තුන්බිය කෘතිය සමග ඔබ හමුවට එන මධුරි පියුමාලි විජේසූරිය
එකිනෙකට බන්ධිත වූ කෙටිකතා ත්‍රිත්වයක එකතුවෙන් නිමවූ ‘තුන්බිය’ කෘතිය සමග ඔබ හමුවට එන මධුරි පියුමාලි විජේසූරිය අද පොත්මී “අලුත් පොතක්” විශේෂාංගයෙන්
1. “තුන්බිය” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ ?
ඔව්. තුන් බිය මගේ පළමු කෘතිය. “තුන් බිය” අද්භූත ශානරයෙන් ලියවුණු පරීක්ෂණාත්මක සිද්ධාන්ත, පරිකල්පනයන් තුළින් ගොඩ නැගුණු අද්භූත රසයෙන් නිම වූවක්.
බටහිර සංකල්පයන් තුළ එන යක්ෂයන් අළලා ලියැවුණක්. ඔවුන් මිනිස් මනසට ඇතුළු වීම ඔවුන්ගේ බලපෑම් තුළ ඇතිවන මිනිස් ක්‍රියාකාරකම් විපර්යාසයන් තුළ සිදුවන භයානක සිදුවීම් මාලාවන් මේ තුළින් දිග හැරෙනවා.
2 මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…?
මුද්‍රිත මාධ්‍යයට පොතක්ගෙන ඒමේ බලාපොරොත්තුවේ ඒ ගමනෙදි මගෙ ළගින්ම හිටියකෙනෙක් තමයි මගෙ සීයා. අද මම ලඟ නොහිටියත් මතකයන්වල ගැඹුරුම තැනක සිටින ඔහු සිහිපත් කරන්නේ ගොඩක් ආදරයෙන් වගේම ගෞරවයෙන්. ඒ වගේම සැම විටම ශක්තියක් වූ මගේ අම්මායි, තාත්තායි සහෝදරියට වගේම සහෝදරයටත් නෑදෑ හිතවතුන් හැමෝටමත් ගොඩක් ස්තූතියි වන්ත වෙනවා.
මෙතෙක් ගමන තුළ මුණ ගැසුණු වටිනාම පුද්ගලයෙක් වුණු මෙහි වස්තු බීජයේ නිර්මාපකයා වෙච්ච ෆොක්ස් අයියා වත් ආදරයෙන් මතක් කරනවා. නිතර අඩු ලුහුඩු කම් පෙන්වා දෙමින් සාර්ථක පියවරයන් තුළ රැදුණු චන්දික අයියාත්, විශ්වනී නංගි වගේම ඉදුෂාන් පතිරාජ අයියා ඇතුළු නමින් සදහන් කිරීමට නොහැකි වුණු ලේඛක පාඨක සියලුම මිතුරන්ටත් ගොඩක් ස්තූතියි.
අනිවාර්යයෙන්ම තවත් මතක්කල යුතු මගේ සිහිනය යථාර්ථයක් වීමට ආලෝකයක් වුණු බුවනෙක වන්නිඅච්චි මහත්මා වගේම රොෂාන් රත්නායක මහත්මාත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
3. ” තුන්බිය ” කෘතිය පාඨකයින්ට මිලදි ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
“තුන් බිය” කෘතිය මගේ ෆේස් බුක් ගිණුම හරහා හෝ වට්සැප් හරහා පණිවිඩයකින් ඇණවුම් කරන්න වගේම කතුවරයා හා දිගන්ත ප්‍රකාශන වෙතින් දැන් ලබා ගැනීමට පුලුවන්.
4. ඔබ කොහොමද ලේඛන කලාවට යොමු වුණේ…?ලේඛිකාවක් වීම කාලයක් තිස්සේ ඔබේ අරමුණක් වී තිබුණ දෙයක්ද..?
ඇත්තටම නැහැ කිව්වොත් බොරුවක්. මුද්‍රිත මාධ්‍යයට පොතක්ගෙන ඒම මගේ තිබුණ සිහිනයක්.
මම පාසල් අවදියේ පටන්, අවුරුදු 12 තරම් කාලයේ දී තමයි නිර්මාණයන් සිදු කලේ. ඒ කාලයේ දී විවිධ නිර්මාණයන් කිහිපයක් ලියැවුණා. ඊට බොහෝ කලකට පස්සෙ අහම්බෙන් දකින්න ලැබුණු සමූහයන් අතරින් සයිබරය හරහා ලේඛනය තුළට ප්‍රවේශ වෙන්නෙ කතා පොකුර, නවකතා කියවන්නෝ සමූහයන් තුළින්. ඇත්තටම ඒ අවස්ථාව අහම්බයක්. මම ඒ සමූහවලට එකතු වෙන්නෙ ෆැන්ටසි ශානරයේ නිර්මාණයක් තුළින්. වෙනස් නිර්මාණයන් අතරට එකතු වීම ඒක ඇත්තටම වෙනස් ම අත්දැකීමක්. කොහොම වුණත් ඒ අතරේ අදුරු සෙවණැල්ල සමූහය ඇතුළු අද්භූත ඝනයේ නිර්මාණයන්ට වෙන්වුණු සමූහයන් හදුනාගන්න ලැබීම ලොකු හැරවුමක් වුණා.
5.නවක ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්නට සමාජ මාධ්‍යයෙන් ලැබෙන සහය සහ නිර්මාණ සොරකම වැනි අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට තිබෙන අත්දැකීම් මොනවාද…?
නවක ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්න සමාජ මාධ්‍යයෙන් ලැබෙන සහය ඉතාමත් අගේ කරන්න ඕන. මොකද ඇත්තටම පොතක් කිරීම කියන්නෙ අති දුෂ්කර කාර්යයක්. මොකද මුල් කාලීනව මට ඒක හොදින්ම දැනුණු දෙයක්.
නවකයින් අතින් වටිනා නිර්මාණයන් බිහි වෙනවා. ඔවුන් ආස දෙයක් තමයි පාඨකයින්ට යමක් දෙන්න. ඒක හරි අපූරු තෘප්තිමත් බවක්. ඉතිං ඔවුන් ලබන ඒ නිහතමානී අපූරු සතුට වගේම ඔවුන්ට අනාගතයේ දී දක්ෂ ලේඛකයෙක් විදිහට ඉදිරියට එන්න ඒ තුළින් ලැබෙන පන්නරය ඉතා වැදගත්.
නිර්මාණ සොරකම ගත්තොත් මට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණේ නම් නැහැ. නමුත්, මම දැකලා තිබෙනවා සමහර දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් ඒ අයුරින් ම කිසිම දැනුවත් නොකිරීමකින් සොරකමට ලක්වූ අවස්ථා. ඒවායන් ලේඛනය තුළ සිදුවන දුක්ඛිත තත්ත්වයන්. නොවිය යුතුම කාරණා. ඉතිං එවන් හේතු සාධක නිසාවෙන් සයිබරය තුළ ලේඛනය තව දුරටත් සිදු කරනවාද නැද්ද යන්න කිහිප වරක් සිතන්න වෙන කාරණයක්. සයිබරයේ ලේඛනය වෙනුවෙන් නීතිමය රාමුවක් ගොඩනැගෙනවා නම් හොදයි.
6. ඔබ ආධුනිකයෙක් විදිහට මේ ක්ෂේස්ත්රයට පිවිසෙද්දි ක්ෂේස්ත්රයේ ඇතුලතින් ඔබට ලැබුණු සහයෝගය කොහොමද…?
මම හිතන්නෙ මට ගොඩක් හොද පිරිසක් මුණ ගැසුණා. එයාලා නොහිටින්න මට මෙතරම් දුරක් එන්න ලැබෙන්නෙ නැහැ. සමහර වෙලාවට අපිට නොදැනීම කකුලෙන් අදින පිරිස් නොවුණාම නෙවෙයි. හොද හා නරක කියන දේ ඕනම තැනක තියෙන දෙයක්. කුමක් වුණත් සියල්ල කාලයා හරි අපූරුවට විනිශ්චය දෙනවා.
7. ඉදිරියේදී පාඨකයින් වෙත ලබා දෙන්නට සිටින අලුත් නිර්මාණ ගැන අදහසක් මේ වෙන විට තිබෙනවාද…?
පොඩි කාලෙ ඉදන්ම මම ගොඩක් කැමති ෆැන්ටසි ඝනයේ නිර්මාණයන්ට. නමුත් මගේ පළමු කෘතිය ලෙස එළිදැක්වීම කරන්න වුණේ අද්භූත කෘතියක්.
ෆැන්ටසි නිර්මාණයන්ට කොයිතරම් කැමත්තක් තිබුණත් පසුව තේරුණා මගේ හැකියාව අද්භූත නිර්මාණයන්ටත් ඇති බව. ඉතිං ඒ නිසා ඉදිරියේ ෆැන්ටසි ඝනයේ නිර්මාණයන් වගේම විවිධ ශානරයේ නිර්මාණයන් කිරීමට බලාපොරොත්තු වෙන් ඉන්නවා. මොකද සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙක් වුණාම එකම ශානරයකට කොටු නොවිය යුතුයි.
අනිත් දේ විවිධත්වයක් ඇතුව නිර්මාණයන් ඉදිරිපත් කිරීමට හේතුව තමයි කියවන බොහෝ පාඨක පිරිසක් දැන් දැන් විවිධ ශානරයන්ගේ කතා කියවීමට කැමැත්තක් දැක්වීම. ඒක නිසා නිර්මාණකරුවන් ලෙස අපිටත් එකම ශානරයන්ට කොටු නොවී විවිධ ශානරයන් අත්හදා බැලීමටත් ඒ පිළිබඳ සොයා බැලීමත්, නිර්මාණ ඉදිරිපත් කිරීමේ වගකීමක් යුතුකමක් තියන බව සිතනවා.
8. පොතක් ලිවීම කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට ලොකු දැනුමක් , අත්දැකීම් වගේම කාලවේලාව අවශ්‍ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලියන්න අවශ්‍ය මේ කරුණු කාරණා සපයා ගන්නෙ…?
ඔව් ඇත්තටම පොතක් ලිවීම අසීරු දෙයක්. අද්භූත ශානරයේ කතා ලිවීමේ දී පරිකල්පනය නිසියාකාරව ගොඩ නැගීම කියන දේට නිදහස් මනසක් අවශ්‍යම යි. බොහෝ විට තොරතුරු හොයා ගැනීමේදී අපි කියවන්න ඕන. පුවත්පත්, සඟරා, අන් අයගේ නිර්මාණ අධ්‍යනය වගේම අද තාක්ෂණයත් එක්ක අන්තර්ජාලය ඇසුරෙන් අවශ්‍ය තොරතුරු යාවත්කාලීන කර සමාජයට හොද විදිහට නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමත්, කාලය, ශ්‍රමයත් ගොඩක් වැය කරන්නත් ඕන. මම විවේකය ලැබුණු සෑම විටමත්, රාත්‍රීයේදී තමයි මේ සදහා බොහෝ විට කාලය වෙන් කර ගන්නේ.
9. ඔබ කැමතිම ලේඛිකාවක් හෝ ලේඛකයෙක් සිටිනවාද..? ඒ වගේම ඔබ කියවීමට ප්‍රිය කරන්නෙ මොන වගේ පොත්ද…?
අද්භූත ශානරයෙන් සයිබරය තුළත් ඉන් පිටතත් ලේඛනයේ යෙදෙන සියලු දෙනාට වගේ කැමතියි. එක් කෙනෙක් කියලා කියන්න බැහැ. මා ඇසුරු කරපු මා දන්නා බොහෝ පිරිසක් ඉන්නවා. මම ඔවුන්ගේ නිර්මාණයන් තුළින්ද බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ නිසා ඒ සියලු දෙනා මගේ ප්‍රියතම කතුවරුන්. කියවන්න නම් කැමති රහස් පරීක්ෂක කතා, ෂර්ලොක් හොම්ස් කෘතිවලට මම ගොඩක් ප්‍රිය කලා. තව අද්භූත ශානරයේ කතාවලට කැමතියි.
10. ඔබ හිතන විදිහට ලේඛිකාවක් වශයෙන් ඔබට සමාජයට කල හැකි මෙහෙවර කුමක්ද…?
“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන කියමනෙන් අපට පැහැදිලි වෙනවා නිර්මාණ කරුවකුගේ කෘතියක් තුළින් සමාජයට විශාල මෙහෙයක් සිදුවන බව. නමුත් වර්තමානයේ අප පසු කරගෙන අය අන්තර්ජාල යුගයේ පාඨක පිරිස සැළකිය යුතු ප්‍රමාණයකට අඩු වෙලා කියලා පෙනෙනවා.
නමුත් අදටත් මේ සමාජය ට පෑනෙන් කරන්න පුලුවන් බලපෑම අති විශාලයි. රස වින්දන හැකියාව, ආකල්පමය වෙනසක් සිදු කරන්නට ඇති හැකියාව, ලේඛකයෙක් ට පුලුවන් මුලු මහත් සමාජයක්ම වුණත් සුවපත් කරන්න. එක පෑන් තුඩින් සියල්ල වෙනස් කරන්න. අතීතයේත් වර්තමානය තුළත් අනාගතයේත් ඔවුන්ගේ මෙහෙවර මිල කල නොහැකියි.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment