මේඝ වර්ෂා සමග ඔබ හමුවට එන දිලිනි ගයානී ගුනසේකර

අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවට එන්නේ මේඝ වර්ෂා කෘතිය රචනා කල ලේඛිකා දිලිනි ගයානී ගුනසේකර.

Dilini Gayani Gunasekara

 

1. “මේඝ වර්ෂා” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු නවකතාව වුනත් මේ කතාව බොහෝමයක් පාඨකයින් මුහුණුපොත තුළින් කියවලා ආදරයෙන් වැළඳගත් කතාවක්. ඉතින් “මේඝ වර්ෂා ” මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින් වෙත ගෙන ආ කාර්‍යට ඔබට සහය දුන් අය ගැන මුළින්ම මතක් කරමු…

මුලින්ම ස්තූතිවන්ත වෙනව නොහදුනන්නී ප්‍රකාශන අනූෂා ප්‍රනාන්දු නංගිට. ඇය කතාකරල තමයි මේඝ වර්ෂා පොතකට ගමු කියන යෝජනාව ගෙනාවේ. ඒ නිසා මගේ පළමු ස්තූතිය අනූෂා ප්‍රනාන්දු නංගිට. තව මගේ අම්ම රෝහිණී පතිරණ, ඇය තමයි මම සංස්කරණ කටයුතු කරන සෑම මොහොතකට මට සහයට මගේ දරුවො දෙදෙනා සමගින් හිටියෙ. ඒ අතර මගේ ස්වාමිය, චමිල ප්‍රසාද් රූපසිංහ. වචනෙකින්වත් වාරණයක් නොදා මට අවශ්‍යය නිදහස හදල දෙන්නෙ එයා. විශේෂ ස්තූතිය සංජීවනී වීරසිංහ අක්කට හිමිවෙන්න ඕන. ඇත්තටම මං ලියන්න හරිම කම්මැලි. සංජීවනී අක්ක තමා මාව උනනන්දු කරන්නේ, දිරිගැන්වීම් කරන්නේ. “නංගි ලියමු නේද ? ” කියල නිතර මතක්කරන ඇයට ඒ ස්තූතිය අනිවාර්යයෙන් හිමිවිය යුතුයි.

ඒ සමග මම මේ ගමන ආරම්භකල මුල් කාලයේ පටන් මුහුණු පොතේ මගේ කතා සමග එක්වූ සියළුම පාඨකයන්ට මගේ අවංක ස්තූතිය පුදකරනව. මාව මේතරම් ඉහලට ඔසවා තැබීමේ ගෞරවය සැමදාම ඔවුන්ට හිමිවියයුතුමයි. හැකි සෑම විටකම මගේ විශේෂ ස්තූතිය ඔවුන්ට පුදකරනව.

 

2. ඔබ කොයි කාලයේදී කොහොමද ලේඛන කලාව වෙත යොමු වුනේ…?

මුලින්ම මම මුහුණු පොතේ නවකතා කියෙවුවා. කතා අරණ හරහා. දන්න කාලෙ ඉදන් කවිනම් කුරුටුගෑව. උසස්පෙල කාලෙ ලියපු කතාවක් බාගෙට නතරකරල තිබ්බ. ඒ 2003 වග වර්ෂයේ. හරියටම 2019 සැප්තැම්බර් මාසෙ තමයි මම සයිබරයට නවකතාවක් ලිවුවෙ කතා අරණ සමූහය හරහා. මට මතකයි හරියටම 100 ක් වගේ පාඨක පිරිසක් තමයි කතාව කියෙවුවේ. ඒ අය අතුරින් ලැබුණු ඇගයීම් වලින් හිතුන නොනැවතී මොනවහරි ලියන්න ඕන කියල. ඒ නොනැවතී ආපු ගමන අද මේ තරම් දුරකට එන්න හේතුවක් උනා.

 

3. මේඝ වර්ශා කෘතියේ අන්තර්ගතය ගැනත් යම් සඳහනක් කළොත්…?

මේඝ වර්ෂා වලින් යෞවනයේ ප්‍රේමය, ප්‍රේමයේ බිදවැටීමකින් පසුව වන කර්කෂ බලපෑම්, එයින් පසුව විරුද්ධ ලිංගිකයා තුල තැබියහැකි විශ්වාසය කොතරම්ද කියන කාරණය, බලාපොරොත්තු ජීවත්කරවීම් සහ ඒ අතර ගැහැණු හෝ පිරිමි දරුවෙකු වේවා තනිවන පුංචි මොහොතකදී සිදුවියහැකි උපරිම කරදර ආපදා අපචාර මොනවාද කියල හිතන්න අවස්ථාවක් දීල තියනවා. තම සමීපතමයන් අසල දරුවන් කොයිතරම් දුරට ආරක්ෂිතද කියල හිතන්න අවස්ථාවක් දීල තියෙනව. දරුවෙකුට මව පියා දෙදෙනා කොයිතරම් අවශ්‍යද? කොයිතරම් වටිනවාද ? අපි අන්‍යෝන්‍යයන්ට කොයිතරම් දුරට ඇහුම්කන්දෙනවාද ? උදවු උපකාර කරනාවද? මේ සියළුම කාරණා මේඝ වර්ෂා තුල සම්මිශ්‍රණයවී තිබෙනවා. ඒ අතර විවාහය, නෛතික බැදීම සහ විවාහය තුල වන විශ්වාසනීයභාවය, ඒ සියල්ල මේ කතාව තුල විවිධ තැන්හිදී උළුප්පා දක්වා තිබෙනවා.

 

 

4. ඔබ මුහුණුපොතේ මේඝ වර්ශා හැරුණු කොට තවත් කතා කිහිපයක්ම කොටස් වශයෙන් පළකර තිබෙනවා. ඒ කතා අතුරින් මේ කතාවම මුලින්ම මුද්‍රිත මාධ්‍යට ගේන්න විශේෂ හේතුවක් තිබෙනවද…?

අනෙක් සියළුම කතා හා ගන්නකොට පාඨකයන් මා වඩාත් හදුනාගන්නෙ මේඝ වර්ෂා හරහා. ඒ නිසා වෙන්න ඕන මට ප්‍රකාශන ආයතනයක් හම්බවෙන්නෙ.

 

5. ” මේඝ වර්ශා” කෘතිය පාඨකයින්ට මිලදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කළොත්…?

මේඝ වර්ෂා නොහදුනන්නී ප්‍රකාශනයක්. 071 – 8971911 දුරකථනය අංකයට ඇමතීමෙන් හරි වට්ස්ඇප් පණිවිඩක් තැබීමෙන් හරි මේඝ වර්ෂා ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක මිලදීගන්න පුළුවන්.

 

6. ඉදිරියට කරන්නට ඉන්න නව නිර්මාණ කටයුතු තිබෙනවානම් ඒ ගැනත් යම් සඳහනක් කළොත්..?

මගේ කෘතීන් දෙකක් නුදුරේදී මුද්‍රිත මාද්‍ය හරහා එන්න නියමිතයි. ඒ නම් දියානා සහ නුඹ අහසක් නවකතා.

 

7. ඔබ හිතන විදිහට ලේඛිකාවක් හෝ ලේඛකයෙක් යම් නිර්මාණයකදී ඇතැම් කරුණු සම්බන්ධව ලියන විට සීමාවක් තුළ හිඳ ලිවිය යුතුද එසේත් නැතිනම් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තම අදහස සීමාවකින් තොරව නිදහසේ ලිවිය යුතු යැයි සිතනවාද.?

යම් යම් කාරණා සහ පුද්ගලයාට අනූව ඒ දේ වෙනස්වෙනවා. මම දරුවන් සිටින මවක් හැටියට මට යම් යම් සීමාවන් පනවාගෙන ඉන්නවා. මගේ ස්වාමිය නම් මට නිතර කියනව ” ඔයාට හිතෙන දේ බය නැතුව ලියන්න” කියල. ඒත් මට හිතෙනව මං ලියන දේවල් කවදහරි දවසක මගේ දරු දෙදෙනා, මගේ සහෝදර සහෝදරියන්ගෙ දරුවෝ කියවන්න ඕන කියල. ඒ අදහස ලියන සෑම මොහොතකම මගේ හිතේ තියනව.

8. ඔබ කියවීමට ප්‍රිය කරන කෘතීන් සහ ප්‍රියතම ලේඛක/ ලේඛිකාවන් කවුරුන්ද…?

ආසාවෙන් කියෙවුව ගුරු ගීතය, අම්මා, පෙරළූ නැවුම් පස, ශර්ලොක් හෝම්ස්ගේ කතා සියල්ල, ඒ අතර ගැනිය නොහැකි තරම් පොත් විශාල සංඛ්‍යාවක් තියනවා. ඒ අතර මනෝරි සීලිකා වික්‍රමාරච්චි මහත්මියගේ “තාත්තා” මං ආසම පොතක්. චන්දි කොඩිකාර මහත්මියගේ පොත් ආසාවෙන් කියවනව. ටික කාලෙක ඉදන් මුහුණු පොතේ සහෝදර ලේඛිකාවන්ගෙ පොත් එකින් එක කියවනව. විවිධ රසයෙන් යුක්ත කතා වෙලාව හොයාගෙන කියවන්න ආසයි.

 

megha warsha by Dilini gayani gunasekara

 

9. ඔබ හිතන විදිහට ලේඛකයෙක් /ලේඛ්කාවක් විසින් සමාජයට කළ යුතු මෙහෙවර කුමන ආකරයේ විය යුතුද…?

පුංචි හෝ ගතහැකි ආදර්ශයක් දීම වැදගත්. නැත්නම් ඒ ලියන නිර්මාණය කරන්න වැයකරන කාලය ශ්‍රමය නිකරුණේ නාස්තිවීමක් සිද්දවෙන්නෙ. නිර්මාණාත්මක භාවම සහ වැදගත් පණිවිඩක් සමාජයට ලබාදීම හරි වටිනව කියල හිතෙනව.

 

10. සාමාජ මාධ්‍ය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ලේඛක ලේඛිකාවන්ට පාඨකයින්ට වඩාත් සමීප වන්නට පුළුවන් වගේම නිර්මාණ සොරකම් කිරීම වැනි අපහසුතා වලටත් ලක් වන්නට සිදු වෙනවා. ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ලැබුණ පාඨක ප්‍රථිචාර වගේම ලක් වුනු අපහසුතා ගැනත් සඳහන් කළොත්…?

මාව දන්න සියළුම දෙනා මාව හදුනාගත්තෙ සමාජ මාධ්‍ය හරහා. මං මුද්‍රිත මාධ්‍යට ආවෙ ඊට පස්සෙ. ඉතින් සමාජ මාධ්‍ය කියනෙක වටිනා තෝතැන්නක් උනා මට. දවසින් දවස මට ලැබෙන ප්‍රතිචාර මං දැනගත්තෙ ඒ හරහා. පාඨකයන්ට මිතුරු මිතුරියන් තරමට සමීපවුනේ ඒ හරහා. ” ඔයා හොද ලේඛිකාවක් වෙයි ” කියල වැඩි පිරිසක් කියද්දි ” ඔයාට කවදාවත් පොතක් කරන්න බෑ ” කියපු අය මට ඒ බව දැන්නුවෙ ඒ හරහා. අන්න ඒ වගේ හරි ඉක්මනට අපිට පාඨකයන් අතරට යන්න, අදහස් බෙදාගන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය හරහා. මට හරිම වටිනව ඒක.

හොද වගේම නරකත් ඒ විදිහමයි. මොකද ඔය කියන විදිහට මාත් අපහසුතාවයකට පත්වුනා නිර්මාණ සොරකම සම්බන්ධයෙන්. මගේ නිර්මාණයකුත් මා දැනුවත්ව එහෙම සොරකමකට ලක්වුනා. නොදැනුවත්ව තව තියනවද අපි දන්නෙනෑ. ඉතින් ඒක හරිම පහත් ක්‍රියාවක්. තමාගේ කුමක් හෝ ලාභ ප්‍රයෝජනයක් තකා ලේඛිකකයෙකු අපහසුතාවයකට පත්කිරීමක්. අපි මහන්සිවෙලා කාලය ශ්‍රමය වැයකරගෙන නිර්මාණයක් කරන්නෙ කවදහරි ඒක මුද්‍රිත මාධ්‍ය හරහා ගෙනඒමේ බලාපොරොත්තුවක් ඇතුව. ඉතින් ඒක අපි කොයිතරම් පැහැදිලිකරල කිවුවත් නවතින්නෙ නෑ. මං හිතනව මිනිස්සු උනාම තමන්ගෙ මහන්සියෙන් තමන්ට තියන කුසලතා ප්‍රයෝජනයට අරගෙන තමන්ට දෙයක් කරගන්න ඕන කියල.

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න