චූ කතාව
සමහරක් ආදර කතා පටන් ගන්නේ වයස අවුරුදු 15දි 16දී වගේ..තවත් ඒවා ඊටත් පස්සේ…එහෙත් මගේ ආදරය පටන් ගත්තේ අවුරුදු 9දී..මමත් එයත් එකම වයස..අවුරුදු 9යි…
ඒක ආදරයද ආකර්ශනයද කියන්න මම දන්නේ නැහැ…කොහොම හරි මම එයාට ආදරය කලා..ඒ ආදරයත් පටන් ගත්තේ අපුරුම සිද්දියක් එක්ක…
මම කිව්වා වගේම එතකොට මගේ වයස අවුරුදු 9යි…මාගරීටා සබේ… මට එයාව මුනගැසුනේ මගේ මුල්ම පාසැලේදී ඒක මිශ්ර පාසලක්…කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් තිබ්බේ නැහැ..අපි හැමෝම හිටියේ එකට…
පුංචි කාලේ ඔයා වැඩියෙන්ම බය කාටද ? හොල්මන් අවතාර වලට ? තාත්තට ? ලොකු සර්ට … ඔබෙන් මම ඒ ප්රශ්නය අහද්දි ඔබට ඒ හැමදේම මතක් වෙයි…එහෙත් එක දෙයක් හැරෙන්න….
” කලිසමේ චූ යනවට ”
ගොඩක් අය මතක් කරන්න අකමැති දෙයක්….ඒ නිසාම පොඩි කාලේ වැඩියෙන්ම බය මොනවටද කියලා ඇහැව්වම ගොඩක් අයට ඒක මතක් වෙන්නේ නැහැ….
කලිසමේ චූ යන එක කොයිතරම් භයානක දෙයක්ද කියලා දන්නේ කලිසමේ චූ කරගත්තු අයම විතරයි….ඒක බයක් , ලැජ්ජාවක්….ඒ හැමදේටමත් වඩා ලොකු මානසික වදයක්…
මටත් දවසක ඒ දේ වුනා….පංතියේ ඉදිද්දිම මට ඉබේම චූ ගිහින් …මගේ කලිසම තෙත් වෙලා….මම දන්නේ නැහැ එහෙම වුනේ කොහොමද කියලා… මට තේරුනේවත් නැහැ…කලිසම ටිකෙන් ටික තෙත් වෙලා කකුල දිගේ චූ බේරෙනකොට තමයි මමත් දැනගත්තේ මට චූ යනවා කියලා…එහෙත් ඒ වෙද්දී හැමදේම වෙලා ඉවරයි….
එතකොට සේබේවයි මගේ චූ යන එකයි සම්බන්ද වෙන්නේ කොහොමද ? ඒක තමයි මේ කතාවෙන් කියන්න යන්නේ…
සේබේ ඒ වෙලාවේ හිදගෙන හිටියේ මගේ පුටුව ලගමයි…ඒකිට ලස්සන ලා කොල පාට ඇස් දෙකක් තිබුනා..ලා තබ පාට කොන්ඩයක් තිබුනා…පාසැලට ආපු මුල්ම දවසේ ඉදන් මම ඒ කෙල්ලට ආදරේ කලාද මන්දා…නැහැ…. සමහර වෙලාවට ආකර්ශනය වෙන්න ඇති…කොල පාට ඇස් දෙකට මම කොහොමත් ආසයි….තවමත්….
සෙබේට තිබුනු කෑමැත්ත නිසාම මම එයා ලගින්ම හිදගන්න ඇති…එහෙත් ඒ කෙල්ල ඉස්සරහාම කලිසමේ චූ යයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ….සේබේ කොයිවෙලාවෙත් හරිම විමසිල්ලෙන් ඉන්න කෙල්ලෙක්…පන්තියේ සිද්ධ වෙන හැමදේම ඒකිට හොදට මීටර්…පුංචි වෙනසක් දැක්කත් සිද්දිය හරියටම හොයාගන්නකන් විනාඩි දෙක තුනක්ම එක දිගට බලාගෙන ඉන්නවා….ඉතින් මගේ කලිසමේ චූ ගිය එක ඒ කෙල්ල නොදැක හිදිවිද …
මම ලැජ්ජාවෙන් ඇබරි ඇබරි හිටියා…මගේ පුටුවට පිටුපස්සෙන් තවත් ලමයි හිදගෙන ඉන්නවා..මම හිට ගත්තොත් හැමෝම ඒක දකිනවා…මට කරතියාගන්න දෙයක් තිබුනේ නැහැ.. චූ පොලව දිගේ ගලාගෙන පිටුපස්සට ගියොත් අනෙක් ලමයින් ඒක දකින්න පුලුම්වන්….කවුරු හරි දැක්කොත් විසුමක් වෙන්නේ නැහැ…හැමෝම විහිලු කරයි… කෙල්ලො ඉස්සරහා එහෙම විහිලු කලොත් මොනවා කරන්නද . මම කලිසම දිහා බැලුවා…කලිසම හොදටම තෙමිලා… අද නම් කොයෙත්ම ගැලවීමක් නැහැ…මගේ ඇස් දෙකෙන් කදුලු ආවා…
ටික වෙලාවකින් සේබේ නැගිටලා එලියට ගියා…එහෙත් එක්කම මම දැක්කා කොරිඩෝව දිගේ ටීච පන්තියට එනවා… මගෙ ඇස්දෙකෙන් කදුලු කඩා වැටුනා..මොකද මම දැනගෙන හිටියා ටීචට මාව අහුවෙන විත්තිය…. මම ඇඩුවේ බයට නෙමේ ලැජ්ජාවට…
එකපාරම සේබේ ලොකු වතුර කෝප්පයක් අරගෙන පන්තියට ආවා…. මම හිදගෙන හිටිය තැනම තාප්පේ උඩ පන්තියේ මල් පෝච්චි තිබුනා…සේබේ තමයි හැමදාමත් ඒකට වතුර දාන්න භාරව හිටියේ…මම හිතුවේ එයා මල් වලට වතුර දාන්න යනවා කියලා..එහෙත් නැහැ..වතුර කෝප්පය අරන් ඇවිත් ඒ කෙල්ල එක පාරටම ඒක මගේ ඩෙස්ක් එක උඩට හැලුවා…
මගේ මුලු ඇගේම වතුර…මගේ ඇදුම් සේරම තෙමිලා ගියා…මම තෘෂ්නිම්භූත වෙලා සේබේ දිහා බැලුවා..ඒයා මුකුත් කිව්වේ නැහැ …අර කොල පාට ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියා..
“මොනවද මේ ලමය මේ කරන්නේ” ටීච දුවගෙන ඇවිත් සේබේව පැත්තකට තල්ලු කලා..” බලන්න මේ ලමයගේ ඇගේ සේරම වතුර “ ටීච මාව පෙන්නල සේබේට බැන්නා…
” මම මල් වලට වතුර දාන්න ටීච ගියේ ” සේබේ හිමිහිට මිමිනුවා.
ටීච මාව තවත් ලමයි දෙන්නෙක් එක්ක බාත් රූම් එකට යැවුවා…. ටික වෙලාවකින් මට ඇදගන්න අලුත් කලිසමකුයි සර්ට් එකකුයි ලැබුනා… තව මොනවද …මට ඉතින් මාරම සතුටුයි.
ටීච ලමයින්ට කියලම පොලව පිහදලා දාන්නත් ඇති…
එදා සේබේ මාව බේරුවා…මම ඒක හොදටම දන්නවා….එයා ඒක හිතාමතාමයි කලේ…එහෙත් පව් ඒ කෙල්ල..ටීචගෙන් හොදටම බැනුම් ඇහැව්වා…
එදා ඉදන් මම සේබේට ගොඩක් ආදරේ කලා..සේබේ ගොඩක් නිහඩ කෙල්ලෙක්..එහෙත් හැම අවස්තාවකම කරන්න ඕනේ දේ එයා හොදටම දැනගෙන හිටියා…මොන දේ වුනත් එයා එයාට ඕන දේ කලා.ඒකී හරිම නිර්භීත කෙල්ලක්..
එහෙත් මට සෙබේව ලබාගන්න පුලුවන් වුනේ නැහැ… අපි උසස් පාසැලේදි වෙන්වුනා…
කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ සේබේ දේශපාලනයට එකතු වුනා..අද එයා දේශපාලනයේ හොද තැනක ඉන්නවා….එහෙත් මම ….
මම වෙන කෙනෙක් එක්ක විවහා වුනා..
පලමු ආදරය අමතක කරන්න බැහැ කියනවනේ…. මටත් එහෙමයි..අදටත් මට සේබේව මතක් වෙනවා… මේ තමයි මගේ ” චූ කතාව ” 😉
————————–
පසුවදන – මගේ ” ලස්සන කෙටිකතා 50ක් ” පොතේ පලවූ කෙටිකතාවක් – සබේ කියන්නේ මම ඇත්තටම ආදරය කරපු කෙල්ලෙක් එයා නිවාඩුවට මෙහෙට ආවම මුලින්ම ඒ නිව්ස් එක ගේන්නේ වයිෆ්
” අන්න සබේ ඇවිත් ”
“ම්ම්ම් ”
“යන්න ගිහින් මුන ගැහෙන්න ”
” බැහැ, සබේ දැන් යන්න ගිහින් ”
– මුතුමුදලිගේ නිශ්ශංක
Comments
Post a Comment