ළබැඳි සිතක් ළඟ නවකතාවෙන් ඔබ හමුවට එන ශානිකා ජයසූරිය
ළබැඳි සිතක් ළඟ නවකතාවෙන් ඔබ හමුවට එන ශානිකා ජයසූරිය අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්
1.“ළබැඳි සිතක් ළඟ කියන්නේ” මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින්ට පිදෙන ඔබේ තෙවැනි නවකතාව ඉතින් මුලින්ම මේ කතාවේ අන්තර්ගතය ගැන සදහනක් කරමු.
“ළබැඳි සිතක් ළඟ” එහෙමත් නැත්නම් දහම්-සාරා ආදර අන්දරය. ලුතිනන් කර්නල් දහම් ඉඳුවර සේනානායකගෙයි, ටීචර් ඉමන්දි පැහැසරා තේනුවරගෙයි ආදර කතාව. මෙය සුන්දර ඌව වෙල්ලස්සේ බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාවේ සුන්දරත්වයත් එක්ක ලියැවුණු කතාවක්. කමාන්ඩෝ නිළඇදුම අස්සේ සැඟවිලා ගල්ගැසී තිබුණු රළු දරදඬු හදවත ළඟ යුවතියක් නතරවෙනවා. ඒ තුවක්කුව හුරුවූ ඔහුගේ රළු දෑත මත ඇගේ සුසිනිඳු අතැගිලි පටලවාගෙන. හමුදා නිළදරුවෙකුගේ හදවතකට ප්රේම කිරීම ලෙහෙසි නැහැ. ඉවසීම, දරාගැනීම, බලාහිදීම මේ සෑම හැඟීමක්ම දරාගත්ත ප්‍රේමයක් ගැන කියවෙන ආදර කතාවක් මේ. කොටින්ම කියනවා නම් “ ඉවසීමත් ඉවසනා” ප්‍රේමයක්. ඒ වගේම දරුවෝ වෙනුවෙන් අම්මලාගේ හිතේ ඉපදෙන සෙනෙහසේ ගැඹුර සේම රට වෙනුවෙන් වගකීම් දරනා පියෙක්, සහෝදරියකගේ සෙනෙහස වගේම මිත්‍රත්වය යන හදවතට සමීප මේ හැම බැඳීමක් ගැනම කතාව පුරා විඳගන්න පුළුවන්.
2.සඳමාධවී ප්‍රකාශනයක් විදිහට එළිදැක්වෙන මේ කතාව නිර්මාණයේ සිට ප්‍රකාශයට පත් කිරීම දක්වා කාර්යයේදී ඔබට උදව් උපකාර කල අය ගැනත් සිහිපත් කිරීමක් කළොත්…
ඇත්තෙන්ම නිර්මාණයක් බිහිකිරීම කියනා කාර්යයේදී රැකියාවත් දරුවන් දෙදෙනාත් සමඟ මට ඒ සඳහා අවශ්‍ය වන නිදහස සකසා දෙන්නේ මගේ ආදරණීය සැමියා නුවන් ප්‍රබෝධ සමරවීර. ඔහුගෙන් ලැබෙන ඒ සහයෝගය නොවන්නට මට මේ තරම් දුරක් එන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අම්මාත්, තාත්තාත්, නැගණියන් තිදෙනාත් සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම මෙම නවකතාවේදී මගේ දැනුම් පරාසයෙන් ඔබ්බට ගිය වෘත්තීයක් පිළිබඳ බොහෝ කරුණු කියාදෙමින් සහයෝගය දැක්වූ නාමිකා සුබතිලක සොයුරියවත්, චතුරි දිල්ෂානි සොයුරියවත් ආදරයෙන් සිහිපත් කරනවා. දයාබර යෙහෙළිය අසංකි පෙරේරා ඇයව සිහිපත් කළ යුතුමයි. සෝදුපත් පරීක්ෂාවේ සිටම මාගේ මේ ලිවීමට ඇය ලබා දෙන සහයෝගය අතිමහත්.
“ළබැඳි සිතක් ළඟ” දහම්-සාරා ආදරය පොතක පිටු අතර සඟවා මුද්‍රිත මාධ්‍යයට රැගෙන එන්නේ සඳමාධවී ප්‍රකාශන ආයතනය. මාගේ ආදරණීය යෙහෙළිය ඉමේෂා මාධවී මල්ලවආරච්චි ප්‍රධාන සඳමාධවී ප්‍රකාශන ආයතනයට මා මාගේ හදපිරි ස්තූතිය මේ මොහොතේ ප්‍රකාශ කර සිටිනවා.
3.පාඨකයින්ට ඔබේ මේ කෘතිය මිළදීගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
දිවයිනේ සියලුම ප්‍රධානතම පොත් හල් වලින් “ළබැදි සිතක් ළඟ” කෘතිය මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම සඳමාධවී ප්‍රකාශන ආයතනයේ 076 413 5000 දුරකතන අංකයට වට්ස්අප් පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දීමෙන් නිවසටම පොත ගෙන්වා ගන්න පුළුවන්.
4.ඔබ මින් පෙර ප්‍රකාශනයට පත් කල කෘතීන් ගැනත් මතක් කිරීමක් කරමු…
මාගේ පළමු නවකතාව “හිමහීන”. එය 2020 සැප්තැම්බර් මාසයේදී මිහිර ප්‍රකාශනයක් ලෙස මුද්‍රිත මාධ්‍යයෙන් එලිදැක්වූවා. “අහස්යානා” මගේ දෙවන නවකතාව. එය සඳමාධවී ප්‍රකාශනයක් ලෙසින් එලිදැක්වුණේ 2021 ජනවාරි මාසයේදියි.
5.ළබැඳි සිතක් ළඟ කියන්නේ ඔබ කොටස් වශයෙන් මුහුණුපොතේ පලකරන ලද කතාවක් . සමාජ මාධ්ය තුල නිර්මාණ ඉදිරිපත් කරන්නියක් විදිහට ඒ කාර්යයේදී ඔබ ලබපු අත්දැකීම් , පත් වුණු අපහසුතා ගැනත් සඳහනක් කළොත්…
කාසියක දෙපැත්ත වගේ ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා. සමාජ මාධ්‍ය තුළත් හොඳ නරක කියන පැති දෙකම තියෙනවා. එයිනුත් සමාජ මාධ්‍ය තුළ මුහුණු පොතේ නිර්මාණ කරණය තුළින් මේ ගෙවීගිය වසර දෙක තුනක කාලය තුළ බොහෝ නිර්මාණකරුවන් බිහිවෙලා තියෙනවා. මීට වසර පහ හයකට පෙර තිබුණාට වඩා අද සමාජ මාධ්‍ය තුළ නිර්මාණ කරණයට ලොකු තැනක් ලැබිලා තියෙනවා. ඇත්තෙන්ම එය පහසුවක් වුණා. ඒ තුළ දැනට ලොකු අපහසුතාවයකට පත්නොවුණු තරම්. ඇත්තෙන්ම සමාජමාධ්‍ය හරහා මුහුණුපොත තුළින් මෙසේ ලියන්නට අවස්ථාවක් නොලැබුණා නම් මා මේ ලේඛණ කලාවට නොඑන්නට ඉඩතිබුණා.
6.ඔබ කොහොමද ලේඛිකාවක් බවට පත් වුනේ…? ලේඛිකාවක් වීමේ අරමුණකින් පැමිණි ගමනක්ද මේ…?
මම වෘත්තීයෙන් ව්‍යාපෘති කළමණාකාරිණියක් සහ ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂිකාවක් ලෙස පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කරනවා. ලේඛිකාවක්වීමේ අරමුණක් නම් තිබුණේ නැහැ. ඒත් ලිවීමට මම ආස කළේ පාසැල් කාලයේදී සිටයි. මා තුළ තිබුණු ඒ හැකියාව තෝරාගෙන එය ඔපමට්ටම් කළේ මගේ පාසල වන බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකාවේ ගුරුමෑණිවරුන්. පාසැල් කාලයේදී ගද්‍ය රචනා, පද්‍ය රචනා සඳහා සිංහල භාෂා දින තරගවලට සහභාගි වුණා. කලාප, දිස්ත්‍රික්, පළාත් මට්ටමේ ජයග්‍රහනත් ලබාගත්තා. නමුත් උසස් පෙළට ගණිත විෂයධාරාව තෝරාගත්තට පසුව ඒ හැමදෙයක්ම ගිලිහී ගියා. මෑත කාලයක, ඒ කියන්නේ මීට අවුරුදු තුනකට පමණ පෙර අහම්බයකින් මුහුණුපොතේ නවකතා කෙටිකතා පලවන සමූහක් දකිනවා. ඉතින් ආයෙත් ලියන්න ආසාව ඇතිවෙන්නේ ඒ මොහොතේ. ඊට පස්සේ තමයි ආයෙත් මේ ගමන ඇරඹෙන්නේ.
7.ලේඛන කලාව කියන මේ ක්ශේත්‍රයට පිවිසුනාට පසුව අලුත් ලේඛිකාවක් විදිහට මොනවද මේ ක්ශේත්‍රය තුල ඔබ දැකපු අඩුපාඩු සහ වැඩිදියුණු විය යුතු යැයි හැඟුන දේවල් …?
ඇත්තෙන්ම මුල් කාලයේ මුද්‍රිත මාධ්‍යට පිවිසීම හීනයක්. මුහුණුපොතේ ලියන නවකතා ප්‍රකාශන ආයතන භාරගනීදෝ කියන සැකය තිබුණා. ඒත් දැන් දැන් ක්ෂේත්‍රරය තුළ එහෙම බියවෙන්නට හේතුවක් නැහැ. බොහෝ පේකාශන ආයතන නවක දක්ෂයන්ට අතදෙන්නට බලාගෙන ඉන්නවා. 2020 ජනවාරියේදී මම සඳමාධවී ප්‍රකාශන ආයතනය එක්ක “අහස්යානා” නවකතාව මුද්‍රණය කිරීමේ කටයුතු සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. ඒ අතරේ ක්ෂේත්‍රයේ ප්‍රවීන ජනප්‍රිය ලේඛිකාවක් වන දිලූ සඳමාලි රසාංගිකා මාපා මහත්මිය මට අවස්ථාවක් සලසා දෙනවා මිහිර ප්‍රකාශන ආයතය සමඟ “හිමහීන” නවකතාව මුද්‍රිත මාධ්‍යට රැගෙන එන්නට. මේ අවස්ථාවේදී මා ඒ ගැන සිහිපත් කළ යුතුමයි. ඇත්තෙන්ම ක්ෂේත්‍රරයේ සිටින බොහෝ ප්‍රවීන ජේෂ්ඨ ලේඛක ලේඛිකාවෝ ගුරුහරුකම් ලබාදෙමින් නවකයන්ට අතහිත ලබාදෙනවා. ඇත්තෙන්ම ඒ පිළිබඳව මා හදවතින්ම සතුටු වෙනවා වගේම හදවතින්ම ස්තූතිවන්ත වනවා. ඕනෑම ක්ෂේත්‍රයක් තුළ අපි හොඳ දෙයක් කළොත් ක්ෂේත්‍රය තුළ ඒ හොඳ පවතිනවා වගේම දියුණුවක් ලබනවා.
8.ඔබ හිතන විදිහට ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තම නිර්මාණ තුල අදහස් ප්‍රකාශ කරන විට සීමාවක් තිබිය යුතුද…එසේත් නොමැති නම් සීමා මායිම් නොමැතිව අදහස් සහ තම මතයන් ඉදිරිපත් කල යුතුද…?
එය එකිනෙකාට සහ කරන නිර්මාණය අනුව සාපේක්ෂයි. ඒ වගේම එක එක නිර්මාණ කරුවන්ගේ නිර්මාණ රාමුව වෙනස්. අකුරු එකතුකර හදන වචනවලට පුළුවන් සමාජයක් යහපත් කරන්න වගේම නසන්න. සමාජය තුළ, මනුස්ස හිත් තුළ හොඳ දේ වගේම නරකදේත් වපුරන්න. ඉතින් මටම වෙන්කර ගත්ත රාමුවක් අස්සේ සීමාමායිම් නැතිව හදවත මත ආදරේ අකුරු කරන්න මම ආසයි.
9.ඔබගේ නිර්මාණ තුලින් ඔබ සමාජයට මොන වගේ පණිවිඩද දීමට උත්සාහ කරන්නෙ…?
ප්‍රේමයේ බැඳීම් මූලික කරගත් නිර්මාණ මගේ අතින් ඉදිරියේදිත් බිහිවේවි. ඇත්තෙන්ම ඉපදුනු දා පටන් අපි හුස්මගන්නේ බැඳීම් එක්ක. අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, පවුල, යහළු, යෙහෙළියන් මේ හැමදෙනා එක්කම තියෙන්නේ හිතත් එක්ක ඇතිවුණු මහා පුදුමාකාර ගනුදෙනුවක්. ඒ වගේම සෙනෙහසින් බැඳුණු හිත් දෙකක් අතර ඇතිවන සොඳුරු සුන්දර බැඳීමක ගනුදෙනුව මේ ලෝකේ කොච්චර ලස්සන කරනවද ? අපි ජීවත්වෙන සමාජයේ අහන්න දකින්න ලැබෙන දේ එක්ක ඉදිරියේදීත් මම මේ හදවත්වල ගනුදෙනුව ගැන අකුරු කරාවි. හිත්වලට, හදවත්වලට කතා කරාවි.
10.පොතක් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට දැනුම , අත්දැකීම් වගේම කාලයත් අත්යාවශ්ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලිවීමට අවශ්‍ය මේ කරුණු කාරනා සපයා ගන්නේ…?
ඇත්තෙන්ම එය සුළුපටු කාර්යයක් නම් නෙවෙයි. අපි ලියන අකුරක් අකුරක් ගාණේ ඒ හැම අකුරකම වගකීම අපි දරන්න ඕනේ. පාදක කරගන්නා ක්ෂේත්‍රය සහ වටපිටාව අනුව කරුණු සොයමින්, දැනුම එක් රැස් කරගනිමින් තමයි මම නිර්මාණයක් ගොඩ නඟන්නේ. වෘත්තීය ජීවිතයෙන් ලැබෙන අත්දැකීම් වගේම සමාජයෙන් ලැබෙන අත්දැකීම් මේ කාර්යයට රුකුල් දෙනවා. ඊට අමතරව සමහර පොත්පත් කියවීමෙන් දැනුම එකතු කරගන්නවා. ඒ වගේම අන්තර්ජාලය කියන්නේ ගෙදර තියෙන විශ්වවිද්‍යාලයක් වගේ. ලෝකෙම තමන්ගේ ඇස් ඉස්සරහට ගේන හරි අපූරු තැනක්. මේ දවස්වල මම යූ ටියුබ් එකේ සහයෝගය ඇතිව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වගේම එංගලන්තයේ ලන්ඩන් නගරයේ පාරක් පාරක් ගාණේ ඇවිදිනවා. ඇත්තටම ලොකු කාලයක් ගත වුණත් එය හරිම සුන්දර අත්දැකීමක්. එයින් ලබාගන්නා දැනුම වගේම අත්දැකීම් ලොකු වටිනාකමක් එකතු කරනවා.
අවසාන වශයෙන් මගේ අකුරු ආදරයෙන් වැළඳගන්නා පාඨක ඔබ සැමට හදවතින්ම ස්තූතිවන්ත වනවා. ඔබේ ඒ ආදරය නොවන්නට ශානිකා ජයසූරිය කියනා ලේඛිකාව බිහි නොවන්නට ඉඩතිබුණා. ඒ වගේම බොහොමත්ම ස්තූතියි පොත් මී වැඩසටහනට “ළබැඳි සිතක් ළඟ” නවකතාව හරහා මාව සම්බන්ධ කරගත් පුෂ්පිකා මධුශානි විජේරත්න සොයුරියට.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment