මීදුම් මතක රැගෙන ඔබ හමුවට එන කාවින්ද්‍යා රත්නායක

අද පොත්මී “අලුත් පොතක්” විශේෂාංගය සරසන්නේ ලේඛිකාවක්, ගුරුවරියක් සහා සංස්කාරකවරියක් වන කාවින්ද්‍යා රත්නායක මහත්මිය. මේ ඇයගේ නවතම කෘතිය මීදුම් මතක ගැන –

 

1. “මීදුම් මතක” කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් එන ඔබේ පළමු කෘතිය. අපි මුලින්ම කතා කරමු මේ කෘතියේ අන්තර්ගත වෙන්නේ මොන වගේ කතාවක්ද කියලා…?
මූලිකවම ආදරය. ආදරය කිව්වහම යොවුන් ප්‍රේමයම විතරක් නෙවෙයි. දෙමාපියන් දරුවන් අතර ආදරය, සහෝදර ආදරය, වගේම මිතුරු ආදරය. හැමදේම එක කතාවකට කැටි කරන්න ගත්ත උත්සහයක්. කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ ආදරයට සහ අවධානයට හිමිවිය යුතු නැත්වල හිස් තැන් ඇති වුණාම සිද්ධ වෙන්න පුළුවන් සිද්ධීන් ගනනාවක් විවිධාකාර ස්වරූප වලින් තියෙනවා. ඒ වගේමයි. අපි ළමා මනෝවිද්‍යාවෙදි ඉගෙන ගන්නවා Love and Affection ගැන. මූලිකවම දරුවෙක්ගේ මුල් ළමා වියේදී ඒ දේවල අඩුවක් සිද්ද වුනාම ඒක දිර්ඝ කාලීනව පෞර්ෂයට බලපෑම් එල්ලකරනවා. අපේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය ගොඩ නැගෙන්නේ ඒ වගේ අඩුපාඩුවකට මූණ දුන්නු කෙනෙක් විදියට. එයාගේ ජීවිත කතාව ඇතුලේ අපි කතා කරනවා අන්තිම බින්දුවට වැටෙන මනුස්සයෙක්ට ජීවිතේ ඉහළටම යන්න ආදරේ කොහොමද සහය වෙන්නේ කියලා.
ආදරයට සාහිත්‍යමය බරක් එකතු කරා වගේම මනෝවිද්‍යාත්මක හරයකුත් එකතු කරලා. වර්තමාන සමාජයට තේරුම් ගන්න ලේසිම මාධ්‍යකින් ඉදිරිපත් කරන්න උත්සහ කලා. ලැබෙන ප්‍රතිචාර එක්ක මට හිතෙනවා මම සාර්ථකයි කියලා.

2. මීදුම් මතක මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට බොහෝ දෙනා උදව් කරන්නට ඇති. ඒ අය ගැනත් මතක් කිර්‍රීමක් කරමු…
අනිවාර්‍යයෙන්ම මතක් කල යුතුයි. උදව් කරපු බොහෝ පිරිසක් හිටියා. ඒ අතරින් ප්‍රකාශකයෙකු සොයා ගැනීමේ ගැටලුව තිබුණු වගේම පොත ඉක්මනින් මුද්‍රණය කර ගැනීමේ උවමනාව තිබුණු කාලෙක, මගේ සමිපතම යෙහෙලියක්, සහෝදරියක් වෙන ජයමාලි ජයරත්න මහත්මිය එතුමියගේ Joan Creations ප්‍රකාශන ආයතනය හරහා පොත ප්‍රකාශණය කරවීම බාර ගත්තා. ඒ වගේමයි. මීදුම් මතක ලියන කාලයේ හඳුනා ගත් යෙහෙලියන් පිරිසක් අපිට අතිවිශාල ලෙසින් උදව් කලා. නම් වශයෙන් කිව්වොත්න්, කවිනි ෆනෑන්ඩූ, Dr. අනුරාධා පෙරේරා, චතුරිකා හත්තසිංහගේ, දයංගනී පෙරේරා, මෙතුසලා ලිවේරා, මීෂා ඉද්දමල්ගොඩ, සුජා ෆනෑන්නඩු, සහ සුභාෂනී ෆොන්සේකා. කියන මිතුරියන් කැල නොසිටින්නට මීදුම් මතක මේ තරම් ඉක්මනින් මුද්‍රණය නොවේවි.
ඒ වගේම මගේ දෙමාපියන්, මල්ලී, නංගී, වගේම දයාබර සැමියාත් පුතු සයුලුත් මගේ ලිවීමට දෙන්නේ ඉතාම හොඳ සහයක්.

 

 

3. මීදුම් මතක කියන්නෙ කාලයක් ඔබ කොටස් වශයෙන් මුහුණුපොතේ පලකරන ලද කතාවක්. නමුත් ඒ ඔබ ලියන දෙවන කතාව. ඇයි මේ කතාවම මුළින් මුද්‍රනයට ගෙන එන්නට හිතුවේ…?
මුහුණු පොතට කලින් මම 2010 වසරේ ඉඳන්ම බ්ලොග්කරණයේ නිතර වෙලා හිටියා. කවි බ්ලොගයක් වගේම සිතුවිලි බ්ලොගයකුත් මේ වනතුරුත් පවත්වාගෙන යනවා. නමුත් ඒ ලියපු එක් ලියවිල්ලක්වත් මුද්‍රිත මාධ්‍යයට එන සාධනීය මට්ටම ළං කලේ නෑ කියන එකයි මගේ පුද්ගලික හැඟීම.
ඕනෑම ලේඛකයෙකුට තියෙනවානේ තමන්ගේ ප්‍රියතම කතාවක්. මගේ නම් ඒ මීදුම් මතක. මොකද මීදුම් මතක වලින් පසුව ලියපු කතා තුනක් මේ වෙද්දිත් ප්‍රකාශකයින් විසින් බාර අරගෙන තියෙනවා. නමුත් මට උවමනා වුණා මීදුම් මතක මගේ පළවෙනි කෘතිය වෙනවා දකින්න. ඉතින් ඒ නිසා තමයි මේ තරම් ඉක්මනින් මීදුම් මතක මුද්‍රණය කෙරුණේ.

4. මේ කෘතිය පාඨකයින්ට මිලදී ගන්නට හැකි ආකාර මොනවාද..?
මේ දිනවල අපි කුරියර් මගින් දිවයිනේ ඔනෑම තැනකට පොත යැවිමට කටයුතු කරගෙන යනවා. ඒ සඳහා මාව මුහුණු පොත හරහා සම්බන්ධ කරගත හැකියි, ඒ වගේම ප්‍රකාශක තුමියවත්.
සංචරණ සීමා පනවන්න කලින් අපි පොත් හල් වලට පොත භාර දුන්නා. ඒ වගේම Grantha.lk ආයතනය හරහාත් ඔන්ලයින් ක්‍රමය මගින් පොත් ගෙන්වාගත හැකියි.
ඊට අමතරව දිවයින පුරා පොත් හල් හරහාත් මේ වෙද්දි පොත ගෙන්වා ගන්න සහ මිලට ගන්න පුළුවනි. ඒ වගේමයි පොත්ගුල ආයතනය හරහා ඉතාලියේ ඉන්න රසවතුන්ට පොත මිලට ගන්න පුළුවන්. වෙනත් රටවලට Joan Gifts and Books ආයතනය හරහා සාධාරණ මිලකට පොත් ගෙන්වාගන්නත් පුළුවන් කම තියෙනවා.

5. මොන යම් හෝ සාර්ථක නිර්මාණයක් කිරිම සඳහා නිර්මාණකරුවෙකුට ඒ පිළිබඳ දැනුම හා අත්දැකීම් කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක්. ඔබ කොහොමද නිර්මාණයක් වෙනුවෙන් අවශ්‍ය දැනුම , අත්දැකීම් ලබා ගන්නේ…?
මගේ වෘත්තියෙන් කිව්වොත් හරියටම හරි. මම වෘත්තීයෙන් දිවයිනේ ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර පාසැලක උසස් පෙළ ගුරුවරියක්. ගුරු ජීවිතයේදී පහළ මධ්‍යම පන්තියේ සිට ඉහළම සමාජ තලයට වනතුරු සමාජ මට්ටම්වල දරුවන් සහ දෙමාපියන් සමග මම ලබාගත් අද්දැකීම් බොහෝමයි. මිදුම් මතක කතාව තුලත්, මම අන්තර්ගත කරලා තියෙන වතු ආශ්‍රිත ඉහළ සමාජ මට්ටමේ දරුවන් සහ ඔවුන්ගේ හැසිරීම්, ගුරුවරියක් ලෙසින් ඇසුරු කළ දරුවන්ගෙන් ගත් දේවල්.
ඊට අමතරව මගේ අතින් ලියවුණු කතාවල බොහොමයක් මා දැක ඇති සහ ඇසරු කළ චරිත තියෙනවා. වයස අවුරුදු දහනවයේ සිට මේ වන විට මම රැකියා හතරක් කරලා තියෙනවා. ඉන් තුනක්ම ගුරු රැකියා, එකක් තරමක වෙනස් නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක්. ඒ කාලය තුල දැන හඳුනාගත් සහ ඇසුරු කළ මිනිසුන් සහ ඔවුන්ගෙන් උගත් දේ මම බොහෝ විට මගේ බ්ලොග් අඩවියේ ලියා තිබෙනවා. ඉතින් ඒ චරිත වල සුදු, කළු සහ අළු පැහැ පැතිකඩ මගේ ලියවිලි වල තියෙනවා කියලයි මට හිතෙන්නේ.
විශේෂයෙන්ම මීදුම් මතක කතාව ඇතුලේ පහන්දිගේ මව මා ගොඩ නැගුවේ මගේම මව තුලින්, ඇයගේ පියා මා ගොඩනැගුවේ මාගේම පියා තුලින්. ජීවිතයට එන යන චරිත, කතා ඇතුලේ ලියද්දී මම ඒ චරිතවලට මගේ මනසේ මැවෙන බර එක් කරනවා. හැඩ වෙනස් කරනවා. අන්න ඒ විදියට තමයි ලියන්න අත්දැකීම් අරගන්නේ.

 

 

6. ඉදිරි නිර්මාණ කටයුතු ගැන මේ වන විට අදහසක් තිබෙනවාද…?
මුහුණු පොතට ලියන සෑම කතාවක්ම මුද්‍රිත මාධය්‍ය තුලට පිවිසිය යුතු නැහැ කියන මතයේ මම තදින්ම එළඹගෙන ඉන්නවා. ඒ නිසා මම මුහුණු පොතටත් ලියාවි මුද්‍රිත මාධ්‍යය වෙනුවෙනුත් ලියාවි. මේ වන විට මුහුණු පොතට ලියන නව වැනි කතාව ලියමින් සිටින්නේ. පෙර ලියූ කතා වලින් මීදුම් මතක පොතක් විදියට අද පිටවෙලා. ඒ මගේ දෙවැනි නිර්මාණය.
ඒ එක්කම මේ වන විට මගේ තුන්වන, හතරවන සහ පස්වන නිර්මාණ ප්‍රකාශකයින් විසින් බාර අරගෙන තිබෙනවා. පිලිවෙලින් අනුරාගිනී, අභිපාරී සහ ස්නේහ වියමන්.එම කථාංගයන් තුනම එකිනෙකට වෙනස් මානයන් ඔස්සේ සමාජයට පනිවිඩ ගෙනෙන මාතෘකා නිසාවෙන්ම පොත් වශයෙන් මුද්‍රණය කරන්නට සිතුවා. මීට අමතරව තව එක් නිර්මාණයක් මුද්‍රණය කිරීමට සිතනවා ඒ හැර අන් කිසිදු මුහුනු පොතේ කල නිර්මාණයක් මුද්‍රණය නොකරන්නයි මගේ අදහස. නමුත් ඉදිරිය ගැන කියන්න අමාරුයි. හොඳ නිර්මාණයක් නම්, එය මුද්‍රිත මාධ්‍යට සුදුසු සාධනීය මට්ටම ළඟ කරනවානම් ඒ ගැන සිතා බලනවා. කෙසේ නමුත් ජනවාරියේ ජොඈන් ක්‍රියේශන්ස් වෙතින් මුහුනු පොතේ පල නොකල නිර්මාණයක් එලිදැක්වෙන අතරම මම කලින් කී කෘතීන් තුනත් ඒ අතර මුද්‍රණය වේවි.

7. නිර්මාණ කටයුතු වලදී ඔබට සමාජ මාධ්‍ය තුලින් ලැබුන සහයෝගය සහ ඒ අත්දැකීම් ගැනත් කතා කරමු..
මම සමාජ මාධ්‍ය තුලින් බිහිවුණ ලේඛිකාවක්. මුලින්ම බ්ලොග් කරණයෙනුත් පසුව සිතුවිලි නිම්නයෙනුත්. මම මෙහිදි විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි සිතුවිලි නිම්නයේ නිර්මාතෘවරිය වන චේතනාද සිල්වා මාගේ සමීපතම යෙහෙලියට. ඇය සිතුවිලි නිම්නයේ ලබා දුන් ඉඩ නිසාවෙන් පාඨකයින් මාව හඳුනාගත්තා. ඒ වගේමයි මාගේ ලේඛන දිවියට වගේම නිර්මාණ කරණයටත් ඇය මුල් කාලයේ දුන් සහය කිසිදා අමතක කළ නොහැකියි. මා විසින් නිර්මාණය කළ මුල්ම පොත් කවරය කරන්නට අවස්තාව දුන්නේ ඇය, ඒ වගේම මා විසින් කල මුල්ම සම්පූර්ණ පිටු සැකසුම කරන්නට අවස්ථාව දුන්නේ ඇය.
ඒ වගේමයි දිනෙල්කා ඇන්තනී මිතුරිය, මුල්කාලයේ ඇය මා වෙනුවෙන් මාගේ නිර්මාණ සිතුවිලි නිම්නය පිටුව තුල පළ කලා. සහ මුහුණු පොතේ ලේඛිකාවක් ලෙසින් මාව මුලින්ම කරලියට ගෙන එන්නට ඇය පුරෝගාමී වුණා. ඉන්පසුව මම පෙර සඳහන් කල මාගේ මිතුරියන් පිරිස වගේම සිතුවිලි නිම්නයේ ‍සියළුම ලේඛක ලේඛිකාවනුන් මේ වෙලාවෙ අදාර‍යෙන් සිහි කරනන් කැමතියි.
සියල්ලට ඉහළින් මම ස්තූති කළ යුත්තේ මාගේ පාඨකයින්ට, ඔවුන් නොවන්නට මම මේ ගමන නැවිත් ඉඳිවී. සාමනයයෙන් මම බොහෝ නිහඬ චරිතයක් නිසාවෙන්ද මන්දා මාගේ පාඨක පිරිස අතිශය සීමිතයි. සහ මාගේ ලිවීම තරමක් බොළඳ බවින් තොර නිසාදෝ මුහුණු පොත තුල පාඨකයින් ගනන ‍අන් අයට සාපේක්ෂව බොහොම අඩුයි. නමුත් ඉතාමත්ම ඉහළ රසවින්දනයක් ඇති බුද්ධිමත්පාඨක පිරිසක් ලබන්නට මම වාසනාවන්තයි. මම ඔවුන් තුල දකින ඉහළම ගුණාංගය මා ලියනා සියල්ල වර්ණනා කිරීම නෙවෙයි. ඔවුන් මාගේ අඩුපාඩු පවා පෙන්වා දෙමින් කරන දිරිමත් කරවීම. ඒ සියල්ල මාගේ ඉදිරි ලේඛණයන් ඔප්නංවන්න හොඳින්ම බලපානවා.

 

 

8. ආධුනික ලේඛ්කාවක් ව්දිහට මේ ක්ශේත්‍රයට පිවිසෙන ව්ට ක්ශේත්‍රයේ ඇතුලින් ඔබට ලැබුණ ප්‍රතිචාර සහ සහයෝගය මොනවගේද… ?
ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබුණා, සහ ලැබෙමින් පවතිනවා. තමාගේ ක්ෂේත්‍රයේ ආධුනිකයින්ව දිරිගන්වන්නට තරම් නිහතමානි වන ප්‍රවීනයන්ගේ ඇසුර ලබන්නට මම සැබැවින්ම වාසනාවන්තයි. ඔවුන්ගේ අගය කිරිම් විටෙක ඇස්වලට කඳුළු ගේනවා වෙග්ම සිත දිරියෙන් පුරවනවා. නම් වශයෙන් කිව්වොත් චන්දි කොඩිකාර මහත්මිය. වත්සලා කරුණාරත්න මහත්මිය, ඉමේෂා මාධවී මල්ලවආරච්චි මහත්මිය. දිලූ මාපා මහත්මිය, නොහඳුනන්නී නොහොත් අනුශා ෆනෑන්ඩු මහත්මිය. වගේම ලේඛක පාඨක සංසදයේ ලලින් ගමගේ මහතා නිතරතුරු මාව දිරිගන්වනවා.
ඒ වගේමයි මම මුතුමුදලිගේ නිස්සංක මහත්මයාට විශේෂ ස්තූතියක් කළ යුතුයි. එතුමාගේ “පෝ” කෘතියේ පිටු සැකසුමට මාව තොරාගැනීම පිළිබඳව. ඒ හරහා හඳුනාගත් චින්තක මහත්මයාගෙනුත් මුතුමුදලිගේ මහත්මයාගෙනුත් ඉගෙන ගන්නට ලැබුණු දේ බොහෝමයි.

9. ඔබ ලිවීමට යොමු වුනේ කොහොමද…?ලේඛිකාවක් වීම ඔබේ අරමුණක්ව පැවති දෙයක්ද…?
ඇත්තම කිව්වොත් ලිවීමට යොමුවුණේ පාසැල් කාල‍යේමයි. මතක හැටියට නවය වසරෙදි වගේ පිටු ඉතිරිවුණ ජීවන නිපුනතා පොතක පිටිපස්සේ බොහොම සරළ කතාවකින් පටන් ගත් ලියවිල්ල පාසැල් සමය අවසන් වන විට පොත්වල ලියූ නවකතා තුනක් හෝ හතරකට සීමා වුණා. ඒ කාලයේ පාසැල් මිතුරියන් තමයි ම‍ගේ පාඨකයින්. මාගේ ලිවිමේ හැකියාව පිළිබඳව ගුරුවරුන් පවා දැන සිටියා. ඒ නිසාම ගුරුවරුන් මට උසස් පෙළට කලා විශයන් තොරගන්නට අවවාද දුන්නත් මම එතනදි වැරදි තීරණයක් ගත්තා කියලා මම හිතනවා. මම විද්‍යා විශයන් තෝරගෙන මගේ ගමන් මග වෙනස් කරගත්තා. මගේ අම්මා කියවීමට ඇබ්බැහි වුණු කෙනෙක්. ඉතින් අම්මාගේ එකතුවේ පොත් සියල්ලම මම කියවලා තියෙනවා. ඒ වගේමයි අම්මාගේ පාර්ශවයේ ආතා, අත්තම්මා දෙන්නත් ඉතාම හරවත් පොත් කියවූ දෙදෙනෙක්. අත්තම්මාගේ එකතුවේ උම්මග්ග ජාතය, ජනකවි වැනුම වගේ පොත් මගේ සාහිත්‍ය දැණුම තියුනු කළා කියලා මම හිතනවා. ඒ කියවීමේ ඉතිහාසය කොයි තරම්ද කියන්න ලංකාවේ ප්‍රථම මුද්‍රීත නවකතාව පවා මේ වෙදිද්ත් මගේ ගාව තියෙනවා. ඉතින් කියවීමමයි මට ලිවීමට අත්වැලක් සැපයුවේ.
නමුත් පාසැලෙන් ඉවත් වෙලා පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරද්දී මගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරගන්න මම ඉංග්‍රීසි පොත පතට හුරු වුණා. අවුරුදු අටක් වගේම සිංහල පොතක් අතට නොගත් කාලයක් තිබුණා. නමුත් ඒ කාලයේ බොහෝමයක් ඉංග්‍රීසි පොත් කියවන්න ලැබුණු අවස්තාව විශ්ව සාහිත්‍ය තුලටත් මාව යම් තරමකට අරන් ගියා කිව්වොත් නිවැරදියි. දැන් නැවත මම සිහංල පොතට හුරු වුණා. ඒකෙත් පුරෝගාමියා වුණේ චේතනා ද සිල්වා මිතුරියමයි. ඇය විසින් මුලින්ම මට තිලිණ කල සිංහල නවකතා එකතුව මේ වෙද්දී කෙමෙන් වර්ධනය වෙමින් යනවා.
ලේඛිකාවක් වෙන්න මම අරමුනු කරගෙන හිටියාද කියන ප්‍රශ්ණයට උත්තර දුන්නොත් ‍මට කියන්න තියෙන්නේ ‍කොහෙත්ම නැහැ කියලා.. මොකද මම විද්‍යා විශයන් තොර ගනිද්දී මම ලේඛනයට සමුදුන්නා. නමුත් දෛවය හරි අපුරුවට මාව හුදෙකලාව කියන කලාව ඇතුලේ හිර කළා. ඒ 2010දි පළවෙනි වතාවට ගෙදරින් පිට වෙලා පිට නගරයක බෝඩිම් ජීවිතයක. ඉතින් ඒ කාලයේ තමයි බ්ලොග්කරනය හරහා නැවත ලිවීම පටන් ගත්තේ.

10. ඔබ හිතන විදිට ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට තම නිර්මාණ තුලින් සමාජය තුළ පෙරළියක් කරන්නට හැකිද…? ඒ වගේම ලේඛකයෙකුට සමාජයට කල හැකි මෙහෙවර කුමක්ද…?
ඒක සාපේක්ෂයි. සමාජය කියන කුලකය නියෝජනය කරන පිරිසෙන් කියවීම කියන කුසලතාවය ප්‍රගුණ කරන්නේ කීයෙන් කීදෙනෙක්ද? හරිම පොඩි පිරිසක්. ඉතින් ලිවීම තුලින් මහා ලොකු සාමාජීය වෙනසක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් කියන පිරිස තුල යම්කිසි සිතුවිලිමය වෙනසක් කරන්න බැරි කමක් නැහැ. නමුත් වර්තමානයේ මුහුණු පොතේ ලිවීම නම් යන්නේ හහරිම අවාසනාවන්ත දිශානතියකට කියන එකයි මගේ පුද්ගලික හැඟීම. කතා කල හැකි සොඳුරු මාතෘකා දහස් ගනනක් තියෙද්දීත් මුහුනු පොත කියන මාධ්‍යය දැන් යන්නේ ලිංගිතක්වය, කෘරත්වය වගේ පැතිවලට, ගෘහස්ත හිංසනය ආදරේ සංඛේතයක් කියලා හිතන පැත්තකට. ඉතින් ඒ විදියේ මාතෘකා වටේට එකතු වෙන පිරිස අපේ ලියවිලි දැක්කත් අහක බලාගෙන යන තත්වයක් තියෙනවා.
නමුත් මුද්‍රිත කෘති කියවන පාඨක පිරිස මීට වෙනස්. ඔවුන්ට ඉහළ රසාස්වාදයක් තියෙනවා වගේම ජීවිතයට ගත හැකි ආදර්ශයන් සහ වටිනාකම් පොත් තුලින් ලබාගන්නට ඔවුන් දියෙන් කිරි වෙන් කරන්නා සේ සමර්ථයි. ලේඛකයෙක්ට සමාජයට කළ හැකි පෙරළිය විශාල එකක්. අකුරු තුලින් මිනිස් මනස තුල නොමැකෙන සිතුවම් අඳින්න දක්ෂ ලේඛකයෝ අපි අතර ඉන්නවා. එය ඉතාමත්ම ප්‍රවේසමින් කළ යුතු දෙයක්.

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න