පාරා සමග ඔබ වෙත එන ලයන්තී නානායක්කාර අද පොත්මී "අලුත් පොතක්" සංවාදය සමග
පාරා සමග ඔබ වෙත එන ලයන්තී නානායක්කාර අද පොත්මී “අලුත් පොතක්” සංවාදය සමග
1. ” පාරා ” කියන්නේ මුද්‍රිත මාධ්‍ය යෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු කෘතිය. මුලින්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු…
💠 පාරා නවකතාව මුහුණු පොතේ මා විසින් පලකල නවකතා අතරින් පාඨකයින් විසින් ඉතාම ආදරයෙන් වැළදගත් නවකතාවක්. රහස් පරීක්ෂක ගණයේ නවකතාවක් විදියට තමා පාරා ලියවෙන්නේ.
පාරා නැත්නම් පාරින්ද්‍යා කෙනුලි රත්නායක කියන්නේ ගොඩාක් අහිංසක චරිතයක්. නමුත් ඇගේ ජීවිතය හරහා කුණාටුවක් හමායනවා ඇගේ දෙමාපියන් ඝාතනය වීමත් සමගින්. දෙමාපියන්ගේ වියෝවත් සමගින් හුදකලාවට ප්‍රිය කරන චරිතයක් බවට පාරා පත්වෙනවා. ඇය, ඈ වටා වූ සියලු බැදීම් ප්‍රතික්ෂේප කරනවා.
ඉතිං , පාරා ඇගේ ජීවිත කතාව ජයගන්නේ කොහොමද ?
පාරාට ආදරය කරන්නේ කවුද?
පාරාගේ දෙමාපියන් මරණයට පත්වීමේ අභිරහස විසදෙන්නෙ කොහොමද ?
මේ ප්‍රශ්න වලට උත්තර ඕනිනම් මං ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා පාරා පොත ගන්න කියලා. අරන් කියවලා අනිවාර්යයෙන්ම මට ඔයාලගෙ අදහස් ඉදිරිපත් කරන්න කියලා .
2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…?
💠 පහන් ප්‍රකාශන සමාගම තමා පාරා නවකතාව මුද්‍රිත මාධ්‍යයෙන් එළිදක්වන්න භාරගත්තේ. පොත් ප්‍රකාශකයෙකුගෙන් කියලා මං ඉස්සෙල්ලම ඇහුවේ සර්ගෙන්. ඉතිං පහන් ප්‍රකාශනාධිපති සමන්ත ඉන්දීවර මහතා සහ එම කාර්‍ය මණ්ඩලයට ආදුනිකයෙකු වුණු මාව විශ්වාස කරලා මේ තැනට එන්නට ශක්තියක් වීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා .
තිසුරි ප්‍රාර්ථනා , ඕෂධී නවරත්න සහ තනුෂිකා විතානගේ කියන ආදරණීයයන් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. පාරා පොතක් වීමේ ගමන්මගේ අයිතිකාරයෝ මේ තුන්දෙනා.
3. “පාරා” කෘතිය පාඨකයින්ට මිලදි ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
💠 පහන් ප්‍රකාශණයක් විදියට පහන් ප්‍රාකාශන ආයතනයෙන්, සරසවි පොත් ප්‍රකාශකයන්ගෙන් සහ සිතුවිලි බුක්ස් කියන ස්ථාන වලින් දැනට ඇණවුම් කිරීමෙන් පොත් ලබාගන්න පුළුවන් .ඉදිරියේදි ලංකාව පුරාම තියෙන පොත් හල් වලින් පාරා නවකතාව ඔබට මිලදීගන්නට හැකිවේවි.
4. ඉදිරියේදී පාඨකයින් වෙත ලබා දෙන්නට සිටින අලුත් නිර්මාණ ගැන අදහසක් මේ වෙන විට තිබෙනවාද…?
💠 ඔව්.. ඒ ගැන ප්‍රකාශන ආයතනයත් එක්ක කතාකරලා තීරණය කරන්න ඕනෙ. ඒ නිසා ඉතිං ලබන අවුරුද්දෙම බලමු නේද අලුත් නිර්මාණ ගැන.
5. ඔබ කොහොමද ලේඛ්කාවක් උනේ. එය ඔබේ බලාපොරොත්තුවක් විදිහට තිබුණ දෙයක්ද…?
💠 ලියන්න ආශාවක් තිබ්බා. ඉතිං ඒ ආසාවට තමා මුහුණුපොතට නවකතා ලියන්න පටන් ගත්තේ. එහෙම ආපු ගමන අතරමගදි පොතක් කරන්න ඕනෙ කියන සිතුවිල්ල හිතට ආවා. කියන්නම ඕනෙ ඇත්තටම ඒ හීනය ඇතිකරෙත් මුහුණු පොතෙන් හමුවුනු ආදරණීයයන්. මගේ පාඨකයින්. ඔවුන් නිසා තමා අද මං මෙතන ඉන්නේ.
6. පොතක් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට දැනුම අත්දැකීම් වගේම කාලයත් අවශ්‍යයි. ඔබ කොහොමද මේ කරුණු සපයා ගන්නේ…?
💠 සාමාන්‍යයෙන් මං කතාවක් ලියන්න පටන්ගන්න කලින් මගේ කතාව ගැන මනසින් සැලැස්මක් හදාගන්නවා. ඒ කියන්නේ කතාව එහෙන් මෙහෙන් හිත ඇතුළෙන් මවාගන්නවා. ඊටපස්සේ මුල මැද අග කොහොමද වෙන්නෙ කියන දේ ගැන සටහනක් තියාගන්නවා. ගොඩාක් වෙලාවට මං සමාජයේ දකින නිමිත්තක් තමා කතාවට වස්තුබීජය කරගන්නේ. එතකොට ඒ අනුව වෛද්‍යවරුන්ගේ උපදෙස් ගන්න ඕනිනම් ඒවා, නීතිමය උපදෙස් නම් ඒ දේවල් වගේ මං නොදන්නා පැති ගැන අවශ්‍ය සටහන් තියාගන්නවා. ගොඩාක් වෙලාවට අන්තර්ජාලයෙන් තොරතුරු ගන්නවා. ඒ විදියට තමා කතාව ගොඩනගාගන්නේ.
කාලය කළමණාකරණය ගැන කීවොත් ඇත්තටම බබා එක්ක සහ ගෙදර වැඩත් එක්ක ගොඩාක් අමාරුයි. ගොඩාක් වෙලාවට ලියන්නෙ රෑ දහයෙන් පස්සේ. මොකද ලියන්න සිතුවිලි ගොඩනගාගන්න නිදහස් මනසක් අවශ්‍යයයි. ඉතිං ඒ නිසාම රාත්‍රී කාලය තමා ගොඩාක් වෙලාවට මට පහසු ලේඛණ කටයුතු සදහා.
7. ඔබ මේ කතාව මුහුණු පොතේ කොටස් වශයෙන් පලකල කතාවක්. නමුත් ඒ විදිහට පලකරපු පළමු කතාව නොවෙයි. ඉතින් මේ කතාවම මුළින්ම පොතක් විදිහට එළිදක්වන්නට හිතුවේ ඇයි…?
💠 ගිය අවුරුද්දේ අවසානෙදි වගේ තමා මං සමන්ත සර් එක්ක කතා කරේ පාරා නවකතාව පොතක් කරන්න. ඒ වෙද්දි මගේ ජනප්‍රියම කතා දෙකක් තිබ්බා. ඒත් මගේ නවකතාකරණයේ හැරවුම් ලක්ෂය වුනේ පාරා සහ පාරා නවකතාවම ඉස්සෙල්ලම කරන්න ඕනෙ කියන මතයක හිටපු මට ගොඩාක් ආදරේ කරන මගේ රසිකාවියක් නිසා මං තීරණය කළා ඉස්සෙල්ලම කරන්නෙ පාරා කියලා . ඒ වගේම පාරා නවකතාව ගැන කියද්දි මතක් කරන්නම ඕනේ චරිතයක් තමා දඩබ්බරයා කිවූවම ගොඩක් දෙනෙක් දන්න නුවන් අබේගුණවර්ධන අයියා. එයා තමා මට ගොඩාක් උපදෙස් දුන්නේ නවකතාවක් පාඨක හිතේ ආකර්ශණය ඇදගන්න විදියට ලියන්නෙ කොහොමද කියලා . ඉතිං ඔහුව මං ගොඩාක් ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ..
8. ඔබ හිතන විදිහට නිර්මාණයක් තුල අදහස් දැක්වීමේදී සීමා සහිත විය යුතුයිද එහෙමත් නැතිනම් යම් යම් සීමාවන් තුල හිඳ තම අදහස් දැක්විය යුතුද…?
💠 මං හිතන්නේ ඒ දේ සාපේක්ෂයි . පෑන හසුරුවද්දි ඒක තමන්ට කැමති විදියට හසුරවන්න පුළුවන් .ඒකට නිදහස තියෙන්න ඕනෙ. එතනදි සීමාවක් නෑ කියලා මං හිතනවා. නමුත් අපි ලියන දේ කොයිතරම් දුරකට පාඨකයා ග්‍රහණය කරගන්නවද කියන එක මත ලියවිල්ලට සීමා මායිම් වැටෙන්න පුළුවන් කියලා මං හිතනවා. සමහර අවස්ථා වල ලේඛකයා විසින්ම තමන්ට සීමාවන් පනවා ගන්නවා මං දැකලා තියෙනවා . ඉතිං ඒ නිසයි මං කීවේ ඒක සාපේක්ෂයි කියලා.
9.ඔබ හිතන විදිහට ලේඛකයෙකුගේ / ලේඛිකාවකගේ සමාජ වගකීම කුමන ආකාරයේ විය යුතුද.. ?
💠 මං හිතනවා ලේඛකයා කියන්නේ සමාජය වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. සමාජය හදන්න වගේම විනාශ කරන්නත් ලේඛකයාට පුළුවන් කියලා මං හිතනවා. මොකද මම ලියන දේ කියවන්නේ කවුද කියන එකට අපිට සීමා පනවන්න බෑ. ඉතිං මම වැරදි දෙයක් ලීවොත්, අසභ්‍ය දෙයක් ලීවොත් එතනදි මම එය සාධාරණීකරණය කරන විදිය අනුව කියවන්නා වෙනස් කරන්න මට පුළුවන් . ඒ නිසා මං හිතනවා සමාජයට වැඩදායි දෙයක් ලියන්න පුළුවන් නම් ඒ ලියවිල්ලට එක වැරදි මනුස්සයෙක් නිවැරදි කරන්න පුළුවන් නම් ඒ ලේඛණය සාර්ථකයි සහ වගකීම් සහගත ලියවිල්ලක් කියලා .
10. ලේඛිකාවක් වීමට ඔබට සමාජ මාධ්‍යයෙන් ලැබුනු සහය වගේම සමාජ මාධ්‍ය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඔබට ඇතිවුනු අපහසුතා ගැනත් සඳහනක් කළොත්…?
💠 මං මුහුණු පොතට ලියන්න පටන්ගත්තේ මගේ ආසාවට. එතනදි මට හම්බවෙනවා ආදරණීය චරිතයක් . ඇය චේතනා ද සිල්වා. ඇගේ සිතුවිලි නිම්නය සමූහයට ලියන්නට ඇය මට ආරාධනා කරනවා. ඉතිං ඒ පටන්ගැන්ම අදටත් මං මගේ සමූහයට අමතරව සිතුවිලි නිම්නය සමූහයේ සහ මතක මං පෙත කියන සමූහයේ විතරයි මගේ කතා පලකරන්නේ. චේති අක්කා සහ තිලිණි අක්කාව මං මේ මොහොතේ ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ගොඩාක් ස්තූතියි මට ඒ අවස්ථාව ලබාදෙනවට.
නවකතාකරණයට මම ආධුනිකයෙක්. නමුත් මුහුණු පොතින්ම හදුනාගත්ත ලේඛිකාවන් කීපදෙනෙක්ම ඉන්නවා. මම ලියද්දි මගේ අඩුපාඩු පෙන්වමින් ගුරුහරුකම් දීපු. චේතනා ද සිල්වා, ඉමේෂා මාධවී මල්ලවආරච්චි , ඕෂධී ජයසිංහ, ශානිකා ජයසූරිය, සහසලා හුණුකුඹුර, නිශානි ඉලංගකෝන්, කාවින්ද්‍යා රත්නායක , ජයමාලි ජයරත්න , චේතනා වික්‍රමසිංහ, නිශාදිනී අල්විස්, වාසනා බාලසූරිය, එරන්දතී නයනකේෂී, මේ හැමෝම මුහුණු පොතේ කතා ලියන ඒ වගේම දක්ෂ ලේඛිකාවො හැටියට ඇත්තටම මං ගොඩාක් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න කැමති, මේ හැමෝම එකිනෙකාට උදව් කරන්නෙ කිසිම වාසියක් නැතුව. ඇත්තටම නැගී එන අයට අතහිත දෙන්න ගොඩාක් අය ඉදිරිපත් වෙන්නෙ නෑ. නමුත් දන්න හැමදේම කියලා දීලා හොදගමනක් ඉස්සරහට යන්න මේ අය එයාලගෙ අත්දැකීම් නොවෙනස්ව බෙදාගන්න එක ඇත්තටම ලොකු සතුටක්.
ඒ වගේම කියන්න ඕනේ මගේ වටා ඉන්න මගේ පාඨකයින් හැමවෙලාවෙම මාව දිරිමත් කරමින් දෙන තල්ලුව ඇත්තටම ලේඛණ ජීවිතය ගැන මට ලොකු සතුටක් එකතු කරනවා.
අපහසුතා ගැන කතා කළොත් තාම නම් අපහසුවක් වෙලා නෑ.. මේ ඉතිං පටන්ගැන්ම නිසා ඉස්සරහට බලමු නේ..
ඉතිං අවසාන වශයෙන් මාත් එක්ක ඉන්න හැමෝටම ගොඩාක් ආදරෙයි කියන්න කැමති. වචනයකින් හරි ලයික් කමෙන්ට් එකකින් හරි මාව ඔසවා තබන ඔබේ වචන වලට මං ණයගැතියි. ඒ වගේම මගේ පාඨකයෝ තමා මගේ වත්කම.
පොත් මී වෙබ් එකෙන් මාව මේ විදියට පාඨකයින් අතරට ගෙන එන්නට කරපු ආරාධනයට ගොඩාක් ස්තූතියි . ඇත්තටම මට ඒක ලොකු හයියක් සහ ලොකු ගෞරවරයක්. ඉතිං ඔයාලා හැමදෙනාගෙම කටයුතුත් හැම ආකාරයකින්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .. ගොඩාක් ස්තූතියි පුෂ්පිකා නංගි ඔයාටත් මේ අවස්තාව මට ලබාදුන්නට..
ඔයාලගේ ආදරය දිනූ පාරා නවකතාව…
💠 ඔන්ලයින් ඇනවුම් සඳහා විමසන්න
WhatsApp/Message/ voice 0712227711/0760314085/0115852714/ 0711588966
Pahan publication
Pahan Poth පිටුවට පණිවිඩයක් යොමු කරන්න.
💠 සරසවි පොත් හල් වලින්
💠 Sithuwili books lk මගින් (071 916 4747)
ඔබේ නිවසටම ගෙන්වාගත හැක..
ජොඈන් වෙතින් 15% ක වට්ටමක් සමඟින් නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න. 076 762 1460
පොත්මී ප්‍රකාශන පුද් සමාගම
Comments
Post a Comment