මහ එකා

“සුදු හාමිනේ..බඩත් උස්සගෙන මහන්සි වෙන්න හොඳ නෑ නොවැ..ඉන්ඩ..මම ඔය රෙදි ටික වනන්නම්..”
“මට මහන්න්සියක් නෑ අයියණ්ඩි..මහන්සි නොවී ඉන්ඩත් හොඳ නෑ..”
එහෙම කියල බෑ..ඔය කුසේ ඉන්නෙ මගෙ ලේ ධාතුව..මම මැරුණත් කමක් නෑ..ඒත් උඹල දෙන්නට අතුරු අන්තරාවක් වෙන්න නාකයි..ඉදින්කො..හීන් නඟාටවත් එන්න කියන්නම් මම උඹව බලාගන්ට..මමත් හේනට ගියාම උඹ තනියමනෙ මගෙ මැණිකේ”
……………………………………………………………………………………….
මේ 1970 දශකයයි..එකල හද්දා පිටිසර ගම්මාමනක් වූ ඇතිලිවැව ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත..අද මෙන් නොව එකල ප්‍රවාහනය හා විදුලිය ඉතා අඩු මට්ටමක පැවතිණ.කෘෂිකාර්මික වගාව ජීවනෝපාය කරගත් උක්කුවා තරමක හැඩි දැඩි පුද්ගලයෙකු විය..හේන් වගාවටත්,දඩයමටත් ඔහු තරම් හපනෙකු අහල ගං හතකවත් නොවීය.තල,කුරක්කන්,බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගත්,වට්ටක්කා,බටු,තක්කාලි මිරිස් වැනි එළවලු වර්ගත් වසර පුරා වගා කර සෑහෙන ආදායමක් ඔහු උපයා ගත් අතර විනෝදයට දඩයම් කළේය..කලුවට උයාගත් ගෝන මස් හා කුරක්කන් තලපය ඔහුගේ ප්‍රියතම ආහාරය විය..සුදු හාමිනේව උක්කුවා විවාහ කර ගත්තේ බාධා කම් කටොලු දහසක් මැදය..එක අතකින් නිවෙස් වලින් අකමැති වූ නිසාත්,ගමේ උන්ගේ තිබූ ඉරිසියාව නිසාත් සුදු හාමිනේ කැටුව හුදෙකලා දිවියක් ගත කලද,ඔහුගේ දියුණුවත් සමඟ පවුලේ අය නැවත් ලං විය..දැන් සුදු හාමිනේගේ දරු ගැබට මාස තුනක් වී ඇත.
……………………………………………………………………………………….
“සුදු හාමිනේ..අද මට ඌරෙක් එලා ගන්න ඕනි..රාලහාමි කිව්ව හෙට වෙද්දි ඕනි කියල”
“මේ පව්කාර මනුස්සයට කොච්චර කිව්වත් වැඩක් නෑනෙ..මේ ලැබෙන්ඩ ඉන්න ඔහෙගෙ දරුවගෙ නාමෙන්වත් ඔය පව්කාර වැඩ නවත්තනවකෝ”
“දැන් ඉතින් බාර ගත්ත වැඩේ කොරන්ඩ එපැයි..නැතිනම් රාලහාමි මාත් එක්ක අපනාප වේවි..උඹලට ඔය මාලෙ අරන් දුන්නෙත් මේ ගෙරියො දඩයම් කරපු සල්ලි වලින් තමයි”
නෝක්කාඩුවට මෙන් පැවසූ උක්කුවා බුලත් කොලයක හුණු ගා කටේ දමා ගත්තේය..උක්කුවා කෙතරම් හොඳ වුවද පළවෙනි සිල් පදේනම් රකින්නේ නැත..මසට ගිජුය..ඔහුටම සරිලන සිරිපාලද තකට තකය..දෙදෙනා ගිනි බටෙත් කිහිල්ලේ ගහගෙන මූකලාණට වැදුණු පසු එලියට එන්නේ හිස් අතින් නොවේ..
…………………………………………………………………………………………
“අර බලාපන් කවුද එන්නෙ කියල”
බුලත් විට පිරුණු කටින් මදහාසයක් උපන්නේ නිරායාසයෙනි..උක්කුවාගේ එකදු දතක්වත් පේන්නේ නැත..දත් බුලත් කහට වලින් දුර්වර්ණ වූ නමුත් සිරියාවන්තය.
“අපෙ අප්පේ..හීන් නඟා නේද..අතිනුයි කටිනුයි එල්ලගෙන එනව”
“උබලව බලාගන්ඩ තමයි ඔය එන්නෙ..මට කොච්චර හයියක්ද ඒක..”
“අයියා..ඔන්න මම ආව..එන්නැයි කියල පයින්ඩේ හම්බුනු ගමන් තමයි ඕන් මම ආවෙ..දැන් මාත් නැන්දෙක් වෙන්ඩ් ලඟයි නොවැ..”
හීන් නඟානේ මුහුනේ මල් පිපිලාය..දරු ගැබ දුටු ගමන් සිහි නැත..ගෙනාපු බඩු මුට්ටු පසෙකින් තැබූ ඈ ආගිය තොරතුරු කතා කළාය..
“අයියණ්ඩි සෑහෙන කාලෙකින් මහගෙදර ආවෙ නෑ කියල අප්පච්චි දුකින් ඉන්නෙ..”
“කොහේ එන්ඩද නඟා..මටත් කියල ඉස්පාසුවක් නෑනෙ..දැන් උබවත් මෙහෙම ආපු එක වටිනව”
“එහෙම කියල ඉන්ඩ එපා..උබත් එක්ක අබ මල් රේණුවකවත් තරහක් නෑ මයෙ හිතේ..”
“දැන් ඕව කතා කරල වැඩක් නෑ නඟා..මම යන්නම්කො මේ වැඩ ටිකක් අහවර උනාම”
“අක්කණ්ඩී..ඔන්න අද ඉඳල අක්කණ්ඩිව බලාගන්නෙ මං තමා”
“අනේ ලොකු පිනක් නඟා..නැතිනම් මේ මනුස්සය රෑට පැල් රකින්ඩ ගියාම මම බුදියන්ඩ යන්න ඕනි රෑට ඩිංගිරි හාමිනේගෙ දිහා..මටත් තනියම මේකෙ ඉන්ඩ බෑ”..
…………………………………………………………………………………..
රක්ත වර්ණ වූ හිරු අවරගිරින් බැස යමින් පවතී..නිවසට ඉදිරි පිට ඇති මහ කුඹුරු යායේ සිටි කුරුලු කිරිල්ලන් හනික උන්ගේ කැදලි බලා පියඹා යයි..මුලු පරිසරයම ගණදුරින් වෙලා ගනී..පැරණි පෙට්‍රෝල් මැච් එක සුද්ද කරගත් උක්කුවා වහා එය දල්වන්නට වූයේ අදදින සුදු හාමිනේ හා හීන් නඟා නිවසේ නවතින බැවිනි..
“අද සිරිපාලයට කිව්ව එන්ඩ කියල..මොකද දන්නෑ තාම පරක්කු..”
“අයියණ්ඩී..ඔය පව්කාර වැඩ නතර කොරන්ඩ..මේ අක්කණ්ඩිටත් හරි නෑ නොවැ..”
උක්කුවා කට කොනකින් හිනා වූ නමුත් වෙන ප්‍රතිචාරයක් නැත..
“ඔය මොනව හරි කන්ඩ ගනිල්ලකො..යකෙක් කන්ඩ බඩගිනී මට”
“යක්කු කන්ඩ ඕනි නෑ..අද රොටී පිච්චුවෙ මම..අර නෑබිලියෙන් වහල ලුණු මිරිසුත් ඇති”
“හීන් නඟා..උබත් කාපන් හීතල වෙන්ඩ කලින්..මාත් තව ඩිංගකින් යන්න ඕනි..කොහෙද අර සිරිපාලය නෑනෙ..”
නිවස ඉදිරිපිටින් කිසියම් ශබ්දයක් උක්කුවාට කන වැටිනි..
“ඔන්න සිරිපාලය එන්ඩ ඇති..ඔය සද්දෙ ඇහුනෙ”
“මොන සද්දයක්වත් මට ඇහුනෙ නෑ නොවැ..”
“උබල්ගෙ කනේ දෝසයක් වෙන්ඩ ඇති..ඉදහන්..මම බලල එන්නම්..”
උක්කුවාට යමක් ඇසුනත් සුදු හාමිනේට හා හීන් නඟාට කිසිවක් නෑසුනි..
“මේ ඇහුනද..මේ සිරිපාලය ඇවිත්..මම යන්ඩ ඕනි දැන්..උබල පරිස්සමෙන් ඉදහල්ල..කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි”
“අයියණ්ඩිත් පරිස්සමින් ගිහින් එන්ඩ..මම මඟ බලන් ඉන්නව එනකන්”
බෝල් කූඩුවේ එල්ලා තිබූ බතික් කමිසය ඇගලා ගත් උක්කුවා කිනිස්ස ඉනේ ගහත්තේය..සෙමින් සුදු හාමිනේගේ නළල ඉම්බේය”
…………………………………………………………………………………..
“සිරිපාල..අපි යමුද එහෙනම්?”
“සිරිපාල සිටියත් මොකුත් කතා කලේ නැත..හිස වනා ඉදිරියෙන් ගමන් කලා පමණි..”
“දැන් කොහොමද බන් දෝණි ඇන්දට?”
උක්කුවා නැවත් සිරිපාලගෙන් ඇසුවේය..නමුත් කිසිඳු කතාවක් නැත.නිසොල්මනේ ඔහේ ඉදිරියෙන් ගමන් කරයි..වෙනදා තත්වය මීට හාත්පසින්ම වෙනස්ය..වැඩි හරියක් කතා කරන්නේ සිරිපාලය..
“අඩේ..උබට මක්කැයි වෙලා තියෙන්නෙ?කටේ පිට්ටුද බොල?”
මූකලාණ දෙසට ඇති ගුරුපාර දිගේ උක්කුවා හා සිරිපාල සෙමින් ගමන් කරයි..වෙනදා මෙන් නොව පරිසරයම මහා මූසල ගතියකින් වෙලී ඇත..නොනවත්වා කෑ ගසන පළගැටියන්ගේ හඬ පමණක් වාතලයට මුසුවේ..ගුරු පාර කෙරවල වන්නේ කැරකොප්පුව ලගින්ය..එතනින් දකුණට හැරුනු විට කඩවර වැවය..වමට හැරුණු පසු මහා මූකලාණ පිහිටා ඇත..උක්කුවාගේ අතේ ඇති කෑලි තුනේ විදුලි පන්දමේ ආලෝකය පමණක් අඳුරින් මුදවා ගනී..
දෙදෙනා දැන් ගුරු පාර කෙරවලට පැමිණ ඇත.”ජර බරස්” හඬ නඔවමින් එක්වරම කැලේ කඩාගෙන ආ ඌරෙකු ගුරු පාර හරහා දිවීය..
“සිරිපාල..අන්න බඩු..මේ තුවක්කුව අරන් මාන බැලුවනම් එක පාරින් අපි ගොඩ..”

සිරි පාල ඉදිරිය පමණක් බලා පිළිමයක් හිට්ටුවා සේ හිඳියි..උක්කුවාට යකා නැග්ගේය..
“මොන මළ යකෙක් වැහිලඳ යකෝ උඹට”
“හහ්..හහ්..යකෙක්..?යකෙක් නෙවෙයි..මට උබත් එක්ක පොරයක් අල්ලන්න ආසයි..වරෙන්කො අර සොහොන් පිටියට”
උක්කුවාට අදහා ගත නොහැකි විය..මෙතෙක් වෙලා නිහඬව සිටි සිරිපාල එක්වරම මේ දොඩවන්නේ කුමක්ද..

“උබට අමු කැවිලද උක්කුවෝ..මේ මහ රෑ මොන පොරද..උබට ඕනිමනම් හෙට පොරයක් අල්ලමු..අද මේ ආපු වැඩේ කොරන් යමු..”
“හූ………හූ…..බෑ බෑ..මට පොරයක් අල්ලන්ඩම ඕනි..නැත්තම් මම උබව මෙතන බාවනව”
සිරිපාලගේ සුපුරුදු කටහඬ අද වෙනස් වී ඇත..ඉතා රළු හඬින් ඔහු කතා කරන වග උක්කුවාට වැටහිණි..උක්කුවාද නාහෙට නාහන එකාය..දෙකෙන් එකක් විසඳා ගැනීමට අටියෙන් පොරයක් ඇල්ලීමට කැමති විය..”
“හරි..උබ ඔච්චර කියන එකේ වරෙන්..අපි පොරයක් අල්ලමු..”

“හූ” හඩ නංවමින් සිරිපාලද පොරයට සැරසෙයි..සොහොන් පිටියේ එකම යුද්ධයකි.සිරිපාල උක්කුවාව තල්ලු කල විට උක්කුවා ඈතට ගොස් විසිවේ..සාමන්‍ය මනුස්සයෙකුට නැති තරම් ශක්තියක් ඔහුට අද ඇත..සිරිපාලගෙන් බේරෙන්නටම බැරි තැන ඉනේ ගසාසිටි කිනිස්ස අතට ගෙන සිරිපාලට ඇන්නේය..සිරිපාලගේ චායාවවක්වත් නැතිව එක්වරම අතුරුදහන් විය..උක්කුවාගේ දෙලෝ රත් විය..එන පොට හොඳ නැති බව දැන ගත් උක්කුවාට උතුර දකුණ මාරු විය.. නිවසට ආවේ කොහොමද කියා ඔහුවත් දන්නේ නැත..නිවසේ ඉස්තෝප්පුවට පැමිණියා පමණි..පෙටේතයා පොළවේ ගැසුවා මෙන් ඇඳ වැටුණි..උදැසන සිහිය එන විට පිරිත් නූල් බැඳ,පිරිත් කියවා මහා සඟ රුවනගේ ආශිර්වාදය මැද උක්කුවා තබා ඇත..
” අයියණ්ඩි..මොකද උනේ ?”
ඒ සුදු හාමිනේය..
“ඊයෙ රෑ මම අනූ නවයෙන් බන් බේරුනේ..මහ එකා ආවනෙ මාත් එක්ක..”
“දෙයි හාන්දුරුවනේ..ඒක තමයි..ඊයෙ සිරිපාල අයිය කොහේ එන්ඩද..දෝණිට අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගෙනිහින්..ආන්..අර එන්නෙ කියනකොටම..”
“උක්කුව මලයා..ඊයෙ එන්ඩ බැරි උනා බන්..කෙල්ලට බෙහෙත් ගේන්ඩ එක්ක ගියා..”
“වරෙල්ලකො යන්ඩ..උබලට පෙන්නන්නම් මම වැඩේ සිද්ධ වුණු තැන..
…………………………………………………………………………………..
සියල්ලම උක්කුවා සමඟ සොහොන් පිට්ටනියට ගියේ සිදුවූ දේ දැන ගැනීමටය..කැරකොප්පුවට යන තැනම උක්කුවාගෙ කිනිස්සෙන් බඩ පසාරු වූ බෝදිලිමෙක් මැරී වැටී සිටී..සියල්ලන්ම මුහුනට මුහුණ බලා ගත් හ..එදායින් පසු උක්කුවා දඩයමේ ගියේද නැත..

 

දනුෂ්ක ප්‍රදීප්

Facebook Profile > Dhanushka Pradeep

ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න