කරළියට ගෙන ඒමට අප්‍රතිහත මෙහෙවරක් ඉටුකරනවා. මහාසම්මත රජ පෙලපත වගේ පාරම්පරික උරුමයන් බවට පත්ව තිබූ බොහෝ කලා මාධ්‍යයන් ට මෙය පොදුයි. මුහුණු පොත වගේම Google docs ඇප්ලිකේෂන් එක තමයි මා තුළ නිදා සිටි ලේඛන හැකියාව අවදි කළේ. දළ පිටපත් කියවමින් ලයික්ස් කොමෙන්ට්ස් වලින් මා දිරි ගැන්වූ මිතුරු මිතුරියන් ආදරයෙන් සිහිපත් කරනවා මුලින්ම.
ඒ වගේම, ‘මේ වැවට කතා කරන්න පුළුවන් නම්’ කියමින් පොත ලිවීමට ඇරයුම් කළ මගේ පාසැල් මිතුරිය විමලා රත්නායක, මෙහි සෝදුපත් කියවමින් මා හට ලබා දුන් සහය අනුපමේය යි.

මෙය පොතක් ලෙස පාඨකයන් අතට පත් කරන විදිහ ගැන මට උපදෙස් ලබා දෙමින්, ත්‍රිමාන ප්‍රකාශිකා උත්පලා මධුවන්තිට මා හඳුන්වා දුන් වියත් මිතුරා වන සිසිර ගමගේ මහතා සහ ඔහු මට හඳුන්වා දුන් මගේ මිතුරෙක් වන විපුල සුමනසේකර මෙහිදී මම විශේෂයෙන් මතක් කරනවා.

07. ” කතා කරන මහ වැව ” කෘතියෙන් පසු ඉදිරියේදි තවත් නිර්මාණයක් ගැන අදහසක් මේ වන බිට ඔබට තිබෙනවාද…?

කතාකරන මහවැවට කළින් ලියා අවසන් කළ, මගේ ලේඛන දිවියේ විශාල ජයග්‍රහණයක් වන ‘බුදුන් දුටු සමාජවාදය’ 2021 ජූනි මස එළි දකිනවා. සම්ප්‍රදායික බුද්ධාගම වෙනුවට බුදු දහමේ ගැඹුරු හරය සරල බසින් ඉදිරිපත් කළ එකී දහම සමාජ දේශපාලනය වෙත යොදා ගැනීමට අනාගත පරපුර අවදි කිරීම එහි අරමුණ යි.

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න