ඇයගේ වෛයිරය
දන්න දා සිට මගේ බිරිද ඇයගේ පියාට වෛර කළා ය .
” මගේ අම්මගේ මරණයට වග කියන්න ඕනේ ඔය මනුස්සයා… මගේ අම්මා ඉන්නකන් එයාට වද දුන්නා අන්තිමට අවුරුදු හතළිස් නවයෙදි දී අම්මා මැරුණා හාට් ඇටෑක් එකක් හැදිලා … ඇය නිතරම කියූ දෙයකි… ”
සැම මසකම මුල් අඟහරුවාදා දින අපි සොහොනට යාම පුරුද්දක් කොට සිටියෙමු .. ඒ මාසයේ මළවුන්ගේදාය… ඒ සැම දිනකම ඇයගේ මවගේ සොහොනටත් අපි ගියෙමු… සොහොනට යන අපි ඒ සොහොනේ ඇති වල්පැල ගලවා සොහොන් බිම පිරිසිදු කළෙමු. ඇයගේ පියාද සැම විටකම අප සමඟ ආහ. ඒ සැම විටකම ඔහුගේ බිරිඳගේ සොහොන දෙස බලා ඔහු හීල්ලූවේය, ඔහුගේ දැසින් කඳුළු කඩා වැටිණ . ඒ ඔහු කල දේ ගැන ඔහුට ඇති කළ කිරීමද නැතහොත් තම බිරිදගේ වියෝවේ වේදනාව දැයි මා නොදනිමි.
මේ සැම දිනකම මගේ බිරිද ඔහු දෙස බැලුවේ පිළිකුලිනි. ඔහුට වෛර කරනවාටත් වැඩිය සොහොනේදී ඔහු කරන මේ හීල්ලීම ඇයට නොරිස්සුවේය
” දවසක් තාත්තා අපේ ගෙදරට එද්දී එයාගේ හොර ගැණිව ගෙනාවා . ඒ අම්මා ගෙදර ඉදිද්දීම … එදා අම්මා හොඳටම හැඬුවා .. තාත්තා අර හොර ගැනිගෙ ඉස්සරහම අම්මත් එක්ක රණ්ඩු වෙලා අම්මව පඩිපෙලෙන් පහතට තල්ලු කලා. අම්මව මැරෙන්න ඒකත් එක හේතුවක් වුනා.. ” ඇය කියූ හැටි මට මතකය.
ඇයට වයස අවුරුදු විස්සේදී ඇයගේ මව නැති විය.ඇය නැතිවුනේ හෘදයාබාධයකින් වුණත් ඇය එයට තම පියාට දොස් පැවරිය . පියා මව සතුටින් තැබුවා නම් ඇය අදත් ජීවත්වෙන බව ඈ නිතර කීවාය.
කාලය ගෙවී ගියහ. විවාහයෙන් පසුව මමත් ඇයත් වෙනම නිවසකට පදිංචියට ආවෙමු.අපි ඇයගේ පවුලේ අයත් සමඟ වැඩි සම්බන්ධතාවයක් තබා ගැනීමට උත්සාහ නොකළත් ඇය නිතරම ඔවුන් ගැන සොයා බැලිය.විශේෂයෙන්ම ඇය ඇයගේ සොහොයුරාට බොහෝ සෙයින් ආදරය කළාය.
අරුත්ගේ ගේ වයස අවුරුදු 26කි.ඔහු විවාහ වී දැන් ඔහුට දරුවන් දෙදෙනෙකු ඇතත් ඔහුගේ මව මියගොස් ඇත්තේ ඔහු හිතාමත්ම කුඩා කාලයේදී බැවින් ඔහුව ලොකු මහත් කර ඇත්තේ මගේ බිරිදත් ඇයගේ අක්කත් විසිනි.මගේ බිරිඳට වඩා ඇයගේ අක්කා වසරක් වැඩිමහල්ය.
ඇයගේ අක්කත් ඇයත් ඔවුන්ගේ මුළු යෞවන කාලය ම තම සොහොයුරාව උස්මහත් කිරීමට කැප කළාය. මවගේ මරණයෙන් පසුව පියා තවත් බීමට ඇබ්බැයි වුයෙන් මුදල් ඉපයීමට වඩා ඔහු කළේ තියෙන දේත් විනාශ කිරීමයි. ඔහුගේ හොර ගැණුත් සමග ඔහු සතුටින් කාලය ගත කරද්දි මගේ බිරිදත් පවුලේ අවශේෂයනුත් අනේකවත් දුක් කරදර වින්දාය.
තමන්ගේ පවුලත් සහෝදරයත් වෙනුවෙන් ජීවිතය කැප කළ ඔවුන් දෙදෙනාගේම යෞවන කාලය නිවසටම ගෙවීගියෝය. ඇයගේ සොහොයුරිය කිසිම දිනෙක විවාහ නොවීය. මගේ බිරිද විවහ වුයේ ප්‍රමාද වීය. ඇය විවාහ වූයේ ඇයගේ සොහොයුරාගේ විවහයත් සිදුකල පසුය.
” මමත් අක්කාත් අපේ මුලු ජිවිත කාලයම ගත කලේ මල්ලිව උස්මහත් කරන්න ” අම්මා නැතිවුනාට පස්සේ අපේ ජීවිතයට හිටියේ
අපි තුන් දෙනා විතරයි. වෙන කවුරුවත් හිටියේ නැහැ. මට ආදරය කරන්න වත් විවාහ වෙන්නවත් උවමනාවක් තිබ්බෙ නැහැ ..ඔයාව හමු වෙනකන් මම හැමදාමත් හිතුවේ එහෙම…අනික මම දැක්කා විවාහයක් නිසා අම්මා විදපු දුක…මිනිස්සු කියනවා විවාහය හරිම සුන්දර දෙයක් කියලා ඒත් මගේ අම්මත් තාත්තත් අතර විවාහය තමයි මම ලෝකය දැකපු අසුන්දරම දෙය ”
අප මුණ ගැසුනු මුල්ම දවසේ ඇය මට කීවාය….ඇයගේ අතිතයත් ඇය ගත කල ජීවිතයත් තේරුම් ගැනීම්ට එය මට හොඳටම ප්‍රමාණවත් විය.. මම කිසිම දිනක ඇයගේ මව ගැනවත් ඇයගේ පියා ගැනවත් ඇයගෙන් අසා නැත…ඇය මට කියා තිබූ දේවල් ඇරෙන්න ඇයගේ අතීතය ගැන කිසිමදෙයක් දැන ගැනීම්ට මට අවශ්‍ය නොවීය.
අපි විවාහ වුණු පසුව දෙදෙනා ගේ ජීවිතය ගත් කළේ වෙනම නිවසක් තුලය. ඇයට සම්පූර්ණයෙන්ම තම පවුලේ ප්‍රශ්න වලින් ඇත් වී අපේ විවාහ ජීවිතය සාර්ථකව ගත කිරීමට වුවමනා වී තිබුණත් සියුම් හදවතක් ඇති කෙනෙකු වු ඇයට එය කිසිසේත්ම කළ නොහැක්කක් විය.
පවුලෙන් වෙන්ව ගත කළ ජීවිතයේ දී වුවත් ඇය නිතරම ඇයගේ පවුලේ අය ගැන සොයා බැලීය. ඇයගේ අක්කා වෙනම නිවසක පදිංචිව සිටි අතර ඇයගේ සොහොයුරා ද ඔහුගේ දරුවන් ද , පියා ද ජීවත් වූයේ එකම නිවසක් තුලය. මේ නිසාම ඇයගේ සොහොයුරා වු අරුත් සහා ඔහුගේ පියා අතර නිතරම ආරවුල් ඇතිවිය .
ශෝර් කිසිම දිනෙක බීම අත හැරියේ නැත. ඔහු විශ්‍රාම ගිහින් සිටියත් දැඩි කාය ශක්තියකින් යුත් කෙනෙකු වුයෙන් ඔහු ආරක්ෂක අංශය රැකියාවක යෙදින.
මත්පැන් වලට පසුව ශෝර් වඩාත්ම ප්‍රිය කල අනිත් දෙය වුයේ කෑමටය.දිනපතාම මස් මාංශ අනුභවයට ඔහු දැඩි සේ ලොල් විය. ඔහුගේ වැටුපෙන් භාගයක් ඔහු මත්පැන් වලට වැය කළ අතර ඉතිරි කොටස ඔහු සිය පුතාගේ අතට දුන්නේ ගෙදරදොර වියදමට ය. එහෙත් ඒ මුදල්වලින් ඔහුගේ පුතා කළ යුතු ප්‍රධානම දේ වූයේ ඔහු ගේ ලේලිය ලවා දිනපතා ඔහුට ඔහු කන්නට කෑමති ආහාර සකස් කර දීමයි.
මේසය මත කෑම අඩු වූ සැම දිනකම ඔහු සමග රණ්ඩු විය.. මේ කෝලාහලය දිනෙන් දින වසරක ගණනක් ගණනාවක්ම පැවතුණු අතර මේ නිසාම සමහර දිනවල අරුත්ගේ බිරිද දරුවන් සමඟ ඇයගේ නිවසටද ගියාය. මේ නිසාවෙන් අරුත්ට කාලයක් තනියම ජීවත් වීමට පවා සිදුවිය.එහෙත් ශෝරා මේ කිසිවක් ගැන තැකීමක් කලේ නැත. ඒ වෙනුවට පුරුදු පරිදිම ඔහු ඔහුගේ බේබදු ජීවිතයේම යෙදිණ.
එදින රාත්‍රිය මට තවමත් මතකය. මමත් මගේ බිරිඳ මුළුතැන්ගෙයි ආහාර ගනිමින් සිටියෙමු. එක් වරම මගේ බිරිඳගේ දුරකථනය නාද විය. එයට පිළිතුරු දුන් මගේ බිරිද කෑම කන එක පසෙක දමා ඇගේ නිවසට යන්නට ලැස්ති විය.
” කොහේද යන්නේ කෑම කාලා යන්න ” මම ඇයට කීවෙමි.
” බැහැ තාත්තා මල්ලිත් එක්ක රංඩු වෙනවලු , මම ඉක්මනටම යන්න ඕනේ ” ඇය කිවාය.
ඇය ගෙදරින් ගිය පසු මම ඇයගේ දුරකථනයට කීපවාරයක්ම ඇමතුමක් ගන්නට උත්සාහ කළත් ඒ සියල්ලම ව්‍යර්ථ විය .
හරියටම රෑ 11ට පමණ මට එක්වරම ඇගේ සොහොයුරාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
” ඉක්මනින් ගෙදර එන්න” ඔහු කිය.මම බියට පත්වුණෙමි. මගේ බිරිදට කුමක් හෝ කරදරයක් වී ඇත්දැයි මගේ හදවත තෙත් වී ගියේය . කාරය ගත් මම හැකි ඉක්මනින් ඇයගේ නිවසට ගියෙමි.
මගේ මුලු මනස අවුල් වී තිබිණි. ඇයට කුමක් හෝ කරදරයක් සිදුවී ඇතිනම් මා ජීවත් වී කුමටද ….
මා නිවස තුළට වදින විට මගේ බිරිද සාලයේ කොනක ඇති පුටුවක හිද අඩමින් සිටියාය … ඇයගේ සොහොයුරියත් අසල්වාසිනුත් එහි විය.ඔහු සියල්ලන්ගේම මුහුනු දැඩි වේදනාවකින් මිරිකී ගොස් ඇත.
මා දුටු විගසම ඇය මගේ උරහිස බදාගෙන වැළපෙන්නට විය.. ඇයත් ඇයගේ පවුලේ අයත් මා හට කියු පරිදි නම් ඇයගේ පියාව පඩිපෙලින් පහතට වැටි ඇත.ඔහුගේ මරනය සිදු වි ඇත්තේ එසේය…
” පව් අර ගැනු කෙනාට කල දේමයි මේ මනුස්සයාටත් සිද්ධ වුනේ … ” ඔහුගේ දේහය වටා රෑස් වු අසල්වාසින් මිමිනුවේය…
ඔහුගේ දේහය දවස් 2ක් නිවසේ තබාසිට 3 වෙනි දින කනත්තට ගෙන ගියේහ.එදින භූමිදාන කටයුතු සියල්ලම අවසන් කල පසුව යලිත් පෙරලා නිවසට පැමිනි මම ඇය වෙනුවෙන් රාත්‍රි ආහාරය පිලියෙල කලෙමි.
ඇය සිටින්නේ දැඩි වේදනාවකින් බැව් මම දනිමි . රාත්‍රී කෑම මේසය ලස්සනට පිළියෙල කළ මා ඇය කැමතිම සුප් එකක්ද සැදුවෙමි… එහිම රතු වයින් එකක්ද තැබු මම එයින් ඇයගේ මනස නිස්කලන්ක වෙනු ඇතැයි සිතුවෙමි.සියල්ල අවසන් වුනු පසු මම කාමරයට ගියේ ඇයව මේසයට ගෙන එන්නටය.
ඇය කාමරයේ ඇද මත හිදගෙන අඩමින් සිටියාය. ඇයගේ ලගින් හිදගත් ඇයව වැලදගත්තෙමි. මගේ තුරුලට වී ඇය බොහො වෙලාවක් ඇඩුවාය…
කුමක් හෝ දැඩි වේදනාවකින් ඇය පෙලෙන බව මා හට ප්‍රත්‍යක්ෂ විය.ඇයව මා හොදින් හදුරමි, තාත්තාගේ මරනයෙන් ඇයට මේ තරම් දැඩි වේදනාවක් ඇති විය නොහැකිය. සුසාන භූමියේදීත් ඇය අන් හැමෝටම වඩා සුදුමැලිව සිටියාය. ඇය කුමක් හෝ සිතෙහි තබා ගෙන පසුතැවිලි වෙන බව මට හැගින.
” අපි කෑම කන්න යමු ” මම කිවේමි…
ඇය මගේ දැතින් අල්වා ගත්තාය.. ” මට යමක් කියන්න තියෙනවා …. ඔයා මට සමාව දෙනවද ”
” මොකක්ද ”
” තාත්තව පඩි පෙලෙන් වැටුනේ නැහැ… ”
” එහෙනම් ”
” මම තල්ලු කලා… මම ඒක ඕන කමින් කලේ නැහැ… මම ඒක ඕන කමින් කලේ නැහැ ” ඇය වැලපෙන්නට පටන් ගත්තාය…
මා යලිත් වරක් ඇයව වැලද ගත්තෙමි…පෙරසේම ඒ වැලද ගැනීමෙද වෙනසක් නොවීය..
පසුවදන : කතාව අවසානයේ ඔබට සිතෙන්නේ කුමක්ද ? මෙය කියවන බොහෝ දෙනෙකු ඇයව වරදකාරිය කරනු ඇත.එහෙත් ඔබේ ජිවීතයේදි ඔබටත් ශෝරා කෙනෙකු මුන ගැසී ඇත්නම් ඔබ යලිත් වරක් ඒ ගැන සිතනු ඇත.
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment