රක්තමෘත කෘතියෙන් ඔබ හමුවට එන පොසිකා රණසිංහ

රක්තමෘත කෘතියෙන් ඔබ හමුවට එන පොසිකා රණසිංහ අද පොත්මී “අලුත් පොතක්” විශේෂාංගයෙන්  –

 

රක්තමෘත කෘතියෙන් ඔබ හමුවට එන පොසිකා රණසිංහ අද පොත්මී "අලුත් පොතක්" විශේෂාංගයෙන් ඔබ හමුවට

 

1. රක්තමෘත කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවන කෘතිය. මුළින්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන කෙටි හැඳින්වීමක් කරමු...
කතාව මූලිකවම ගෙතෙන්නෙ රෝගයක් වටා.. ඒ වගේම රහස්පරීක්ෂක කතාවක්… රහස්පරීක්ෂක විද්‍යාප්‍රබන්ධ කිව්වට මේ කතාවෙ අද්භූත බව, ආදරය, ආදී නොයෙකුත් රසයන්ගෙන් සමන්විතයි.

2. මේ ඔබේ පළමු කෘතිය උනත් මුහුණු පොතේ නිර්මාණ තුළින් ඔබ හඳුනාගත් විශාල පාඨක පිරිසක් ඔබට ඉන්නවා. බොහෝ වෙලාවට මුහුණු පොතේ නිර්මාණ ඉදිරිපත් කරන බොහෝමයක් ලේඛක ලේඛිකාවන් තමන්ගේ පළමුවැනි කෘතිය විදිහට මුද්‍රිත මාධ්‍යට ගේන්නේ මුහුණු පොතේ පළවූ කතා අතුරින් ජනප්‍රියම වූ තමාගේ කතාවක්. නමුත් රක්තමෘත කියන්නේ සමාජ මාධ්‍ය තුළ පළවුන කතාවක් නොවෙයි. ඇයි ඔබ අලුත්ම කතාවකින් පාඨකයින් අතරට එන්න හිතුවෙ ඒ වගේම මුහුණු පොතේ ජනප්‍රිය වුණු ඔබේ කතා මුද්‍රිත මාධ්‍ය ට ගේන්න අදහසක් ඔබට තිබෙනවාද…
“රක්තමෘත” මම මීට මාස තුනකට විතර කලින් තරඟයකට ලිව්වේ.. එතකොට ඒක නැවුම් කතාවක් වෙන්න ඕන වුණා. ඒ වගේම මම ආස නෑ මුහුණු පොතේ ලියපු කතාවක් මගේ පාඨකයින්ට දෙන්න. මොකද මම පුද්ගලිකව කැමති නෑ සමාජ මාධ්‍ය ඔස්සේ කියවපු එකක් සල්ලිවලට අරන් කියවන්න. ඉතින් මං හිතනවා මගේ පාඨකයොත් එහෙම ඇති කියලා. ගොඩක් වෙලාවට මම මාවත් මගේ පාඨකයින්වත් සංසන්දනය කරමින් හොඳම දෙයක් කරන්න උත්සහ කරනවා. මම අකමැති දෙයක් මගේ පාඨකයින්ට දෙන්නෙ කොහොමද කියලා හිතෙනවා. ඉතින් මුහුණු පොතේ ලිව්ව කතාවක් මුද්‍රිත මාධ්‍යට ගේන්න අදහසක් මට තාම නෑ…

 

 

3. රක්තමෘත කෘතිය කුමන ප්‍රකාශන ආයතනයකින්ද එළිදැක්වූයේ…? ඒ වගේම මේ කෘතිය මිලදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කළොත්…?
දිගන්ත ප්‍රකාශන ආයතනය.
දිගන්ත ප්‍රකාශකයෝ පේජ් එකට මැසේජ් එකක් දාලා පුළුවන්.
ඒ වගේම 075 – 9578164 කියන වට්ස් ඇප් අංකයට මැසේජ් එකක් දාලා.
ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මත් තොරතුරු දැනගන්න පුළුවන්…

4. නවක ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්නට සමාජ මාධ්‍යයෙන් ලැබෙන සහය සහ නිර්මාණ සොරකම වැනි අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට තිබෙන අත්දැකීම් මොනවාද…?
මං ආවෙත් සමාජ මාධ්‍යය හරහා. ඕනම දේක හොඳ හා නරක තියෙනවනේ. ඉතින් මේකෙ කියලත් වෙනසක් නෑ. මං මුලින්ම පටන් ගත්තෙ ආදර කතා ලියලා. සමහරවිට ෆේස්බුක් නොතිබුණා නම් මං හැමදාම ආදර කතාවලටම කොටු වෙන්න තිබ්බා. ඒත් එහෙම නොවී විද්‍යාප්‍රබන්ධ , රහස්පරීක්ෂක, හොල්මන් අද්භූත , ප්‍රබන්ධ ආදී විවිධ ශානරයන් ඔස්සේ අත්හදා බැලීම් කරන්න බය නැතුව පෙළඹෙන්නේ මේ සමාජ මාධ්‍යය නිසා. මං ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න ඕන. සමාජ මාධ්‍යය කියන්නෙ හොඳ තෝතැන්නක්. මට මුද්‍රිත මාධ්‍යයට එන්න වරම් ලැබෙන්නෙත් සමාජ මාධ්‍යය නිසා…
හොරකම ගැන කතා කළොත් ඒක අපිට නවත්වන්න බෑ. ඒක හරිම අසාධාරණයි. හරියට අම්මෙක්ගෙන් දරුවෙක් උඳුරගන්නවා වගේ වැඩක්.. ඒත් ඉතින් එතනදි ලේඛකයා හරි අසරණයි. රණ්ඩු වෙලා තේරුමකුත් නෑ. ලියන එක අත අරින එකත් විසඳුමක් නෙමෙයි. මොකද ඒකින් දක්ෂයෙක් බිහිවෙන්න තිබ්බ අවස්ථාවක් නැති වෙන්න පුළුවන් නිසා. අද කාළේ මුද්‍රිත පොත් පවා හොරෙන් pdf කරලා දානකොට ඇත්තටම හොරකම කියන්නෙ සමාජ මාධ්‍යයේ පළකරන කතාවලට පමණක් පොදු වූ දෙයක් නෙමෙයි කියන එකයි මගේ හැඟීම. ඒ නිසා නොනැවතී ලියන්න. ආදරණීය වැළඳගැනීම්, ප්‍රසංසා විතරක් බලාපොරොත්තු වෙන්න එපා. කතා හොරකම එක්කම මඩ, ගල්, කඩු , කිණිසිවලට මුහුණ දෙන්න වෙයි. ඒත් ලියන්න. සතුටින් ලියන්න.

5. ඔබ කොහොමද , කොයි කාලයේදීද ලේඛන කලාවට යොමු වුනේ…?
පාසල් කාලෙදි ලිව්වට පස්සෙ මුහුණු පොත හරහා 2016 දි විතර.

6. ආධුනික ලේඛක ලේඛිකාවන්ට ඉදිරියට එන්නට මේ ක්ෂේත්‍රය ඇතුලතින් සහයෝගය ලැබෙනවාද …ඒ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද..?
ඒකත් දෙයාකාරයි. අවංක හදවතින් උදව් කරන මිනිස්සු වගේම වංක මිනිස්සුත් ඉන්නවා. සමහරු උදව් කරනවා වගේ පෙන්නලා තමන්ගේ අරමුණු අන් අය ලවා ඉෂ්ට කර ගන්නවා. බොහෝ විට ප්‍රවීණ කතුවරු හරිම නිහතමානීව ඔවුන්ගේ දැනුම බෙදලා දීලා උදව් කරනවා. මටත් එහෙම මගේ පිටුපසින් ඉදන් උදව් කරන චරිතයක් ඉන්නවා. ඒත් මුහුණු පොතේ ගොඩක්ම දකින්නෙ ඒකෙ අනිත් පැත්ත. කතාවක නමක් සමාන වුණත් රණ්ඩු. මේ වෙද්දි නෙගෙටිව් මාර්කටින් මුහුණු පොතේ ගොඩක්ම වැඩියි වගේම, එහෙම කරන අයට කැමතිත් නෑ. මුහුණු පොතේ ලියපු හිත හොඳ චරිත නැත්තේ නෑ. මගේ පොත කරන්නෙත් එහෙම කෙනෙක් නිසා. ඒත් විරලයි…

 

 

7. ඔබ වටා ඉන්න පාඨක පිරිස වෙනුවෙන් ඉදිරියේදී මොන වගේ නිර්මාණද කරන්න බලාපොරොත්තු වෙන්නේ..?
ආදර කතාවක් ලියන්න පටන් ගත්තා. සමහරවිට ඒක තියලා රක්තමෘත දෙක ගේන්න හිතෙයිද කියන්න බෑ. පාඨක ප්‍රතිචාර මත ඒක තීරණය වේවි. 😊 ළමා කතාවක් හෝ සුරංගනා කතාවක් කරන්නත් ආසාවක් තියෙනවා. ඉදිරියට කාල වේලාව තියෙන විදියට ලියන්න බලාපොරොත්තු වෙනවා.

8. ඔබ හිතන විදිහට පොතක් ලිවීමේදී ලේඛකයෙක් හෝ ලේඛිකාවක් යම් යම් කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී සීමා සහිත විය යුතුද එසේත් නැතිනම් සීමා මායිම් නොමැතිව තම අදහස් දැක්විය යුතුයිද…?
නෑ. මං හිතන්නේ ලේඛකයෙක්ට සීමාවන් බිඳගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ලේඛකයෙකුගේ සිතුවිලි හරි ප්‍රබලයි. ලියැවිල්ල කියන්නේ එක්තරා විදියක සමාධිගත වීමක්. ඉතින් කොහොමද වාරණ දාන්නේ… වාරණ , සීමාවලට යටත් වෙලා ලියන්න ගියොත් මගේ හැඟීම නම් හොඳ ලේඛකයෙක් බිහි වෙන්නෙ නෑ. නිදහසේ හසුරවන පෑන තමයි හොඳ නිර්මාණයක් බිහි කරන්නේ… හැබැයි සංයමයක් තියෙන්න ඕන කියලා හිතනවා.

9. ඔබ හිතන විදිහට ලේඛකයෙක්ට / ලේඛිකාවක්ට සමාජය වෙනුවෙන් කල හැකි මෙහෙවර කුමක්ද…?
ලොකු දෙයක් කරන්න පුළුවන්. මං නම් තාම පුංචිම පුංචි මනුස්සයෙක්. ඒත් පෑනෙන් මොනවද කරන්න බැරි. විප්ලවයක් වුණත් කරන්න පුළුවන්. රටක ආණ්ඩුවක් වුණත් පෙරලන්න පුළුවන්. පෑනෙන් පුළුවන් මනුස්සයෙක්ගෙ හදවත සියුම්ව ස්පර්ශ කරන්න. ඉතින් මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරලා ඒ කෙනාගෙ ජීවිතේම වුණත් වෙනස් කරන්න පුළුවන් ශක්තියක් පෑනට තියෙනවා.

 

 

10.  අවසාන වශයෙන් රක්තමෘත කෘතිය මුද්‍රිත මාධ්‍යට ගෙන ඒමේ කාර්යට ඔබට උදව් කළ අය ගැනත් සඳහනක් කළොත්…?
මං මුලින්ම රුවන්තිකා මධුෂානි අක්කට ස්තූති කරන්න ඕන. ඇය තමයි දිගන්ත ප්‍රකාශකයෝ අධිපතිතුමිය. දිගන්ත ප්‍රකාශකයින්ගේ වගේම මගෙත් කුළුදුල් මුද්‍රිත ග්‍රන්ථය වෙන්නේ “රක්තමෘත” නවකතාව. ඇය තීරණය කරනවා ඇගේ ආයතනයේ තරඟයක් සංවිධානය කරලා එයින් පළවෙනි පොත කරන්න. දෛවෝපගත විදියට ඒ අවස්ථාව මට හිමි වුණා. තව නවකතා තුනක් තෝරාගෙන තියෙනවා.
මං නෝමල් ටයිප් කරපු කතාව තමයි දුන්නේ. එතනදි පරිඝණක පිටු සැකසීමෙන් සහ සෝදුපත් බැලීම කළේ චන්දික මහතා. බොහොම ස්තූතියි කියන්න ඕන ඔහු ගොඩාක් වෙහෙස වුණා.
ඒ වගේම මගේ කතාව ලස්සනට ගේන්න රුවන්තිකා අක්කා, සෙහානි නංගි වගේම , චන්දික මල්ලි ගොඩාක් මහන්සි වුණා. ඉතින් මං එයාලට හදවතින්ම ස්තූති කරනවා… ඒ වගේම හරිම හොඳ ටීම් වර්ක් එකක් තිබුණා. ඒ වෙනුවෙනුත් ස්තූතියි, අනේ මට බෑ කියලා තරඟෙන් අයින් වෙන්න හදද්දි මාව ධෛර්යමත් කරපු සචී, තිමා බොහොම ස්තූතියි. රත්නපුර නගරය ගැන විස්තර ලබා දුන්න මාව ධෛර්යමත් කරමින් ළඟින් හිටිය ධනංජය මල්ලිට ස්තූතියි. මගේ නවකතාවට ලස්සනම කවරයක් නිර්මාණය කරලා දුන්න ප්‍රදීප් ප්‍රේමලාල් මහතාට බොහොම ස්තූතියි. පොත වෙනුවෙන් ලස්සන ලස්සන කවර හදමින් තරඟ සංවිධානය කරමින් මහන්සි වෙන මිනෝ මල්ලිට ස්තූතියි. මගේ මහත්තයාට දුවට ගොඩාක් ස්තූතියි ආදරෙයි ගොඩාක්… ඔය දෙන්නගේ ඉවසීම නැත්නම් මේ පොත ලියන්න වෙන්නෙ නෑ… කතාවට අනුභූතිය සැපයූ (හීනයක්) වෙනුර මිහිරාජ් මල්ලිට ස්තූතියි.කතාවට නම දුන්න සැම්පා ඔයාටත් ස්තූතියි. දිගන්ත ප්‍රකාශන ආයතනයේ කාර්‍ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තූතියි. ඔබ නිසයි මේ අවස්ථාව මට ලැබුණේ. හදවතින්ම ස්තූතියි. මගේ යාළුවා සමීරට ස්තූතියි. විද්‍යාප්‍රබන්ධ ගැන මගේ ආසාවක් ඇති වුණෙත් ඔයා නිසා. කාට හෝ ස්තූති කරන්න අමතක වුණා නම් මට සමාවෙන්න. මගේ ළඟ හිටිය මා වෙනුවෙන් එකම එක ලයික් එකක් හෝ දාපු හැමෝටම බොහොම ස්තූතියි. නම් කියලා හැමෝටම ස්තූති කරන්න නොහිතන්නේ කාව හෝ මඟ හැරුනොත් කියලා. මගේ ආදරණීය පාඨකයින්ට බොහොම ස්තූතියි. ආදරෙයි ❤

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න