අම්මගේ බිල්පොත
ජීවිතයේ ගොඩක් දේවල් ලැබෙද්දී.. ගොඩක් දේවල් අපෙන් ඇත් වෙලා යනවා… මටත් වුනේ එහෙම දෙයක්.
මම කාලයක් ගොඩාක් අසාර්ථක මිනියෙක් වෙලා හිටියා..එහෙත් ජීවීතයට සාර්ථකත්වය ආවා…ඒක වුනේ එක පාරටම…ඒ නිසාම ගොඩක් දේවල් අත හැරලා දාලා මම ඒක පස්සේ දුවන්න පටන් ගත්තා… මගේ බිරිද , දරුවන් තියා මගේ අම්මා වෙනුවෙන්වත් මට වෙලාවක් තිබ්බේ නැහැ…
මගේ අම්මා ජීවත් වුනේ මමත් බිරිදත් ජීවත් වුනු නගරයට ගොඩක් ඈත …. ” ඉජේවාන් ” කියන පුංචි ගමක… යෙරෙවාන් වලට ඇවිත් පදිංචි වුනාට පස්සේ මම ඉජේවාන් වලට ගියේ අහම්බෙන් වගේ… ටික කාලෙකින් ඒ යන එකත් සම්පූර්නයෙන්ම අත හැරලා දැම්මා..
දවසක් මගේ බිරිදගේ උපන් දිනය දවසේ මම ඇයගෙන් ඇහැව්වා
” මොනවද ඔයාට උපන් දිනයට ඕනේ කියලා ” …එයා ටිකක් වෙලා කල්පනා කලා… කල්පනා කරලා මට මෙහෙම කිව්වා
” මට ඔයාගෙන් තෑගී මුකුත් එපා ආරොන් …. පුලුවන්නම් එක දෙයක් කරන්න… ”
” මොකක්ද ”
” ඔයාගේ අම්මව බලන්න යන්න…. එයාව කොයේ හරි රාත්‍රී කෑමකට එක්ක යන්න…එයා ගොඩක් සතුටු වෙයි.
මගේ බිරිද නයිරා මේ තරම් මගේ අම්මා ගැන හිතන විත්තිය මම දැනගෙන හිටියේ නැහැ… එහෙත් එහෙම බිරිදක් ලැබීම ගැන මම සතුටු වෙනවා….
මම එදාම අම්මට කෝල් එකක් ගත්තා…
” අම්මේ… මම මේ සති අන්තයේ ඉජේවාන් වලට එනවා…. මට අම්මත් එක්ක රෑ කෑමකට යන්න ඕනේ… .”
ටික වෙලාවක් දුරකතනයේන් කිසිම දෙයක් ඇහෙන්නේ නැතිව ගියා… අම්මා කතා නොකර කල්පනා කරන්නට ඇති.. ආයෙත් අම්ම කතා කරද්දී මට තේරුනා එයා අඩන විත්තිය.
” බොහොම ස්තුතියි පුතේ…එහෙත් පුතාට වැඩනම් ඒවා පාඩු කරගෙන එන්න එපා…පුතාගේ වැඩ කරන්නත් එපැයි ”
” නැහැ අම්මේ… මම එනවා…. අම්මා ලැස්ති වෙලා ඉන්න… ” කියපු මම දුරකථන විසංධි කලා…
අම්මායි තාත්තයි පුංචි කාලේ මාත් එක්ක ගියපු පොඩි අවන්හලක් තියෙනවා ඉජේවාන් වල… තාත්තගේ මරනයෙන් පස්සේ කවදාවත් අම්මා ඒකට යන්නේ නැතිව ඇති…. මම තීරනය කලා අම්මත් එක්ක ඒ අවන්හලට යන්න…
සති අන්තය එලබුනා…මම ඉජේවාන් වලට ගියා… අම්මගේ ගේ ගාවින් කාර් එක නවත්තලා වහනෙන් බහින්නත් කලින්ම අම්මා ගෙදරින් එලියට ආවා..මම එනකන් අම්මා බලාගෙන ඉන්න ඇති.
අම්මව දැක්කේ කාලෙකින් පස්සේ … එහෙත් අම්මව මේ තරම් ලස්සනට දැක්කේ අවුරුදු ගානකින්ම පස්සේ…අම්මා පුදුමාකාර ලස්සනට හැදගෙන හිටියා… එයා තරුන කාලේ වගේම…මුතුඇට අල්ලපු මාලෙකුත් … පුංචි ඩෑෆඩිල් මලකුත් කොන්ඩේ ගහගෙන හිටියා…මම ඉක්මනට වහනෙන් බැහැලා ගිහින් අම්මගේ අතින් අල්ලගෙන වහනයට එක්ක ආවා…
එදා මම අම්මත් එක්ක ගිහින් අර අවන් හල ලග වහානය නැවැත්තුවම අම්මා පුදුමයට පත් වුනා…මම දැක්කා අම්මගේ ඇස් දෙකින් කදුලු වැක්කෙරෙනවා..අම්මා ඒවා හොරෙන්ම පිහද ගත්තා…
” මම හිතුවේ නැහැ පුතේ අපි අද මෙතෙනට එයි කියලා… ” ඇය මගේ දිහා බලලා හිනා වුනා..
“ ලුනා කෑෆේ ” කියන මේ අවන්හල ඉජේවාන් වල ගොඩක් ජනප්‍රිය එකක්..මම එදා අම්මා කන්නම කෑමති ” තොල්මා ” ඕඩර් කලා…
” පුතා දන්නවද මමයි ඔයාගේ තාත්තයි මුලින්ම මුන ගැහුනේ මේ අවන්හලේදී….” අම්මා වට පිට බැලුවා ..
“ හැමදේම තවමත් ඒවගේ…. ඔයාගේ තාත්තත් අපිත් එක්ක හිටියනම් එයා අද ගොඩක් සතුටු වෙයි ..” අම්මගේ ඇස් දෙකේ කදුලු පිරුනා..
මම අම්මගේ අත පිරිමැද්දා .. ” මම දන්නවා අම්මයි තාත්තයි මේකට නිතරම ආපු විත්තිය .. ”
” ඒ වගේම මේ අවන්හල තවත් එක දෙයක් නිසා ගොඩක් විශේසයි”
” ඒ මොකක්ද ” මම අම්මගෙන් ඇහැව්වා..
” මම ගැබ් ගත්තු ආරන්චිය මම මුලින්ම තාත්තට කිව්වේ මේ අවන් හලේදී..ඔයා දන්නවද තාත්තා එදා කොයි තරම් සතුටු වුනාද කියලා..එද ආවන් හලේ ගොඩක් මිනිස්සු හිටියා.. ඔයාව හම්බුවෙන සතුටටම තාත්තා එදා ඒ හැමෝගෙම බිල් ගෙව්වා.. ඒ හැමෝටම කිව්වා..මේ මගේ පුතා “ආරොන්” වෙනුවෙන් කියලා..එයා ඔයාට තියන්න නමත් තීරනය කරලමයි තිබුනේ.. එදා හැමෝම ” ආරොන් .. ආරොන් ” කිය කියා කෑගැහැව්වා.. මට දැනුත් ඒ ශබ්ද ඇහෙනවා පුතා…ඒක පුදුමාකාර දවසක් .. ” අම්මා ඇඩුවා…. මම අම්මා ලගට ගිහින් එයාව වැලද ගත්තා.
“ඔයාට ගොඩක් ස්තුතියි පුතා..ඔයාගේ අම්මව මෙතනට ගෙනාවට…මට ගොඩක් සතුටුයි ” අම්මා මගේ හිසට හාද්දක් දුන්නා…මාව තුරුලු කරගත්තා…
මම මටම ශාප කලා..ඇයි මන් අම්මව මීට කලින් මෙතනට එක්කන් ආවේ නැත්තේ…මට අම්මව කොච්චර මගහැරුනද…
එදා වේටර් බිල් එක අරන් ආවම අම්මා ඒ බිල් එක ඉල්ල ගත්තා… අම්මා ඒ දේ මට මතක ඇති කාලයක හිදලා කරනවා..එහෙත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ ඒ බිල් වලට මොනවද වෙන්නේ කියලා…
මම අම්මට එදා පොරොන්දු වුනා ආයෙත් වතාවක් අම්මව එතනට එක්කන් එන විත්තිය..
එහෙත් මට ආයෙත් එතනට අම්මව එක්කන් යන්න බැරි වුනා…ඊට දවස් කිහිපයට පස්සේ අම්මා නැතිවුනා..හර්ධාබාදයකින්…
අම්මගේ භූමීදාන කටයුතු ඉවරවෙලා මමයි බිරිදයි අම්මගේ ගෙදරට ගියා…හිතට දැනුනු දැඩි වේදනාව නිසාම මම ඉස්තෝප්පුවේ තිබුනු පුටුවක හාන්සි වෙලා හිට්යේ..එක පාරටම මගේ බිරිද කෑගැහැව්වා ” ආරොන් මෙහාට එන්න ”
මම දුවගේන එතැනට ගියා..එයා හිටියේ අම්මාගේ කාමරේ …එයාගේ අතේ පුංචි පොතක් තිබුනා..
” මේක බලන්න ” එයා ඒ පොත මගේ අතින් තිබ්බා…
ඒක සම්පූර්නයෙන්ම පිරිලා තිබුනේ බිල්පත් වලින්.ඒ සේරම ලූනා කෑෆේ එකේ බිල්…. අම්මා බිල්පත්වලට කරන්නේ මොකක්ද කියලා මට තේරුනා… මගේ මුවින් පුංචි හිනාවකුත් ආවා…එයා ඒ හැම බිල් එකකම පිටුපස්සේ පොඩි සටහනකුත් කරලා ..ඒ හැම සටහකන්ම ලියලා තියෙන්නේ මම වෙනුවෙන් මම එකේ තිබුන මුල්ම බිල් එක කියෙව්වා..
” පුතේ … ඔයා තවම ඉපදිලා නැහැ…ඔයා කවදා ඉපදේවීද දන්නෙත් නැහැ..එහෙත් ඔයාගේ තාත්තයි මමයි ඔයා එනකන් බලාගෙන ඉන්නවා… දෙවියන් අපිට ලස්සන දරු පැටියෙක් දෙයි කියලා අපි විශ්වාස කරනවා… ” මගේ ඇස් දෙකේ කදුලු පිරුනා.
මම අන්තීමටම තිබුන බිල් එක අතට ගත්තා..ඒ මම ඇයව එක්කන් ගිය දවසේ බිල..මම ඒකේ පිටුපස තිබුන සටහන කියවන්නට ගත්තා.
” මගේ රත්තරන් පුතේ…අද අම්මට ගොඩක් සතුටු දවසක්… ඔයා නිසා ඔයාගේ අම්මා ගොඩක් සතුටු උනා… ඔයා මාව මුන ගැහෙන්න එන දවස එනකන් මම කොච්චර ආශාවෙන් බලාගෙන හිටියද … මගේ රත්තරන් පුතාට ගොඩක් ස්තුතියි….
කවදා හරි ඔයා මේක කියවනම් …. මට එකම එක උදව්වක් කරන්න…. ඔයාගේ බිරිදවත් සතියකට එක පාරක්වත් රාත්‍රී කෑමකට එක්කගෙන යන්න… ඔය දෙන්න ගැන හැමදේම කතා කරන්න… ඒ රාත්‍රීය ඔය දෙන්න වෙනුවෙන්ම ගත කරන්න..එයාට කියන්න ඔයා එයාට කොච්චර ආදරෙයිද කියලා….අද ඔයාගේ අම්ම සතුටු වුනා වගේම ඔයාගේ බිරිදත් ගොඩක් සතුටු වේවී…. ..ඒක ඔයාලගේ ආදරය අලුත් කරාවී…
අම්මා ”
මම අම්මගේ බිල්පොත මගේ පපුවට තුරුලු කරගෙන ඇඩුවා…
” අපි නොදකින කොයි තරම් සුන්දර දේවල් මේ ලෝකේ තියෙනවද..අපි කරන පුංචිම පුංචි දේකින් වුනත් හදවතක් කොයිතරම් සතුටු වෙනවද …. ” මට මගේ අම්මව කොයිතරම් නම් මග හැරෙන්නට ඇත්ද “…………….
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment