බාඳුරා සමග ඔබ හමුවට එන නර්මදා රංගොඩගේ
බාඳුරා සමග ඔබ හමුවට එන නර්මදා රංගොඩගේ අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්
1.”බාඳුරා” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු නවකතාව. ඉතින් මුලින්ම මේ කතාවේ අන්තර්ගතය ගැන සඳහනක් කරමු..
මේ කතාවේ තේමාව ආදරය. මේකෙ සාරාංශයත් ආදරය. මේක එදිනෙදා ජීවිතේ අපිට අහන්න දකින්න වෙන, අපිට මුණගැහෙන්න ලැබෙන චරිතවල සම්බන්ධකම්, plus point, weak points, ආදරය, කැපකිරීම්,මේ හැම දෙයක් ගැනම අඩු වැඩි වශයෙන් සඳහන් අපූරු කියවීමක්.
2. මේ කතාව නිර්මාණයේ සිට ප්‍රකාශයට පත් කිරීම දක්වා කාර්යයේදී ඔබට බොහෝ දෙනා උදව් උපකාර කරන්නට ඇති. ඒ අය ගැනත් සිහිපත් කිරීමක් කළොත්…
ගොඩක් දෙනෙක් උදව්කලා ගොඩක් දෙනෙක්. නම් වශයෙන් කියවන්න ගියොත් ඒක මහා දිග ලැයිස්තුවක් වෙනවා. ඒ නිසා මගේ දෙමව්පියන්, මගේ පවුලේ අය, ඒ වගේම දහස් සංඛ්‍යාත Facebook පාඨකයන් ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඒ අය මට හැකි සෑම ආකාරයකින්ම උදව් කරල තියනවා.. ඒ වගේම හෙළකුරු ඇප් එක හදපු ධනික අයියා මතක් කරන්න ඕන මොකද හෙළකුරු ඇප් එක නැත්නම් මම මේ කතාව ලියල හමාරයි. ඊළඟ එක කතා අරණ facebook සමූහය. නොමැතිනම් කිසිවෙක් මගේ නිර්මාණ හඳුනා නොගනීවි.
3. පාඨකයින්ට ඔබේ මේ කෘතිය මිළදීගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
මේ කෘතිය නොහඳුනන්නී ප්‍රකාශක ආයතනයෙන් නිකුත් වුන පොතක්. ඔබට ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා ඇණවුම් කර මේ කතාව මිලදී ගත හැකියි.
4. බාදුරා කෘතියෙන් පසුව ඔබේ පාඨකයින් වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වන ඉදිරි නිර්මාණ ගැන අදහසක් මේ වන විට තිබෙනවාද…?
ඔව්. ලංකාවේ වගේම ලෝකය පුරා ඉන්න මගේ පාඨකයන් වෙනුවෙන් ඉදිරි කාලයේ දැනටමත් ලියා අවසන් කර ඇති අගරැජින කතාව පොතක් වශයෙන් ලබාගත හැකියි. අමතරව සංස්කරණය නොකල, ලියා අවසන් කල නවකතා හතරක් තිබෙනවා. ඉදිරියට ඒ නිර්මාණ මගේ පාඨකයන්ට ලැබේවි
5. බාඳුරා කියන්නේ ඔබ කොටස් වශයෙන් මුහුණුපොතේ පලකරන ලද කතාවක් . සමාජ මාධ්‍ය තුල නිර්මාණ ඉදිරිපත් කරන්නියක් විදිහට ඒ කාර්යයේදී ඔබ ලබපු අත්දැකීම් , ප්‍රතිචාර , පත් වුණු අපහසුතා ගැනත් සඳහනක් කළොත්…
බාඳුරා කියන්නෙ රැල්ලට යන එකාකාරි ආදර කතා නිර්මාණයක් නෙමෙයි. මේක ඇත්තටම එකම ආකාරයේ නිර්මාණ ගොඩක් මැද උඩුගම් බලා පිහිනීමක් වගේ වෙනස් ආරක කතාවක්. ආන්දෝලනාත්මක නිර්මාණයක්.
ඉතින් එහෙම නිර්මාණයක් ලියන එක අභියෝගයක් නොවුනා කියන්නට බැහැ. ගොඩක් දෙනෙක් ඇයි මෙහෙම නිර්මාණයක් ලියන්නෙ කියලා අහපු වෙලාවල් තිබුණා. ගොඩක් දෙනෙක් මේ කතාව කියෙව්වා. නමුත් public comments මගින් ප්‍රසිද්ධියේ අදහස් පළකිරීමෙන් පළකිරීමෙන් වැළකී සිටියා.
ඇත්තටම මේ කතාවට මම කිසිදා බලාපොරොත්තු නොවුන තරමේ අති විශාල ප්‍රතිචාර රැසක් ලැබුනා. මගේ නව කථාව පොතක් කරන්න කියලා ඉල්ලීම ආවෙත් පාඨකයන්ගෙ ඉල්ලීම් තුළින්මයි. මම මේක විනෝදාංශයක් විදියට ලිව්වා මිසක් පොතක් කිරීමේ අදහසක් තිබුණේ නෑ.
6. ඔබ කොහොමද ලේඛිකාවක් බවට පත් වුනේ…? ලේඛිකාවක් වීමේ අරමුණකින් පැමිණි ගමනක්ද මේ…?
නෑ .. ඇත්තටම මට එහෙම අරමුණක් තිබුණේ නැහැ. මම කලිනුත් කිව්වා වගේ මේ කතාව මම ෆේස්බුක් එකේ ලිව්වෙම විනෝදාංශයක් විදියට. මොකද මම මගේ ම කතාව ලිවීම enjoy කරන කෙනෙක්. ඒ වගේම මම ගොඩක් පොත් කියවන කෙනෙක්. ඉතින් ලේඛිකාවක් වෙනවා කියන්නෙ දෙවියන් වහන්සේගෙන් ලැබුන, හැමෝටම නොලැබෙන විදියේ ආශිර්වාදයක් ..
7. ලේඛන කලාව කියන මේ ක්ශේත්‍රයට පිවිසුනාට පසුව අලුත් ලේඛිකාවක් විදිහට මොනවද මේ ක්ශේත්‍රය තුල ඔබ දැකපු අඩුපාඩු සහ වැඩිදියුණු විය යුතු යැයි හැඟුන දේවල් …?
මම ඇත්තටම එහෙම අඩුපාඩු කියන්න තරම් ලොකු චරිතයක් නෙමෙයි. නමුත් මම දැකපු ලොකුම අඩුපාඩුවක් තමයි ගොඩක් නිර්මාණ ලියැවෙන්නේ ඔහේ ලියන්නන් වාලේ.
නිර්මාණකරුවන් විදිහට අපි හැමවිටම අපේ පාඨකයන්ට කිසියම් අර්ථවත් සහ ප්‍රයෝජනවත් දෙයක් ලබා දෙන්නට කටයුතු කළ යුතුයි. පොතකින් පවා මනුෂ්‍යයකුගේ ජීවිතයට දැනෙන වෙනස්කම් කළ හැකියි. අනික් අතට කිසියම් පාඨකයෙක් පොතක් සඳහා යම් මුදලක් වෙන් කරන්නේ එමගින් ඔහුට කිසියම් දෙයක් ලබාගන්න. ඒ අපේක්ෂා කරන දෙය ඔහුට ලබා දෙන්නට තරම් නිර්මාණකරුවා තමන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගත යුතුයි.
අපිට තියනවා හරි ලස්සන වචන ගොඩක් තියෙන භාෂාවක්. ඉතින් මේ භාෂාවේ අල්ලලා යන තමන්ගේම රටාවක් හදාගන්න ගොඩක් නිර්මාණකරුවන් උත්සාහ කරන්නේ නැහැ. මම කිව්වේ ලියන්නන් වාලේ ලියනවා කියලා. තමන්ගේ භාෂාව තමන්ගේ කතාවේ තේමාව කතාවේ සිදුවීම් එකින් එකට ගැලපෙන ගොඩනැගීම මේ වගේ අංශ අලුත් නිර්මාණ කරුවන් තවත් වැඩි දියුණු විය යුතුයි කියන එක මගේ අදහස.
8. ඔබ හිතන විදිහට ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තම නිර්මාණ තුල අදහස් ප්‍රකාශ කරන විට සීමාවක් තිබිය යුතුද…එසේත් නොමැති නම් සීමා මායිම් නොමැතිව අදහස් සහ තම මතයන් ඉදිරිපත් කල යුතුද…?
මෙහෙමයි සීමාවන් කියන්නේ අපි අපිම හදාගත්තු නීති රීතිනෙ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා අපිට සම්මතයේ නීති රීති පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදාගන්න පුළුවන් වන සහ එසේ කල යුතු තැන්. කතාවක රසයට හානියක් නොවෙන්න වචන සහ අදහස් භාවිතා කළ යුතුයි.
මගේ බාඳුරා නවකතාව, වැඩිහිටියන් අතර ඇතිවෙන සමාජ සම්බන්ධතා ගැන ලියැවුණු පොතක්. ඒ නිසා එහි ඇතැම් ඇතැම් සිදුවීම් මා ලිවිය යුතුම ඒවා නිසා, චිත්ත රූප මැවෙන ආකාරයටම මා අතින් ලියවුනා. එහෙත් කිසිම කෙනෙක් මා ඒ සිදුවීම් ලියා තිබූ ආකාරය විවේචනය කළේ නැහැ බොහොම ආදරෙන් වැළඳ ගත්තා මිසක්.
මම නම් කියන්නේ තමන්ගේ කතාවේ සීමාවල් තීරණය කළ යුත්තේ ලේඛකයා ම තමයි. නිර්මාණය කියවද්දී පාඨකයා තුළ රචකයා කෙරෙහි පිළිකුලක් අප්‍රසාදයක් අපහසුතාවක් ඇති නොවෙන සීමාවේ සිට ලියනවා නම් ඕනෑම නිර්මාණයක් හරි අපූරු එකක් බවට පත් වේවි.
9. ඔබගේ නිර්මාණ තුලින් ඔබ සමාජයට මොන වගේ පණිවිඩද දීමටද උත්සාහ කරන්නෙ…?
මම නිතරම ලියන්නේ මේ සමාජයේ තියෙන යථාර්ථය. ඒ කිව්වේ ලාභ අලාභ ආදී ඉෂ්ට ලෝක ධර්මය.! අහම්බෙන් ජීවිතයට කඩා පහත් වෙන සිහින කුමාරයන්ගේ ගැන මම දිගින් දිගටම ලිව්වොත් මගේ පාඨකයා ඒ වගේ සිදුවීම් ඇත්ත කියල හිතන්න පෙළඹෙනවා වගේම ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතයට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මට මගේ පාඨකයන්ව fantasy තුලට සීමා කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මගේ නිර්මාණවලින් මම දෙන්නට බලාපොරොත්තුවන පණිවිඩය තමයි මේ සමාජයේ තියෙන යථාර්ථය මෙන්න මේකයි කියන එක ..!
10. පොතක් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට දැනුම , අත්දැකීම් වගේම කාලයත් අත්‍යාවශ්‍ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලිවීමට අවශ්‍ය මේ කරුණු කාරනා සපයා ගන්නේ…?
මම කලිනුත් කිව්වා වගේ ලිවීම කියන්නෙ මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු ආශිර්වාදයක්. මොකද සමහර අය ඉන්නවා මම පෞද්ගලිකව දන්න, එයාලා නුවරඑළිය ගැන කතාවක් ලියනවා නම් නුවරඑළිය බලන්න යනවා.. අනුරාධපුරය ගැන කතාවක් ලියනවානම් අනුරාධපුරයට ගිහිල්ල ඒ ප්‍රදේශය ගැන අවබෝධය ලබා ගන්නවා. ඒක ඇත්තටම බොහොම හොඳ දෙයක්.
නමුත් මට එහෙම අවශ්‍ය නෑ, අවශ්‍ය පරිසරය මගේ මනසෙ මැවෙනවා. ඕනෑම තැනක දී මට නිරායාසයෙන් අසීමිත ව අදහස් ගලාගෙන එනවා.
මම බාඳුරා නවකතාව සම්පූර්ණයෙන්ම ලිව්වෙ මගේ ජංගම දුරකථනයේ. ඒකෙ සමහර කොටස් ගැලපුවේ බස් එකේ කෝච්චියේ දී… ඒ නිසා මට ලිවීමේ දී පෑනක් පොතක් විවේකයක් නිදහසක් තැනක් එහෙම නියමයක් නැහැ. මට කාලය කියන එක කිසිසේත්ම ගැටලුවක් නොවන්නෙ ඒ නිසා.
මට දැනුම අත්දැකීම් ලබා දෙන්නේ මේ සමාජය විසින්. මේ සමාජය විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ඔබේ මේ අවට පරිසරයට ඇහුම් කන් දෙන්න.. එය දහසක් නිර්මාණ කරන්නට නිමිති සපයා දෙන බව මට වගේම, ඔබට වැටහේවි
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment