මටුලු නවකතාව සමග ඔබ වෙත එන ලේඛක ඉන්දික පෙරේරා
අද පොත්මී “අලුත් පොතක්” සාකච්චාව සමග ඔබ හමුවට එන්නේ, ලක්ෂ්මන වර්ණ, ෆිදෙල්, මැන්ඩෙලාගේ ජීවිත කතාව වැනී කෘතීන් රචනා කල ලේඛක ඉන්දික පෙරේරා, මේ ඔහුගේ නවතම කෘතිය “මටුලු” ගැන
1. ” මටුලු” නමින් පාඨකයින් අතට පිදෙන්නේ ඔබේ පළමුවැනි නවකතාව. ඉතින් මේ කෘතියේ අන්තර්ගතය මොකක්ද කියල මුලින්ම කතා කරමු…
මටුලු” සරලව ගත්තොත් මගේ ජීවිතයෙන් කොටසක් නමුත් ඒ කොටස ඒ තරම් සරල එකකුත් නෙමෙයි. මේ කතාකරන්නේ හැත්තෑව මැද භාගයේ ඉදන් අසූව අවසානය දක්වා වූ කාලසීමාව ඇතුළේ කිසිම සමාජ පන්තියකට අයිති නැතිව, එහෙමත් නැත්නම් මනසෙන් මධ්‍යම පාන්තික වුණු නමුත් ප්‍රායෝගිකව දුප්පත් කලාපයට අයිති පවුලක් ගැන. ඔවුන් අත්විදින සිදුවීම් මාලාවක් ගැන. මේ සිදුවිම් සියල්ලම දෝලනය වෙන්නේ අම්මාවරු දෙන්නෙක් එක්ක. ඔවුන් ජීවත් වීම සඳහා අරගලයක් කරන අතරේම බාහිර ලෝකයෙන් ඇතිවෙන ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි තමයි මටුලු මේ අම්මාවරු දෙන්නාත් එක්ක කතාකරන්නේ.
මේ කතා කරන කාලසීමාවේ විවිධ කලබැගෑනි සිද්ධ වෙනවා. හැත්තෑවෙන් පස්සෙ මිනිස්සුන්ගේ ජීවිත පහසු නැහැ. ඔවුන් තරුණ අරගලයක කලබල වලින් පීඩාවට පත්වෙච්ච වෙහෙසකර මනසකින් යුතු අය. ඊළඟට අසූ තුනේ වර්ගවාදය මිනිසත්කමට නින්දාවක් වෙලා නැවත හරිගස්සවගන්නට බැරි වැරද්දක් බවට පත්වෙනවා. ඊළඟට අසූනවයේදී ආපසු තරුණයෝ අවි ගත් අරගලයක් මෙහෙයවනවා. ඒ අරගලය මැඩපවත්වන්නට ආණ්ඩුවටත් අවි යොදාගන්න වෙනවා. තමන්ගේ හිතෛෂි මිනිස්සු අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ජීවත්වීම සඳහාම අරගල කරපු අම්මලාට ඊළගට දරුවන් ගැන වද වෙන්න වෙනවා.
ඒ අම්මලා හරියට පොල් මටුලු වගේ. අර දරුවන් වෙනුවෙන්ම කැපවෙනවා. අව්වට වැස්සට මුහුණ දීලා අර පොල් මල ඇතුළේ හැදෙන ළපටි මල් ආරක්ෂා කරනවා. ඒක නතර වෙන දෙයකුත් නොවෙයි. අන්තිමට මේ අම්මලාත් දරුවන් උස් මහත් වෙලා ලෝකය දකිනකොට අර පොල් මටුල්ල වගේ වියපත් වෙලා. සමහර විට දිරාපත් වෙලා.
ඒක තමයි ”මටුලු” මතක් කරන්න උත්සාහ කරන්නේ.
2. මේ ඔබේ පළමුවැනි නවකතාව වුනත් මීට පෙර තවත් කෘතීන් කිහිපයක්ම ඔබ අතින් ලියවිලා තිබෙනවා. ඒ කෘතීන් ගැනත් යම් සඳහනක් කරමු
පළමුවෙන්ම, මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාවට ඉදිරිපත් කරපු එක් නිබන්ධනයක් වුණු ”සියරට -දේශපාලන පුවත්පත සහ මාධ්‍ය භාවිතය 1947-70” පොතක් විදියට පළකළා. ඒ තමයි ආරම්භය. ඊළගට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගිය දේශීය ව්‍යාපාරිකයෙක් වෙන ලක්ෂ්මන් විතානච්චිගේ ඉල්ලීම මත ඔහුගේ ජීවිත කතාව ”ලක්ෂ්මන වර්ණ” නමින් ප්‍රකාශයට පත් කලා. එයින් පස්සේ ඇත්ත පුවත්පතේ කොටස් වශයෙන් පළවුණු ෆිදෙල් කස්ත්‍රොගෙ චරිතාපදානය ඔහුගේ මරණයත් එක්කම ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයේ මැදිහත්වීමෙන් “ෆිදෙල්” නමින් එළිදැක්වුණා. මටුලු වලට කලින් නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව වුණු Long walk to freedom පාදක කරගෙන කරපු චිත්‍රපටය මගේ ඇසින් දකින විදියට ලියමින් ඇත්ත පත්තරයේම කොටස් වශයෙන් පළවුණු “මැන්ඩෙලා” ඒ නමින්ම පොතක් බවට පත් වුණා.
3. මුළින් ඔබ විසින් ලියන ලද පුවත්පත් විමර්ශන ,චරිතාපදාන වැනි කෘතීන්ගෙන් පසුව වෙනස් මඟකට ඇවිත් මේ වගේ මාතෘකාවක් ඔස්සේ නවකතාවක් ලිවීමට විශේෂ හේතුවක් තිබෙනවාද…?
මම මේ ඔක්කොම අතරේ මගේ ජීවිත කතාව ලියන්නට පටන් ගත්තා. ඒ ‘මට හිතෙන හැටි’ නමින් බ්ලොග් අඩවියක් ඔස්සේ. මුලින් කෙටිව ලියවුණත් පස්සේ මේ කතා දිර්ඝ ඒවා වුණා. මම ඒ කතාවේදී බොහෝම අවංක වෙන්න උත්සාහ ගත්තා. ඒ නිසාමද කොහෙද බොහෝ දෙනෙක් කියවන්නටත් අදහස් ප්‍රකාශ කරන්නටත් පටන් ගත්තා. ඒ වුණත් රැකියාවේ කාර්යබහුලකමත් තවත් හේතුත් නිසාත් කතාව අතරමගදි නතර වුණා. ඔය අතරේ තමයි කෝවිඩ් වසංගතය ආවේ. ඒ නිවාඩුවෙන් මෙතෙක් ලියපු දේවල් ආපහු කියවන්න වෙලාවක් හම්බවුණා. එයින් ආපහු මේ මට හිතෙන හැටි ලියපු ඒවායෙන් පළමු පරිජෙදය විදියට කොටසක් වෙන් කරගෙන ‘මටුලු’ නවකතාව බවට පත්කරගත්තා.
4. මේ කෘතිය ප්‍රකාශනය දක්වා වූ කාර්යයේදී ඔබට සහය දක්වපු පිරිස ගැනත් සඳහනක් කරමු…
මුලින්ම, මටුලු වලට විතරක් නොවෙයි හැමදාමත් හැමදේකටම මට උපකාර-උපදෙස් දෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මිත්‍රයා. ඒ එක්කම මටුලු අත්පිටපත කියවලා මට නොපෙනුණ අඩුපාඩු ගැන වෙනමම සම්පිණ්ඩනයක් කරපු ධම්මික බණ්ඩාර හේරත් කථිකාචාර්යතුමා. ඔවුන් තමන්ගේ කාර්යබහුලකම උඩ වුණත් මටත් වෙලාවක් වෙන්කරන්නට තරම් මහත්වරු වුණා.. ඊළගට ඇත්ත නියෝජ්‍ය කතෘ සමන් ජයකොඩි. ඔහු දක්ෂයෙක්. පොත සැලසුම් කිරීම කවරය ඔහුගේ වැඩක්. ඊළගට ගෙදර ඉන්න අඩුම කාලවේලාවෙත් ටයිප් රයිටරයට ඉඩ වෙන්කරන එක ගැන අසතුටක් නැති මගේ පවුලේ අය. ඒ එක්කම මගේ හැම ලියමනක්ම කියවලා අඩුපාඩු කියන, හොද නරක පෙන්වන හිතවත්ම අය කිහිපදෙනෙක්.
5. “මටුලු” කෘතිය පාඨකයින්ට මිළදී ගන්න පුලුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
මේ වගේ කාලයක, විශේෂයෙන්ම රට වහලා තියෙන වෙලාවක, කාලයත් ඕනෑ තරම් තියෙන අවස්ථාවක කිසිම ගාස්තුවක් නැතුව ගෙදරටම පොත ලැබෙන විදියට වෝටර්මාර්ක් ප්‍රකාශන ආයතනයෙන් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ අනුව අවශ්‍ය කෙනෙකුට නම-ලිපිනය-දුරකථන අංකය 074105 5657 ට වට්ස් ඇප් පණිවිඩයක් එවීමෙන් ලබාගන්න පුළුවන්. නැත්නම් watermark books & beyond ෆේස්බුක් පිටුව හරි watermark.books ඉන්ස්ටග්‍රෑම් හරහාත් පණිව්ඩයක් එවන්න පුළුවන්. පාඨකයන්ට පොතේ මිල විතරයි ගෙවන්න වෙන්නේ.
6. ඔබ හිතන විදිහට ලේඛකයකු වශයෙන් ඔබට සමාජයට කල හැකි මෙහෙවර කුමක්ද…?
ලේඛකයෙක් කියන්නේ ඇස් අරවන්නෙක්. සමාජයට ඕනෑ කරන දේ ඔවුන් සතුව තියෙන හැකියාව පාවිච්චි කරලා හරි විදියට දෙන්න ඕනෑ. හැබැයි තව කෙනෙකුට දෙන්න තමන් හරියට දැනගෙන ඉන්න එපැයි. ඒ නිසා ලේඛකයා දැනුම කියන කාරණය තමන් සතු කරගන්නේ කියවීමෙන්, තොරතුරු හඹා යාමෙන් වගේම ඒ දැනුම තොරතුරු හොදින් විශ්ලේෂණය කිරීමෙන්. අන්න ඒ අර්ථයෙන් ලේඛකයාට සමාජයට මෙහෙවරක් කරන්නට පුළුවන්. මම හිතන්නේ මමත් කරන්නේ ඒ දේ. මම හොද යමක් දුටුවාම මගේ සමාජයට ඒක අත්පත් කරගැනීමේ මාර්ගයක් මගේ ලිවීම හරහා ලබාදෙනවා. සමාජය විසින් ඒ තොරතුරු මත පෞදගලිකව හෝ පොදුවේ හෝ යහපත් කාර්යයන් සඳහා යොදාගන්නවා ඇති කියන එක තමයි ලේඛකයෙක් විදියට මගේ බලාපොරොත්තුව.
නවකතාවෙන් කරන්නේත් එවැනිම කාර්යයක්. ලේඛකයන් විසින් පාඨකයන්ට විවිධ චරිත වගේම සිදුවීම් හරහා අලුත් පරිකල්පනීය අවස්ථාවක් ලබාදෙනවා. පාඨකයා තමන්වත්, සමාජයත්, සිද්වෙන්නට නියමිත කාරණාත් මේ අත්දැකීම හරහා පිරිපහදු කරලා ගන්නවා ඇති.
7. ” මටුලු “කෘතියෙන් පසුව ඉදිරියට කරන්නට සිටින අලුත් නිර්මාණ පිළිබඳව මේ වන විට අදහසක් තිබේනවාද…?
ඔව්. අර කලින් කීවා වගේ වසංගතය මුවාවෙන් ආපු ආශිර්වාදයක් තිබෙනවා. ඒ කාලය! එයින් මම බොහෝම ප්‍රයෝජන ගත්තා. වෙනිසුවේලාවේ ජනපතිව හිටපු හියුගො චාවේස් ගැන පරිවර්තනය කරපු දීර්ඝ චරිතාපදානයක් තිබෙනවා. එය කොටස් වශයෙන් ඇත්ත පත්තරේ පළවුණා. එහි මූලික වැඩ සියල්ල ඉවර වෙලා. තව, මෙතෙක් ලියා පුවත්පත් වල පළවුණු කවි වගේම කෙටිකතා කිහිපයකුත් තිබෙනවා. ඊළගට ඒ ගැන තමයි බලාපොරොත්තුව.
8. වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝමයක් දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ තම නිර්මාණ ඉදිරිපත් කරන්නටත් යොමු වෙලා තිබෙනවා. ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණ පල කර තිබෙනවාද..? ඒ සම්බන්ධව ඔබේ අදහස මොකක්ද..?
ඔව්. මමත් මුලින්ම ලියන්නට පටන් ගත්තේ බ්ලොග් අඩවියක් නේ. නමුත් බ්ලොග් කියවීම ටිකෙන් ටික අපෙන් ඈත් වෙමින් තිබෙනවා වගේ පෙනෙන්න තියෙනවා. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ලියන බ්ලොග්. නමුත් ෆේස්බුක් දැන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මමත් ෆේස්බුක් අවකාශය පාවිච්චි කරමින් ”අන්තිම පේළිය” නමින් පිටුවක් පටන් ගත්තා. බොහෝ දෙනෙක් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට මාධ්‍යයක් ලෙස ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යොදාගන්නවා. එහෙත් ගැටලුව තියෙන්නේ මේවායේ අන්තර්ගතය. සුලු පිරිසක් සමාජ මාධ්‍ය යොදාගන්නේ විෂම අදහස් බෙදාහරින්න. තව පිරිසක් මූල්‍යමය වාසි නිසා. ඔවුන්ට අවශ්‍ය නැහැ සමාජයට ප්‍රගතිගාමී යමක් දෙන්න. මේ දෙකොට්ඨාශය නොවෙන්නට සමාජ මාධ්‍ය වැඩදායකයි.
අනෙක් අතට අප තවමත් මේ සමාජ මාධ්‍යයයෙන් වැඩ අරගන්නට පටන් ගෙන නැහැ වගේ එකකුත් තියෙනවා. ලෝකය වේගයෙන් ගමන් කරන නිසා අපත් ඊට ඉක්මනින්ම එක්වෙන්නට වුවමනා වෙනවා.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment