"පූජාවක් දෝ" කෘතියෙන් ඔබ වෙත එන උදේශිකා සඳමාලි අල්විස්
“පූජාවක් දෝ” කෘතියෙන් ඔබ වෙත එන උදේශිකා සඳමාලි අල්විස් , අද පොත් මී අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවට
1. “පූජාවක් දෝ ” කියන්නෙ මුද්‍රිත මාධ්‍යයෙන් එළිදකින ඔබේ දෙවෙනි නවකතාව. මුළින්ම මේ නවකතාවේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු…
පූජාවක්දෝ නවකතාවේ අන්තර්ගතය ගැන කතා කරොත්, වර්තමාන නූතන සමාජයෙන් බැහැර කරන සමහර සිද්ධීන් කතාව ඇතුලේ අන්තර්ගත වෙනවා. මිත්‍යා විශ්වාස මිත්‍යා මත මුදල් පසු පස වේගයෙන් හඹාගෙන යන මවක්,අවුරුදු ගණනාවක් පුරා තමන්ගේ ඉෂ්ට නොවෙච්ච බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවුරුදු ගණනාවක් පුරා කෲර මෙහෙයුමක් දියත් කරනවා. ඒකෙ එක ඉත්තෙක් තමා කතාවේ ප්‍රධාන චරිතය දේවාන්. ඇත්තටම කිව්වොත් තමන්ගේ හිතේ ඇදිච්ච සමහර විශ්වාස යථාර්ථයක් කරගන්න මිනිස්සුන්ට මොන වගේ තත්ත්වයකට වැටෙන්න පුළුවන්ද කියලා මේ කථාවෙන් මනාව නිරූපණය වෙනවා.. එහෙම කිව්වට මේක ආදර කතාවක්. ඒ වගේම දියණියකට තමන්ගේ අම්මා වෙනුවෙන් මොන වගේ කැප කිරීමක් කරන්න පුලුවන්ද.? කාලයක් සැප සම්පත් විඳලා එක පාරටම ඒ ජීවිතය වෙනස් වුනොත් යුවතියකට ඒක දරාගන්න පුළුවන්ද…? ඇත්තටම කිව්වොත් ගොඩක් අයට අවසානයේදී හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක්…කුතුහලය ත්‍රාසය භීතිය සමග අවසාන මොහොත වෙනකම් මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරි කතාවක්.
2. ඔබේ පළමු කෘතිය වගේම දෙවන කෘතියත් එළිදකින්නෙ කතෲ ප්‍රකාශන හැටියට. ඉතින් ඔබට මේ කාර්යට බොහොමයක් දෙනාගෙන් උදව් උපකාර ලැබෙන්නට ඇති. ඒ අය ගැන මතක් කිරීමක් කළොත්…?
පළවෙනියටම ස්තුති කරන්න ඕනේ මගේ ආදරණිය මහත්තයට.. අද නවක ලේඛිකාවක් විදියට මම හැමෝගෙම ආදරය දිනාගන්නේ ඔහු නිසා…මගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්නේ ඔහු..මොකද හීනෙකින්වත් නොහිතපු මේ ලියන කලාවට අඩිතාලම වැටෙන්නේ ඔහු නිසා ..ඔහුගේ ඉල්ලීම නිසා.ඒ වගේම මගේ ආදරණීය දෙමව්පියෝ …මහත්තයා ගේ දෙමව්පියෝ ..හැමෝමගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා ..ඒ වගේම මගේ ආදරණීය මිතුරිය ඉරේශා හේරත් බණ්ඩාර ,එයාගෙන් මට ලැබෙන සහය කියලා නිම කරන්න බෑ…
3. ඔබේ පළමුවැනි කෘතියත් නිකුත් වුනේ බොහොම මෑතකදී. ඒ කෘතිය ගැනත් එහි අන්තර්ගතය ගැනත් යම් සඳහනක් කරමු.
මගේ පළවෙනි මුද්‍රිත කෘතියේ නම ප්‍රාණය ප්‍රේමය නම්…ඇත්තටම මේකත් ලස්සන ආදර කතාවක්…හැබැයි මේ කතාව ඇතුලේ වර්තමානයේ ජීවත් වෙන ගොඩක් අයට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා කියලා මම හිතනවා..කතානායිකාව අමායා තමන්ගේ මනස සෙමින් වැඩෙන නංගි වෙනුවෙන් කරන යුතුකම් සහ වගකීම් ඇතුලත් කතාවක්…දිරිය දියණියක් වෙන අමායාගෙ ජීවිතයට ආදරය ඇතුළු වෙන්නෙ කොහොමද..??සමාජ අසාධාරණය ඇතුලේ මිනිසුන් බලන කෝණය ඇතුලේ අමායාටත් එයාගේ නංගියි පහන්දීටත් සිද්ධ වෙන්නේ මොකක්ද…??සමහර මිනිස්සුන්ගේ මානසික සිතුවිලි තවමත් ඉතාම පහත් නොදියුණු මට්ටමේ තියනවා කියන්න කතාව ඇතුලේ උදාහරණ සැපයෙනවා…හැමෝටම වයස් භේදයකින් තොරව කියවන්න හොඳ ආදර්ශමත් කතාවක් කියලා මම හිතනවා.
4. ඔබ ප්‍රකාශන ආයතනයක් හා සම්බන්ධ නොවී මේ කෘතී දෙකම කතෲ ප්‍රකාශන විදිහට එළිදක්වන්නට හේතුවක් තිබෙනවාද..?
ඇත්තටම කිව්වොත් එහෙම විශේෂ හේතුවක් නෑ ..මට මම ගැන ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා ..මට ආදරේ කරන පිරිසක් ඉන්නවා…ඒ එය මගේ කතා ආදරයෙන් වැළඳ ගන්නවා කියලා මම දන්නවා…ඉතින් මම මගේ පළවෙනි කතාව වගේම දෙවෙනි කතාවත් කර්තෘ ප්‍රකාශන විදිහට එළිදැක්වූවා…හැබැයි මේ වෙනකොටත් මගේ කතා කිහිපයක් ප්‍රකාශන ආයතනවලට දීලා ඉවරයි…ඒ කතා ප්‍රකාශන ආයතන මඟින් ඉස්සරහට එලි දිකිවී.
5. පාඨකයින්ට ඔබේ මේ කෘතීන් දෙක මිළදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු.
ඇත්තටම පළවෙනි පොත ප්‍රාණය ප්‍රේමය නම් මේ වෙනකොට ලංකාවේ සියලුම සරසවි ශාඛා,සූරිය දයාවංශ,සංක,විජිතයාපා සදීපා පොත් හලවල් වලින් ඔබට මිලදී ගන්න පුළුවන්…හැබැයි මගේ දෙවෙනි පොත ඒ කියන්නේ පූජාවක්දෝ රටේ තියෙන වර්තමාන තත්වයත් එක්ක තවමත් ලංකාවේ කිසිම කඩේකට දමලා නෑ…පූජාවක්දෝ මිලදී ගන්න පුළුවන් මගෙන් විතරයි…මේ වෙනකොට පළවෙනි පොත වගේම දෙවෙනි පොත විශේෂිත වට්ටම් සහිතව මම අලෙවි කරනවා.
6. පොතක් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට දැනුම, අත්දැකීම් වගේම ඒ සියල්ල එකතු කරලා ලස්සන නිර්මාණයක් විදිහට ඉදිරිපත් කරන්නට කාලයත් බොහොම වැදගත්. ඔබ තවමත් උසස් අධ්‍යාපනය ලබමින් ඉන්න කෙනෙක්. අධ්‍යාපන කටයුතු වගේම නිවසේ වැඩකටයුතුත් එක්ක මේ වගේ නිර්මාණ කරන්න ඔබ කාලය හදාගන්නෙ කොහොමද..?
ඇත්තටම කිව්වොත් ඒක අභියෝගයක්…මම දැනට රැකියාවක් නම් කරන්නේ නෑ…ඒත් ගෙදර වැඩ කටයුතු ස්වාමියාගේ දරුවන්ගේ වැඩ කටයුතු එක්ක,අධ්‍යාපන වැඩකටයුතු සමබරව කරගෙන යන ගමන් මම අනිවාර්යෙන්ම ලිවීම සඳහා දවසෙන් යම් කාලයක් වැය කරනවා…ගොඩක් වෙලාවට මට මේ කර්තව්‍යයට ගොඩක් උදව් කරන්නේ මගේ ස්වාමිපුරුෂයා…මෙච්චර වැඩ රාජකාරි එක්ක නැත්නම් කොහෙද මට කතා ලියන්න වෙලාවක්.
7. ඔබ ලේඛිකාවක් බවට පත් වෙන්නට අඩිතාලම වැටුනෙ කොහොමද…? එය ඔබේ අරමුණක්ව තිබුණ දෙයක්ද…?
පාසල් යන කාලයේ දී එහෙම ලේඛිකාවක් වෙන්න අරමුණක් තිබුණේ නැහැ ..හැබැයි පොඩි කාලේ ඉඳන්ම මම ලේඛනයට දක්ෂයි ..කවි ගීත නිර්මාණය ,ලිවීම වගේ සාහිත්‍යමය බාහිර කටයුතුවලට පාසල් යන කාලයේ ඉඳන්ම දැඩිව සම්බන්ධ වුණා…ලේඛනයට අඩිතාලම වැටෙන්නේ ,මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මුණගැහුනට පස්සෙ….ඕනම කෙනෙක්ගෙ ජීවිතයක තියනවනේ හැරවුම් ලක්ෂයක්…මගේ හැරවුම් ලක්ෂය උනේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා..ඔහුගේ ඉල්ලීමට තමයි මම නවකතා රචනයට පෙළඹෙන්නේ..
8. පාඨකයන් ඔබව මුළින්ම හඳුනා ගන්නේ මුහුණු පොතේ ජනප්‍රිය වුණු ඔබේ නිර්මාණ තුළින්. නමුත් ඔබ මුද්‍රිත මාධ්‍යට රැගෙන ආ කතා දෙකම මුහුණු පොතේ පළනොවූ අලුත්ම කතා. ඉදිරියේදී මුහුණු පොතේ ජනප්‍රිය වූ කතාත් මුද්‍රිත මාධ්‍යට ගේන්න අදහසක් තිබෙනවද නැතිනම් අලුත්ම නිර්මාණයක් පාඨකයන්ට ලබා දෙනවද…?
විශේෂයෙන්ම කියන්න ඕනේ විශාල ප්‍රමාණයක් මාව මුහුණු පොත හරහා අඳුරනවා.. ඉදිරියේදී මම මුහුණු පොතේ පෙර පළ කරපු ලද කතා කිහිපයක් පොත් වීමට නියමිතයි.හැබැයි මම එතැනින් නතර වෙන්නේ නෑ අනිවාර්යෙන්ම,අලුත් කතා ඒ කියන්නේ මීට පෙර මුහුණු පොතේ ලියවුනේ නැති කතා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
9. ආධුනික ලේඛිකාවක් විදිහට ඔබට මේ ගමන සාර්ථක කරගන්න ක්ශේත්‍රය ඇතුළතින් ලැබුණ සහය ගැන කතා කළොත්…?
ඇත්තටම කිව්වොත් ක්ෂේත්රයේ ඇතුලෙන් ලොකු සහයෝගයක් ලැබුණා..විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගෙන් ලැබුණු සහාය..ආධුනිකයෙක් වෙච්ච මට ගොඩක් අය උදව් කරා…කිසිම ගුරු මුෂ්ටියක් නැතුව ගොඩක් දේවල් කියලා දුන්නා…පෙරමුණේ ම ඉන්නේ ප්‍රියංක නලීන් පිරිස් අයියා…අද මම සාර්ථකව පොත් දෙකක් එළිදක්වන ගමන් මාර්ගයේ ප්‍රධානම චරිතයක් තමයි එයා..පොත් දෙකේම ලස්සනම ලස්සන කවර නිර්මාණයත් එයාගේ….ඒ වගේම ආදරයෙන් මතක් කරනවා මනෝරි සිලිකා ව්ක්රමආරච්චි අක්කා …නොදන්න ගොඩක් දේවල් ඇයගෙන් දැනගත්තා…චමි තියඹරාහේනේ ගෙදර අක්කා…කතා කරන ඕනම වෙලාවක දන්න හැමදේම කියලා දුන්නු නිහතමානී චරිතයක්…එයාගෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා …ඒ වගේම මින්දිකා අක්කා,නදීකා බෝගහවත්ත අක්කා ,ඒ අය ළගඳි සමීප උනත්,ගොඩක් ලොකු හිතවත්කමක් ගොඩනඟා ගත්තා වගේම ගොඩක් දේවල් වලට මට උදව් කරා..ක්ෂේත්රයේ ඇතුලෙන් ලැබුණු සහයෝගය ගැන ඇත්තටම මම සතුටු වෙනවා…
10. ඔබ හිතන විදිහට ලේඛකයෙක් සතු සමාජ වගකීම කුමක්ද..?
ලේඛකයෙක් සතුව ලොකු සමාජ වගකීමක් තියෙනවා…තමන් ලියන දේ නේ පාඨකයෝ විදිහට කියවන්නේ..ඉතින් ලොකු සමාජ මෙහෙවරක් ලේඛකයන්ට කරන්න පුළුවන්…සමහර දේවල් මිනිස්සුන්ගේ හිතට කාවද්දන්න පුලුවන්…අන්න ඒ කාවද්දන දේ හොඳ දෙයක් වෙනවා නම් ඵලදායි දෙයක් වෙනවා නම් ,ලේඛකයා විසින් සමාජයට කරන්නේ ලොකු මෙහෙවරක්.එකම රාමුවකට කොටු නොවී වෙනස් වෙනස් නිර්මාණ ලේඛකයන් අතින් බිහි වෙන්න ඕනේ…ඒ වගේම තමයි ලේඛකයෙක් දිහා ලොකු පිරිසක් බලාගෙන ඉන්නවා…නිහතමානීකම ,හැදියාව වගේම ,ආදර්ශමත් බව හැම වෙලාවෙම ලේඛකයෙක් විදිහට තියාගන්න ඕන…නිතරම සමාජයට ආදර්ශමත් වෙන විදිහට විදියට සමාජයට පණිවිඩයක් දෙන විදිහට තමන්ගෙ පෑන මෙහෙයවන්න ඕන…එහෙම ආදර්ශමත් කතාවක් ලියන කොට කතාවේ රසය අඩු නොවී කියවන පාඨකයා එක ලෙස කතාවේ ඇද බැඳ තබා ගනිමින් ලේඛන කටයුත්තේ යෙදෙන්න පුළුවන් නම් ලේඛකයෙක් විදිහට සාර්ථකත්වයට යන්න පුළුවන්.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment