එළිය දෙන ගින්දර සමග ඔබ හමුවට එන කුසුම් නිශාන්ති පතිරාජ

එළිය දෙන ගින්දර සහා තුත්තිරි කෘතීන් සමග ඔබ හමුවට එන කුසුම් නිශාන්ති පතිරාජ අද “පොත් මී” අලුත් පොතක් විශේෂාංගය සමග.

Sinhala books buy online 3 - Copy

 

1. “එළිය දෙන ගින්දර ” කියන්නේ 2018 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් තරඟාවලියෙන් ජයග්‍රහනය කරන ලද කෘතියක්. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ
මම ගොඩාක්ම ගනුදෙනු කලේ කවියත් එක්ක. 2017 ‘තුත්තිරි’ නමින් ගොඩගේ ආයතනයෙන් කවි පොතක් කළා. ඉන්පසුවයි ගොඩගේ අත් පිටපත් තරඟයට එළිය දෙන ගින්දර පොත ඉදිරිපත් කලේ. කථාව මොන වගේද කියලා ඔබ ඇහුවනේ. අපේ කිඹුලාපිටිය ගමේ තමයි රතිඤ්ඤා නිෂ්පාදනය කරන්නෙ. ඔබ පත්තු කරන රතිඤ්ඤා කරලක්, අහස් කූරක්, නිලා කූරක්, මල් වෙඩිල්ලක් කොච්චර ලස්සනද. ඒත් ඊට යටින් තියෙන භයානකකම ගම පුරාම විහිදිලා. හදිසි පිපිරීම්, ගිනිගැනීම් බහුලයි. ඒ පසුබිම වටා ගෙතෙන ආදර කතාවක් තමයි ‘එළිය දෙන ගින්දර’ හි අන්තර්ගත වෙන්නෙ.

2. ” එළිය දෙන ගින්දර ” කෘතිය පාඨකයින්ට මිලදි ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
පොත මිල දී ගන්න පුළුවන් රට පුරාම ගොඩගේ පොත්හල් වලින්. ඒ වගේම කෙනෙකුට තැපැල් මඟින් උනත් ගෙන්නවා ගන්න පුළුවන් ‘පොත් මී’ ඇමතීමෙන්.

 

 

3 . වර්තමානය වන විට සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්ගේ දක්ෂතා එළිදක්වන්න හොඳ තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. ඔබට සමාජ මාධ්‍ය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමේ අදහසක් නැතිද..ඒ ගැන මොකද හිතන්නෙ..?
ඔව් ඒක හොඳ අවස්ථාවක්. ඔය අතර හොඳ නිර්මාණ ඉදිරිපත් කරනවා වගේම සමහර නිර්මාණ තියෙනවා ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. ඒත් අළුත් පරම්පරාව ඒ විදියට හරි ලේඛණ කලාවට යොමු වෙන එකම වැදගත්නෙ.

4. ඔබ කොහොමද ලේඛන කලාවට යොමු වුණේ…? ලේඛිකාවක් වීමේ අරමුණක් කාලෙක ඉඳන් ඔබ තුල තිබුනාද ..?
මම පුංචි කාලෙ ඉදන්ම පොතක් කියවන්න පුරුදු වෙලා හිටියා. කවදහරි මගේ පොතක් ඉදිරිපත් කරන්න හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුණා. පෑන වැඩිපුර ගෙනාවෙ කවි. පත්තර වල කවි පිටු වලට ලිව්වා. ගමේ රතිඤ්ඤා මඩු ගිනි ගද්දි හිත පත්තු වෙන සිදුවීම් උනා. එතකොටයි “එළිය දෙන ගින්දර” ලියවුනේ.

5. ඉදිරියට අලුත් නිර්මාණයක් කිරීමේ අදහසක් මේ වන විට තිබෙනවානම් ඒ ගැනත් කතා කරමු..
ඔව්. ඊළඟ නවකතාව දැන් හෙට්ටිගේ සර්ගෙ අතේ. ඒකෙ නම “උඩුයටිකුරු” 21 එකේ බැරිවුනොත් 22 දී කියවමු.

 

 

6. පොතක් ලිවීම කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට ලොකු දැනුමක් , අත්දැකීම් වගේම කාලවේලාව අවශ්‍ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලියන්න අවශ්‍ය මේ කරුණු කාරණා සපයා ගන්නෙ…?
ලේඛණ කලාව කියන්නෙ කාටත් උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියවීමෙන් තමයි පරිකල්පන ශක්තිය වැඩි වෙන්නෙ. අවට පරිසර තුල සිදු වන සිද්ධීන් මඟින් අපිට විවිධ අත්දැකීම් ලැබෙනවා. ඒවා වෙනස් කෝණයකින් බැලීම තුලින් ලේඛණ හැකියාව දියුණු කරගන්න පුළුවන්. කාලය වෙන් කර ගන්න එක තමයි ඊළගට තියෙන්නෙ. කාන්තාවක් උනාම ඔය කාරණය බොහොම තදට බලපානවා. දහසක් වැඩ කරන අතරතුරයි නිර්මාණය හිතේ මැවෙන්නෙ.

 

 

7. ඔබ කැමතිම ලේඛිකාවක් හෝ ලේඛකයෙක් සිටිනවාද..? ඒ වගේම ඔබ කියවීමට ප්‍රිය කරන්නෙ මොන වගේ පොත්ද…?
මම පොඩි කාලෙ ඉදන් පරිවර්තන කෘති කියවන්නයි කැමති. ඒ අතර මැක්සිම් ගෝර්කි වගේම පාවුලෝ කොයියොගේ පොත් වලට මම කැමතියි. ඊට අමතරව අපේ රටේ නවකතාවකරුවෝ විදියට සුනේත්‍රා රාජකරුණානායකගේ පොත් සහ ජයසේන ජයකොඩිගේ පොත් මගේ සිත් ගෙන තියෙනවා.

8. ඔබ හිතන විදිහට ලේඛිකාවක් වශයෙන් ඔබට සමාජයට කල හැකි මෙහෙවර කුමක්ද…?
හොඳ පොතක් දීමයි මගේ අරමුණ. හොඳ පොතක් කියවීමෙන් හිතක් නිවෙනවා. වර්ථමාන තරුණ පරම්පරාව බොහෝමයක් ගිනි වලින් පීඩා විඳිනවා. ඒ ගිනි මදක් හෝ නිවීමට ඇත්නම් එයයි මගේ අභිප්‍රාය.
“ගින්දර උනත් එළියක්ම වේවා!”

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න