මෞර්යා සමග ඔබ හමුවට එන දිල්හානි ද සිල්වා අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්

මෞර්යා සමග ඔබ හමුවට එන දිල්හානි ද සිල්වා අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන් 

 

1. මෞර්යා කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියේ අන්තර්ගත වෙන්නෙ…?

සරලවම කීවොත් ගැහැණිය මූලික කරගත් කතා තේමාවක්. ආදරය විරහව අතර දෝලනය වන කතාවක්. ළඳ බොළඳ නොවන හැඟීම්වලින් පූර්ණ වුනු කතාවක්. ගැහැණිය යනු පිරිමියා මත යැපෙන හෝ පිරිමියාට යටත් යන සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය කතාවක්. ඒ අතරේ සුන්දර ආදරයක් සහිත කතාවක් තමයි මෞර්යා කියන්නෙ.

 

2. මේ ඔබේ පළමු කෘතිය උනත් මුහුණු පොතේ නිර්මාණ තුළින් ඔබ හඳුනාගත් විශාල පාඨක පිරිසක් ඔබට ඉන්නවා. බොහෝ වෙලාවට මුහුණු පොතේ නිර්මාණ ඉදිරිපත් කරන බොහෝමයක් ලේඛක ලේඛිකාවන් තමන්ගේ පළමුවැනි කෘතිය විදිහට මුද්‍රිත මාධ්‍යට ගේන්නේ මුහුණු පොතේ පළවූ කතා අතුරින් ජනප්‍රියම වූ තමාගේ කතාවක්. නමුත් මෞර්යා කියන්නේ සමාජ මාධ්‍ය තුළ පළවුන කතාවක් නොවෙයි. ඇයි ඔබ අලුත්ම කතාවකින් පාඨකයින් අතරට එන්න හිතුවෙ ඒ වගේම මුහුණු පොතේ ජනප්‍රිය වුණු ඔබේ කතා මුද්‍රිත මාධ්‍ය ට ගේන්න අදහසක් ඔබට තිබෙනවාද…?

මට හිතුණා මගේ පළවෙනි අඩිය නැවුම් අත්දැකීමක් සමග එන්න. ඒ නිසාමයි මෞර්යා මගේ අතින් ඉපදුනේ. ඒ අතරේ මුහුණු පොතේ පළකරන ලද නිර්මාණ කිහිපයක්ම මුද්‍රිත මාධ්‍යයට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කුමාරිහාමී, අකේන්‍යා ඒ අතරින් ඉස්සර වේවී.

 

Sri Lanka writer Dilhani De Silva with Pothmee new book

 

3. මෞර්යා කෘතිය පාඨකයින්ට මිලදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කළොත්…?

මෞර්යා මගේ ෆේස් බුක් පිටුවට පණිවිඩයකි එවා හෝ වට්ස් ඇප් පණිවිඩයක් තුළින් මගෙන් ඇණවුම් කරන්නත්, බටහිර අහස තුලින් වගේම සරසවි, මින්සර, දයාවංෂ, සූරිය, පොත් හල් වලිනුත් මිළට ගන්න පුළුවන්.

 

4. නවක ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්නට සමාජ මාධ්‍යයෙන් ලැබෙන සහය සහ නිර්මාණ සොරකම වැනි අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට තිබෙන අත්දැකීම් මොනවාද…?

නිර්මාණ සොරකම තරම් අවජාතක වැඩක් මම තවත් දැකලා නැහැ. නෛතිකව ක්‍රියාමාර්ගයක් ගන්නට සයිබරය තුළ හැකියාවක් නෑ. නමුත් ඒ නිර්මාණයට අයි එස් බී එන් ලබාගෙන තිබුණොත් නෛතිකව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. මගෙ කතාත් අනන්ත සොරකම් වලට නතුවෙලා තිබුනත් සමහර වෙලාවල් වල ඒ ගැන කතා නොකරම නිහඬ වෙලා තියනවා කතා කිරීමෙන් ඵලක් නොවන බව දන්න නිසාම.

ඒ වගේම නවක වගේ ඉතාම දක්ෂයින්ට එලියට එන්න සමාජ මාධ්‍යය ඉතා හොඳ පිටුවහලක් කියලා මම විශ්වාස කරනවා. මොකද එලියට නාවානම් අපරාදේ කියලා හිතෙන තරම් ලස්සන වටිනා නිර්මාණ ඒ ආව අය අතින් බිහිවෙලා තියනවා.

 

5. ඔබ කොහොමද , කොයි කාලයේදීද ලේඛන කලාවට යොමු වුනේ…?
කලාවක් විදියට යොමුවුනේ සයිබරයෙන් මීට වසර තුනකට කලින්. කතා අරණ සමූහයට සේයා නමින් මගේ පළවෙනි නවකතාව මුදාහරිමින් තමයි මම සමාජ ජාලාවල ලිවීම ඇරඹුවේ.
නමුත් ලිවීම සහ නිර්මාණකරණය පාසල් අවධියේ පටන්ම කරපු දෙයක්. චූටි චූටි කෙටි කතා කෙටි නවකතා කොහිපයක්ම පාසල් කාලයේ මම අතින් නිර්මාණය වුනා.

 

6. ආධුනික ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්නට මේ ක්ෂේත්‍රය ඇතුලතින් සහයෝගය ලැබෙනවාද ඒ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද..?

මෙහෙමයි සහ ලැබෙනවා. නොලැබෙනවා කියන්න බැහැ. හිත හොඳ පරිත්‍යාගශීලි සිතුවිලි සහිත උසස් මිනිසුන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඒක හරියට මට සචෙන්‍යා ප්‍රනාන්දු අක්කගෙන් ලැබුන සහයෝගය වගේ. නමුත් ප්‍රවීනයෝ නවකයෝ කියලා වෙනසක් නැතිවම කකුලෙන් අදින පිරිසත් වැඩියි. ඒක මේ ක්ශේෂ්ත්‍රයේ වේවා වෙනයම් ක්ශේෂ්ත්‍රයක හෝ වේවා සාමාන්‍යයි කියලයි මම හිතන්නෙ. මොකද අපි අතරේ සුදු, කළු, අළු චරිත අඩු වැඩි නැතිව දකින්න ලැබෙන නිසා. මම ආව ගමන දන්න නිසාම පුද්ගලිකව මම දන්න හැම දේම අහන ඕනෑම කෙනෙක්ට කියලා දෙනවා.

 

Sri Lanka writer Dilhani De Silva with Pothmee new book

 

7. ඔබ වටා ඉන්න පාඨක පිරිස වෙනුවෙන් ඉදිරියේදී මොන වගේ නිර්මාණද කරන්න බලාපොරොත්තු වෙන්නේ..?

සරලවම එකිනෙකට වෙනස් යමක් උකහා ගත හැකි නිර්මාණයන්.

 

8. මොන යම් හෝ සාර්ථක නිර්මාණයක් කිරිම සඳහා නිර්මාණකරුවෙකුට ඒ පිළිබඳ දැනුම හා අත්දැකීම් කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක්. ඔබ කොහොමද නිර්මාණයක් වෙනුවෙන් අවශ්‍ය දැනුම , අත්දැකීම් ලබා ගන්නේ…?

එකක් අත්දැකීම්. සමාජයේ වගේම ඇසුරුකරන්නන් අතරින් ලැබෙන අත්දැකීම්. ඒ හැරෙන්න අද ගෝලීයකරණය එක්ක අන්තර්ජාලය ඇසුරෙන් ඕනෑම දෙයක් පිළිබඳව දැනුම ලබා ගැනීම එතරම් අපහසු නෑ. මමත් එහෙමයි නොදන්න හැමදේම අන්තර්ජාල පරිශීලනය කිරීම තුලින් ලබාගන්නවා.

 

9. ඔබ හිතන විදිහට ලේඛකයෙක්ට / ලේඛිකාවක්ට සමාජය වෙනුවෙන් කල හැකි මෙහෙවර කුමක්ද…?

අම්මෝ ලොකු දේවල් කරන්න පුළුවන්.සමාජය හැදෙන්න, වැනසෙන්න වුනත් දේවල් කරන්න පුළුවන්. මොකද සමහර පාඨකයින් නවකතා කියන දේට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ ඇසුරින් ජීවිතේ තනිකම කාන්සිය මකාගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ සංවේදී හිත් වලට නිර්මාණ වලින් යම් දෙයක් කරන්න පුලුවන්. ඒ කිය්න්නේ හොඳක් වගේම නරකක් වුනත්. උදාහරණයක් විදියට මම අකේන්‍යා සයිබරයට ලියන අවධියේදී දික්කසාදය කියන වචනෙන් පවා බැටකෑව ගොඩාක් අය අඳුන ගත්තා. ඒ වගේම ඒ කාන්තා චරිතය මම ගොඩනගපු විදියට ඒ තුලින් එයාලා හිත හයිය කරගන්නවත් මම දැක්කා. ඉතින් නිර්මාණයක් තුළින් සමාජයට හොඳ මෙහෙවරක් කරන්න පුළුවන් කියන එකයි මගේ මතය.

 

 

10. අවසාන වශයෙන් මෞර්යා කෘතිය මුද්‍රිත මාධ්‍යට ගෙන ඒමේ කාර්යට ඔබට උදව් කළ අය ගැනත් සඳහනක් කළොත්…?

අම්මෝ ඒ අතර ඉන්න අයනම් බොහෝමයි. ඒ අතරින් මගේ අම්මව සහ මගේ සැමියව මතක් කරන්නම ඕනේ. ඒ වගේම දන්න හැමදේම කියාදුන්න සචෙන්‍යා ප්‍රනාන්දු අක්කවත්, වැරදි අඩුපාඩු පෙන්නලා දුන්න රවී මාධව ජයසිංහ අයියාවත්, ආදරණීය ලේඛිකා ඉමේෂා අක්කාටත්, ලස්සනම කවරය කරලා දුන්න චමී අක්කවත්, මිලානි අක්කවත්, රංග අයියවත්, අයි එස් බී එන් අරන් දුන්න විනී නංගවත්, දුනී, රොෂානි අක්කා, සෙව් නංගි,මින්දි අක්කා, උදාරි නංගී, සකූ නංගී, ලසන්ත අයියා, රජිත අයියා ඇතුළු මගේ යහලුවන්වත්, ඒ වගේම මට මේ සව්වාදයට ඇරයුම් කරපු ඔයාටත් මම බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.

 

 

පොත් මී ප්‍රකාශන පුද්ගලික සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න