අහිමි සඳවතිය සමග යළි ඔබ හමුවට එන දමින්ද දේශප්‍රිය රණතුංග
අහිමි සඳවතිය සමග යළි ඔබ හමුවට එන දමින්ද දේශප්‍රිය රණතුංග අද පොත්මී අලුත් පොතක් සාකච්චාව සමග
1. ඔබේ අටවෙනි නිර්මාණය තමා අහිමි සඳවතිය නමින් ඉතාමත් මෑතකදී එළිදැක්වුනේ…පළමුවෙන්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු…
සරලව කීවොත් මේකෙ ඇතුලත් වෙන්නෙ අහිම්ව යන ආදරයක් ගැනයි. ඒත් මේ පොතේ දැන් සමාජයේ බහුලව දකින යුවතියක් ගැනයි ලියවිලා තියෙන්නෙ. ගොඩක් සරලව අහිංසකව එළියට පෙනෙන ගැහැණු රුවක් ඇතුළත සැඟවී ඇති ආත්මාර්ථය , හදිසි කෝපය මෙන්ම අන් අය පිළිබඳව මානුෂික හැඟීම් අඩු බව වගේ කාරණා ගොඩක් තමන්ගේ අහිංසක පෙනුමෙන් වසන් කරගත් යුවතියක් සහ ඊට හාත්පසින්ම වෙනස් තරුණයෙක් වටා ගෙතුන ආදර කතාවක්.
2. මේ විදිහේ කතාවක් ඔබ අතින් ලියවෙන්නේ විශේෂ හේතුවක් හෝ අත්දැකීමක් ඇසුරෙන්ද , එහෙමත් නැතිනම් කොහොමද මේ කතාව ලිවීම සඳහා පසුබිම සැකසුනේ ….?
මගේ පුද්ගලික අත්දැකීමක් නොවුනත් අද සමාජය තුල මෙවැනි පෙනුමෙන් මැනගත නොහැකි තරුණියන් බහුලයි. ඒ වගේම කිසිදු දුරදිග බැලීමකින් තොරව ආදරය මුල් කරගනිමින් තම දෙමව්පියන්ට පවා අත් ඔසවන දරුවන්ද බහුලයි. මා ඇසූ එවැනි කතා ඇසුරින්ම තමා මේ නිර්මාණයත් ලියවෙන්නේ.
3. ලේඛකයෙක් විදිහට ඔබ මේ ආපු ගමන් මගේ ආරම්භය ගැන මතක් කිරීමක් කළොත්…?
ඇත්තෙන්ම යොවුන් පුවත්පත් සඳහා විශේෂාංග එක් කරමින් ආරම්භ කල ඒ ගමන අද බොහෝ දුරක් ගෙවා ඇවිත් තිබෙනවා. මා ලියූ නිර්මාණ අතුරින් එළිනොදක්වා ඇති නිර්මාණද තිබෙනවා. ඉදිරි කාලයේදී මා අතින් ලියවුනු කවි නිර්මාණ පොතක් ලෙසින් එළිදක්වන්න සිතා සිටිනවා. අද වන විට මගේ නිර්මාණ බලා මට එන ඇමතුම් වලින් මා ලබන සතුට අපමණයි. ඒ ඇමතුම් වලින් මට හැඟී යන්නේ මගේ කතා රසවිඳින්නේ යොවුන් පිරිස පමණක් නොවන බවයි. ඊට කදිම උදාහරණයක් නම් අහිමි සඳවතිය කියවා මේ ළඟදී මා වෙත ආ අවුරුදු 69ක් පමණ වයසැති කාන්තාවකගේ ප්රතිචාරයයි.
4. ප්‍රවීන ලේඛකයෙක් විදිහට ඔබ කොහොමද එදා සහ අද සමාජය තුළ පොත් කියවීමට තිබෙන උනන්දුව පිළිබඳව දකින්නේ… සමාජ මාධ්‍ය භාවිතයත් සමඟ පොත් කියවීමට තියන නැඹුරුවේ අඩුවක් තිබෙනවා යැයි ඔබ සිතනවාද..?
සමාජ මාධ්‍ය භාවිතය නිසා පොත් කියවන අය අඩු වී ඇති බව ඇත්තක්. නමුත් මා දකින විදිහට පොතක් අතට ගෙන නිස්කලංකේ වාඩි වී තේ කෝප්පයක් රස විඳිමින් ලබන මානසික සුවය සමාජ මාධ්‍ය තුළින් පොතක් කියවූ පමණින් ලැබෙන්නෙ නෑ. අනෙක් කාරණය නම් සමාජ මාධ්‍ය භාවිතා නොකරන වැඩි වයස් කාණ්ඩ වල උදවියගේ රසාස්වාදය සඳහා මෙම පොත් අවශ්‍යම කරුණක්. ඔවුන්ගේ මනස සුවපත් වන්නේ පොතක් පත්තරයක් කියවීමෙන් පමණි.
5. සමාජ මාධ්‍යයෙන් ලැබෙන අයහපත් වගේම යහපත් ප්‍රතිලාභත් තිබෙනවා. වර්ථමානයේ සමාජ මාධ්‍යයන් තුලින් බොහෝමයක් නවක නිර්මාණකරුවන්
බිහිවෙලා තිබෙනවා. ඔබත් සමාජ මාධ්‍ය තුළ නිර්මාණ පලකරන කෙනෙක් විදිහට එයින් ඔබේ ලේඛන ජීවිතයට ලැබුණු සහය කොහොමද කියල කතා කරමු…
දැන් බොහෝ අලුත් නිර්මාණකරුවන් සමාජ මාධ්‍ය හරහා බිහිවන්නේ. ඔවුන්ට විශාල මුදලක් වැය කර පොතක් මුද්‍රණය කරනවාට වඩා ඉක්මනින් සමාජ මාධ්‍ය හරහා තම නිර්මාණ පාඨකයා වෙත ගෙන යා හැකියි. එය පහසු හා වාසිදායක ක්‍රමයක් බවට පත් වී තිබෙනවා. එසේම මගේද බොහෝ කවි නිර්මාණ මුද්‍රණය කිරීමටත් ප්‍රථම පාඨකයා වෙත ගෙනගියේ ඔය කියන සමාජ මාධ්‍ය හරහා. එයින් මට වැඩි ප්‍රතිචාර වගේම ප්‍රසිද්ධියක්ද ලැබෙනවා. ඇත්තෙන්ම අයහපත් දේට වඩා සමාජ මාධ්‍ය විසින් කල හැකි යහපත් දේ වැඩියි. නමුත් අපි යන්නේ කුමන මාධ්‍යයෙන් වුවත් නිර්මාණය හොඳ නම් ඒ වටා මිනිසුන් ඒකරාශි වනවා.
6. අහිමි සඳවතිය කෘතියෙන් පසුව ඔබේ පාඨකයින් වෙනුවෙන් ඉදිරියේදි ලබා දෙන්නට සූදානම් නිර්මාණයක් හෝ නිර්මාණයක් ගැන අදහසක් මේ වන විට තිබෙනවාද…?
ඉදිරියේදී මා ලියූ කවි නිර්මාණ පොතක් ලෙසින් එළිදක්වන්නට සිතා සිටිනවා.අද වන විට මේ සඳහා සියල්ල සූදානම්.
7. ඔබ හිතන විදිහට ලේඛකයකුට තම නිර්මාණය තුළින් සමාජය තුල යම් කිසි පෙරලියක් ඇති කරන්නට හැකියාව තිබෙනවාද…? ඒ වගේම මෙතෙක් ඔබේ නිර්මාණ තුලින් ඔබ සමාජයට මොන වගේ පණිවිඩයක්ද දීමට උත්සාහ කලේ…?
අනිවාර්යෙන්ම ලේඛකයෙක් විසින් සමාජ පෙරළියක් ඇති කරනවා. ඔවුන්ට සමාජය වෙනස් කළ හැකියි. මගේ නිර්මාණ වලින් විවිධ පණිවිඩ මා ලබා දී තිබෙනවා. අවංකත්වය ,සාධාරණය වැනි සමාජ පණිවිඩ මෙම ආදර කතා තුළත් ගැබ් වී තිබෙනවා.
8. පොතක් ලිවීම කියන්නෙ ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. එයට දැනුම අත්දැකීම් වගේම කාලයත් බොහොම වැදගත් වෙනවා. ඔබ වෙනත් වෘතියක යෙදෙන අතරතුරේදි කොහොමද මේ නිර්මාණ කටයුතු සඳහා කාලය යොදා ගන්නෙ…?
ඇත්තෙන්ම මාගේ විවේකය නිතරම මා ගතකළේ පොත් ලිවීම සඳහායි. අනෙකුත් වැඩ කරන අතරතුර ලැබෙන සුළු වේලාව වුවත් මා යමක් කුරුටුගෑමට වැය කළේ. සමාජයේ විවිධ තරාතිරම් වල අය සමඟ ගණුදෙනු කිරීමෙන් මා ලබා ගත් අත්දැකීම් අපමණයි. එයත් මගේ ලේඛන දිවියට විශාල පිටුවහලක් වූවා.
9. ලේඛකයෙක් වගේම ඔබ දක්ෂ ගී පද රචකයෙක්…ඉතින් වර්තමාන සමාජය තුළ සෑම අංශයකින්ම බාල හරසුන් නිර්මාණ ඉදිරියට එන බවක් පෙන්නට තිබෙනවා. ඔබ හිතන විදිහට මේ වගේ නිර්මාණ ඉදිරියට එන්නට හේතුව කුමක්ද…?
මෑත කාලයේ බිහිවී ඇති ගී නිර්මාණ ඇසීමෙන් මෙන්ම බැලීමෙන්ද ලබා ගත හැකි යමක් නෑ. හරසුන් නිර්මාණ සඳහා තනුවක් යොදා ඉදිරිපත් කිරීමක් පමණයි සිදුවන්නේ. ඒවායේ රසවිඳිය හැකි යමක් බොහෝ අඩුයි. හරවත් නිර්මාණ හැමදාමත් අපේ සිත්තුළ පවතිනවා. අද ඇසෙන ගී නිස්කලංකයේ මුමුණා රසවිඳිය හැකිද.? යන ප්‍රශ්නයක් මතුවන නිර්මාණයි. එවැනි නිර්මාණ එනවා යනවා මිසක් පැවැත්මක් නෑ. මෙවැනි නිර්මාණ බිහිවන්නට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ කලක් තිස්සේ ප්රවීණයන්ගේ ඇති නිහඬකමයි. ඒ හේතුවෙන් අපේ අලුත් පරපුරේ දෙසවන් වෙත මෙවැනි නිර්මාණ රිංගා ගැනීමට දීර්ඝකාලීනව ඉඩක් හිමිවූවා.
10. අවසන් වශයෙන් “අහිමි සඳවතිය” පාඨකයින්ට මිලදී ගන්නට හැකි ආකර ගැනත් සඳහනක් කරමු…
පොත් සාප්පු හරහා මෙන්ම මෙම පොත මුද්‍රණය කරන ලද සඳ මාධවී ප්‍රකාශන ආයතනයේ 0764135000 යන අංකය ඇමතීමෙන් මෙම පොත ඔබට නිවසටම ගෙන්වා ගත හැකියි.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment