ඉදිරියේදි පොඩි දරුවෝ වෙනුවෙන් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
සංවේදනා සමග යළිත් ඔබ වෙත එන ශ්යාමිකා ජයශානී බස්නායක අද පොත්මී “අලුත් පොතක්” සමග,
1. සංවේදනා කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ තුන්වන කෘතිය. ඒ වගේම මෙය කෙටි කතා සංග්‍රහයක්. ඉතින් මෙහි ඇතුලත් වෙන කෙටි කතා ගැන පොදුවේ හැඳින්ව්මක් කරමු මුලින්ම.
සංවේදනාවේ කෙටි කතා 17 ක් අන්තර්ගත වෙනවා. විවිධ ශානරයන්ගෙන් ලියවුණ, විවිධ තේමාවන් කිහිපයක් ඔස්සේ තමයි සංවේදනාව නිර්මාණය වෙන්නේ. හැම අංශයක්ම නිරූපණය වෙන ආකාරයට විවිධ හැඩ රාමු ඔස්සේ නිර්මාණය වුණ සංවේදනා කෘතිය ඇතුළේ සමාජයට යම්කිසි පණිවුඩයක් ලබාදීම මගේ අරමුණක් වුණා.
2. මේ කෘතිය මුද්‍රනය කිරිමේ කාර්යට බොහෝමයක් දෙනාගෙන් ඔබට උදව් උපකාර ලැබෙන්නට ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු…
සංවේදනා මගේ විතරක් හීනයක් නෙමෙයි. මේ හීනයට ඇප කැපවුණු ගොඩක් අය ඉන්නවා. මගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින් මම ළඟින් හෙවනැල්ල වගේ ඉදගෙන හැමදේටම පාර පෙන්නුවට.. මුලින්ම හීනයට පාර කැපුවේ මාධවී නංගි, මිලින්ද මල්ලි… ඊට පස්සේ ටයිප් සෙටින් එකේ ඉදන් හැම වැඩකටම උදව් කළේ චතූ. ලස්සන කවර් එකක් හදලා දීපු මගේ මල්ලි, නලින් අයියා මේ වෙලාවේ මතක් කරන්නම ඕන. තව සංවේදනාවත් එක්ක ලස්සන චූටි බුක් මාර්ක් එකක් නිර්මාණය වෙනවා. ඒක නිර්මාණය කරන්නේ රුකී පැංචි. රුකී මැණිකවත් මේ වෙලාවේ මතක් කරනවා මම ආදරයෙන්. ඊට පස්සේ මගේ අක්කා මැණික මින්දිකා.. කැමේලියා මලේ අයිතිකාරි. ISBN එක ඔන්ලයින් ගෙන්න ගන්න එකේ ඉදන් ප්‍රෙස් එකක් හොයාගෙන ට්‍රේන් එකේ පොත් ටික ත්‍රීකුණාමලයට එනකම් මම ළඟ හිටියා.. අක්කෙක් නැති මට මින්දි අක්කගෙන් ලැබුණු හයිය ගැන කියන්න වචන මම දන්නේ නෑ. ඊට පස්සේ මතක් කරන්නම ඕන කෙනා දිල්ෂි.. එයා නැත්නම් අදටත් සංවේදනා මුද්‍රිත පිටු අතරේ රැදෙන්නේ නෑ. එයා නිසයි මගේ මේ හීනය හැබෑ වුණේ. ඉතින් මගේ හදවතේ පිදුම වෙන් වුණ මගේ යාළුවෝ හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.
3. සංවේදනා කෘතිය පාඨකයින්ට මිලදී ගන්නට පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු.
මගේ ෆේස් බුක් ගිණුමට කෙටි පණිවුඩයක් ලබාදීමෙන් ඔබට සංවේදනා මිළදී ගන්න පුළුවන්. මොකද සංවේදනා මගේ අතට ලැබුණේ නරකම නරක කාලයක. තාම බුක් ශොප් වලටවත් දාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම 0702256031 වට්සැප් අංකයට කෙටි පණිවුඩයක් ලබාදීමෙන් ඔබට සංවේදනා ග්‍රන්ථය මිළදී ගන්න පුලුවන් .
4. ඔබ විසින් මීට පෙර ලියන ලද කෘතීන් දෙක පිළිබඳවත් සඳහනක් කළොත්..? .
විසිරුණු සිත්තම් කෙටි කතා සංග්‍රහයක්. මගේ කුළුදුල්ම ග්‍රන්ථය.. හිතේ ආසාවට අවුරුදු ගාණකට කලින් කරපු විසිරුණු සිත්තම් අද මම ළඟත් නෑ. ජාතික පුස්තකාල ප්‍රවර්ධන මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු මගේ කුළුදුල් ග්‍රන්ථය බොහෝමයක් අයගේ ජීවිතයට පාඩම් ගොඩක් එකතුකරා.
සෙනෙහසේ සුසුම් වැල් නවකතාව සෙනෙහස් දාමයක පුරුක් දම්වැලක් විදියට ගෙත්තම් වුණ අපූරු කතාවක්. සමාජ සංස්ථාවක තියෙන සෙනෙහස් වර්ගීකරණයත් එක්ක සෙනෙහස හිමි වී අහිමි වෙන අයුරු අතර දෝලනය වෙන අපූරු කතාවක් සුසුම් වැල්.
5. සංවේදනා කියන්නේ ඔබේ දෙවෙනි කෙටි කතා පොත. බොහෝ පාඨකයින් කෙටි කතා වලට වඩා නවකතා වලට ඇල්මක් දක්වනවා. ඒ වගේම නවකතා වලට සාපේක්ෂව කෙටි කතා පොත් මුද්‍රනය වන්නේත් බොහොම අඩුවෙන්. එහෙත් ඔබ නැවත වරක් කෙටි කතා සංග්‍රහයක් එළිදක්වන්න විශේෂ හේතුවක් තිබෙනවාද…?
ඇත්තෙන්ම ඒක අහඹුවක්. මම ලියපු දිගම නවකතාව මුද්‍රණය කර ගැනීමේ අරමුණෙන් මම ගොඩක් වෙහෙසුණා. අවුරුදු දෙකකට කලින් මගේ එකම ආසාව වුණේ ඒ දේ. ඒත් මම ජීවිතේ පල්ලම් බැස්සා මීට අවුරුදු දෙකකට කලින්. මගේ ලිවීම මගෙන් ඈත්ම වෙලා ගියා. මම ළඟ කියවන්න හිටපු ආදරණීයෝ දවසින් දවස මගෙන් ඈත් වුණා. බැඳීමක් නිසා ජීවිතේ අන්තෙටම වැටුණු මම ආයෙමත් ලියන්න පටන් ගත්තේ රිදෙන හිතට ඔසුවක් විදියට. මගේ හිතේ හැඟීම් එකින් එක දිග අරිද්දි මම ළඟ නතර වුණු මාව අත් නොහැර උන්නු පිරිස හැමදාම මගේ ළඟ රැදුණා. එතනින් මම නැඟිට්ටා. ඊට පස්සේ බාගෙට නවත්තලා දාලා තිබුණු කතා ඇල්බම් එකින් එක සම්පූර්ණ කරන්න පටන් ගත්තා.. ඊට පස්සේ හිතට ක්ශණික සිතුවිල්ලක් එනවා මට කෙටි කතා 50 ක පොතක් කරන්න ඕන කියලා.. ඒ දේට මම ලෑස්ති වුණා.. ඒත් අන්තිමේට මට තිබුණ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කෙටිකතා 50 අන්තිමේ කෙටිකතා 17 කට ලඝු වෙනවා. ඉතින් සංවේදනාවේ රහස තමයි අහඹුව. දිගු අහඹුවකට විරාමයක් තියලා හිතේ ඇතිවුණ ක්ශණික සිතුවිල්ල මම ක්‍රියාවට නංවනවා. ඇත්තෙන්ම මම නව කතාවටත් වැඩියෙන් ඇලුම් කරන්නේ කෙටි කතාවට. මම කැමතිම දේට හිත කියන දේට මම මුල් තැන දුන්නා.
6. පාඨකයින් වෙනුවෙන් ඉදිරියේදි කරන්නට බලාපොරොත්තු වන නිර්මාණ ගැන මේ වන විට අදහසක් තිබෙනවාද..?
ඉදිරියේදි පොඩි දරුවෝ වෙනුවෙන් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලබන අවුරුද්දේ මුද්‍රණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නව කතා පොත වෙනස්ම ආකාරයක ලියවිල්ලක්. ආදරයට එහා ගිය නැවතුම් පලක කළුත් නැති සුදුත් නැති අළු චරිත ගැන කතන්දරයක් ඔයාලට කියවන්න පුළුවන් වෙයි.
7. නවක ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්නට සමාජ මාධ්‍යයෙන් ලැබෙන සහය සහ නිර්මාණ සොරකම වැනි අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට තිබෙන අත්දැකීම් මොනවාද…?
මුලින්ම මම සහාය ගැන කියන්නම්.. වර්තමානයේදි නවක ලේඛක ලේඛිකාවෝ රැසක් මුහුණු පොතේ ලියනවා. සමාජ මාධ්‍යයේ හොද නරක දෙකම තියෙනවනේ. ඉතින් හොද විදියට මුහුණු පොත පරිහරණය කරන නවක අයට උකහා ගන්න පුලුවන් දැනුම් ආකරයක් සමාජ මාධ්‍යයේ තියෙනවා.. හිතේ තියෙන ආසාවට ලියන හැමෝම නොදන්නා පිරිසකගෙන් ලැබෙන පැසසුම් එක්ක ලබන තෘප්තිය අන්තිමේ නතර වෙන්නේ මුද්‍රිත පොතක අකුරු රදවලා. ප්‍රවීන නවක ලේකක ලේකිකාවෝ රැසක් සමාජ මාධ්‍යයේ ලියන අයට ලබාදෙන පන්නර අති ප්‍රශංසනීයයි.
හොරකම ගැන කොයිතරම් කතා කරත් අදටත් හොරකමට විසදුමක් ලැබුණේ නෑ. මම ලියපු කෙටි කතා,නවකතා ඇල්බම් පිටින්ම හොරකම් කර ගනිපු අවස්ථා එමටයි. අන්තිමේ හොරුන්ට හොරකම් කරන්න කතා මුහුණු පොතෙන් ඇල්බම් පිටින්ම ඉවත් කරන්න සිදුවුණා.
8. ඔබ කොහොමද ලේඛිකාවක් බවට පත් වුනේ. ලේඛිකාවක් වීම ඔබේ අරමුණක් වෙලා තිබුණ දෙයක්ද..?
මම ලියන්න පටන් ගත්තේ පුංචි කාලේ ඉදන්. ඒත් කවදාවත් ලේකිකාවක් වෙන හීනය මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ. පුංචි කාලේ ඉදලා කවි,නිසදෙස්,ළමා කතා ලිව්වා. ඒවගෙන් ජයග්‍රහණත් හිමි කරගත්තා. ඊට පස්සේ ටික ටික ලොකු වෙද්දි ගීත, කෙටි කතා,නවකතා නිර්මාණය කරන්න ගත්තා පාසල් සමයේ. විජය මිහිර පත්තරවල නිර්මාණ මගේ නමින් පළවෙද්දි දැනුණු සතුට අද වගේ මට මතකයි. ඊට පස්සේ රැකියාව කරන කාලයේ අහම්බෙන් මුහුණ පොතේ උඩ පහළ යද්දි තරිඳු රංජක මල්ලිගේ සුදු ගවුම කියලා කතාවක් දකිනවා. ඒක කියවලා ආස හිතිලා මම එකටම ලියනවා මියැදුණු සිහිනය. එතැනින් තමා මම සයිබරයට ලියන ලියවිල්ලේ මූලාරම්භය සිදුවුණේ. දැන් මම පුළු පුළුවන් විදියට හැම ආරයකින්ම සමාජයට ඔවදනක් ලබාදෙමින් ලියනවා. තවම ලිවීමේ අතකොළුවෙක් මම.
9. ඔබ හිතන විදිහට ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තම නිර්මාණය තුල අදහස් ප්‍රකාශ කිරීමේදී යම් සීමාවක සිටිය යුතුද එසේත් නැතිනම් ඕනෑම මාතෘකාවක් සම්බන්ධව සීමා රහිතව නිදහසේ අදහස් දැක්වීම කළ යුතුද…?
සීමාවන් ඇතුළේ රැදෙනවට වඩා ඕනම මාතෘකාවක් සම්බන්ධයෙන් සීමා රහිතව නිදහසේ අදහස් දැක්වීම උචිතයි. ඒත් එතනදි තමන් භාවිතා කරන සිදුවීම්,වාග් මාලාව ,කරුණු හැමදේම තුළින් පාඨකයාව අවුලනවාට වඩා දමනය කරනවානම් උචිතයි කියලා මම හිතනවා.
මුහුණු පොතේ අද තියෙන සමහර නිර්මාණ දිහා බැලුවම නොදන්නා නොතේරුම් කමට ලියනවාද කියලා හිතෙනවා. හැඟීමක් වුණත් සිත අයාලේ නොයෙනා විදියට අර පරිස්සමෙන් අකුරු කරන්න ඕන. ලියන අකුරක් ගානේ මිනිස් සිත දූෂණය වෙනවනම් ඒ ලියවිල්ලෙන් වැඩක් වෙන්නේ නෑ. පෑන කියන්නේ කඩුවටත් වඩා බලසම්පන්න ආයුධයක්. ඒ ආයුධය හරිහැටි යොදාගෙන සීමාවන් ආවරණය කරනවා නම් උචිතයි කියලා මම ආයෙමත් කියනවා.
10. ඔබ හිතන විදිහට ලේඛිකාවකට හෝ ලේඛකයෙකුට සමාජය වෙනුවෙන් කල හැකි මෙහෙවර කුමක්ද…?
මේ ලෝකෙම වෙනස් කරේ ලේඛකයෝ.. ලේඛිකාවෝ.. සමාජයට සදූපදේශයන් තෙලි තුඩින් ලියපු අය සමාජය පුරාවටම පෙරළියක් කරන්න උත්සහ කරා. සමහරු සමාජ අරගලයන් රැසක් තෙලි තුඩින් ඉදිරියට ගෙනිච්චා. ලෝකය දිනන්න තියෙන හොදම අවිය මගේ මතය අනුව ලියවිල්ල.. වර්තමාන සමාජය දූෂිත බවෙන් අනූන වෙලා තියෙන්නේ. ලියවිල්ලෙන් සමාජයක් සදාචාරවත් කරන්න පුළුවන් නම්, අහිංසක හිතට සිසිලසක් දෙන්න පුළුවන්නම් ඒක තමා ලියවිල්ලෙන් ලබන ජය. රාගය උඩ දුවන සමාජේ රාගය උද්දීපනය කරලා ලියන ලියවිල්ලට වඩා පින් පව්, සමාජේ කළ යුතු නොකළ යුතු දෑ සියල්ල ආවරණය කරමින් ලියනවානම් සමාජයට සෙතක් වගේම ලියන අයගේ හිතත් සුවපත් වෙනවා…
මට මේ අවස්ථාව ලබාදුන්නු පොත් මී ඔබටත් ස්තූතියි
Comments
Post a Comment