ඉත්තා
බස් රථයෙන් ඉක්මනින් බිමට පැනගත් මම කලබලයෙන් කඩයක් ඇතුලට දුවගෙන ගියේ බෑගයෙන් හිස මුවාකරගෙනය. මාත් සමඟම බසයෙන් බැස් ගත් අනිත් අයත් හිස් ලූලූ අත දුවනවා මම දුටුවෙමි.
ඒ අනූව දශකයේ වසරක නොවැම්බර් මාසයේ දවසක් නිසා සවස හයටත් කලින් ඉර බැස යයි.
තැනින් තැන තිබූ පහන් කණුවල විදුලි බුබුළු දැල්වී තිබුණද ඒවයින් නිකුත් වෙමින් තිබ්බේ දුබල ආලෝකයකි.
” අක්කේ බොරළුවැවේ බස් එක ගියාද ? ”
කඩේ අයිතිකාරියගෙන් මම එය විමසුවෙමි. නමුත් බස් නැවතුම් පලේ බොරළුවැවට යන බස් එක නතර කරන තැන තිබුණේ හිස්වය. ඒ නිසා ඇයගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බව මට විශ්වාසය.
” බස් එක ගිහිල්ලා ගොඩක් වෙලා මල්ලී. දැන් රෑ හතත් පහුවෙලානේ. ”
මම සිතූ විදිහටම ඇයගේ මුව්න් නිකුත් වුනේ සුබ වාදි පිළිතුරක් නොවුනද ඒ වෙද්දී රෑ හතත් පහුවී ඇති කියා මට නිකමටවත් සිතුණේ නැත.
” එහෙනම් ඉතින් හැතැම්ම පහක් විතර පයින් යන්න තමා වෙන්නේ. ”
කඩය වසන්න ඔන්න මෙන්න උන්න ඇයට කියූ මම කඩවුණ බලාපොරොත්තුවෙන් එතනින් ආවෙමි.
” මල්ලි මේ වැහි වෙලාවේ තනියම බොරළුවැවට යන පාරෙනම් යන්න එපා. ”
” නෑ අක්කේ මම ඒ පාරෙන් නෙමේ යනවනම් යන්නේ පොලිසිය ලග පාරින් පයින් ගියාම අපේ ගෙදරට යන්න ලගයි. ”
මම කීවෙමි. කන් බිහිරි කරවන තරමේ අකුණක් ලග පාතින්ම ගැසුවේ ඒත් එක්කමය. ඒ වෙද්දීත් වැස්ස මදක් තුරල් වී තිබුණි.
මම ඉක්මනින් පොලිසිය ලගින් ඇතුලට තියෙන පාර දිහාට ඉක්මනින් ඉක්මනින් ඇවිදගෙන ගියෙමි.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
සීදූව පෙදෙසේ ඇගලුම් කම්හලට වැඩ කරපු මම මේ ගමට යන්නේ මාස තුනකටත් පසුය. නංගී විසින් මසකට සැරයක් විතර එවන ලියුමකින් ඇර මම ගමේ වෙන දේවල් කිසිවක් නොදනී.
අද ගමට යද්දී රෑවෙයි කියා අනුමාන කල මම විදුලි පන්දමක්ද බෑගයේ දමාගෙන ආවේ දුර දිග සිතා බලාය. එය කොච්චර නුවණැති ක්‍රියාවක්ද කියා සිතෙන්නේ මේ මොහොතේය.
විදුලි පන්දමේ ආලෝකයත් සමඟ මම ඒ වෙද්දී ගමන් කරමින් උන්නේ පාර මැදින් ගලාබසින කොලමුනු ඔය සමීපයෙනි. මේ දිනවල ඇද හැලුණු වැස්සත් එක්ක ඔයේ වතුර බොර පාටින් පාළමෙත් නොගෑවී ගලාබසිනවා මම දුටුවෙමි.
මම ඉක්මන් ගමනින් පාලම පසු කර ආවේ හෘද ස්පන්දනයත් වැඩි වෙද්දීමය. ඒකට හේතුව උනේ කොළමුනු ඔය සම්බංද කර ගමේ කීපදෙනෙක්ක් හොල්මන් අවතාර සම්බංද කතා කියා තිබීමයි.
” කොළමුණු ඔයේ පාලම ලගින් රෑට යද්දී බෙල්ල නැති ගෑනියෙක්ගේ අවතාරයකට මිනිස්සු අහුවෙලා බය වෙනවලු ”
එහෙම කතා කියනවා මට ඇසී තිබුණි. නමුත් මේ රෑ නම් මට එහෙම අවතාරයක චායාවක්වත් පෙනුණේ නැත.
“මනුෂ්‍ය ගනේ අයට තමා හොල්මන් පේන්නේ. රාක්ෂ ගනේ අයට හොල්මන් පේන්නෙ නෑ. පෙනුනත් කරදර කරන්න එන්නෙත් නෑ. ”
ඒ දේ මතක් වීමත් එක්ක මගේ බිය පොඩ්ඩක් අඩු විය. ඊට හේතුව උනේ සියාවස කියන නැකතේ උපන් මට හිමිවුන ගනය උනේ රාක්ෂ ගනේ වීමයි.
පාලු රාත්‍රියක තනියම මේ විදිහට ගමනක් යද්දී මේ වගේ සිතිවිලි ඔලුවට එන එක අරුමයක් නොවේ. ඊටත් වැසි සහිත කාලගුණයක් නිසාම එය තවත් වැඩියෙන් සිතේ.
එතැන් සිටත් මම හැතැම්ම තුනක් පමණ දුරක් පයින් ගමන් කලෙමි. අමුනුෂ්‍යයෙක් තියා මනුස්සයෙක්වත් මට හමු වුණේ නැත. වැසි සහිත කාලගුණය නිසාම කිසිවෙක් එලියට බසින්නේ නැතුව ගෙවල් වලට වෙලා නිදාගෙන ඇතැයි මම අනුමාන කළෙමි.
එතැන් සිට මට පාරේ ඇවිදගෙන යන්න උනේ තවත් අඩි කීපයක දුරක් පමණි. මම ගමන් කරමින් උන්නේ තුම්මං හංදියක් අසලින් ය.
මම ඒ හරිය පහු කරද්දීම වගේ මට පිටුපසින් කවුරුන් හරි එන බව අගවමින් අඩි හඬක් ඇසුණි.
තරමක් කලබල වී විදිලි පන්දම් ආලෝකය පිටුපස්ස පැත්තට යොමු කරද්දී කාගේද මංදා චායාවක් මගේ පැත්තට එන අයුරු මම දුටුවෙමි.
ඕනෑකමින් බලද්දී මට ඒ රුව අදුරගන්න අමාරු උනේ නැත.
” නිමල් සිරි අයියා… ”
මට කියවින.
ඔහු මම ලගට විත් ඕනෑකමින් මම දිහා බලන්න පටන් ගත්තේ මාව කවුද කියා අදුරගන්න වෙන්න ඇති.
” විශාල් මල්ලී… ”
ඔහු පැවසුවේ මා දෙස මොහොතක් බලා අවසානේය. මට ඔහු මේ විදිහට හමුවීම අමුත්තක් දැනුනේ නැත්තේ ඔහු ගමේ පුද්ගලයෙක් නිසාවෙනි. ඔහු මේ මහ රෑ හමුවීමත් අරුමයක් නොවේ. ඔහු දෙස ඕනෑකමින් බැලූ මට තේරුණේ ඔහු ඉන්නේ බීමතින් මත් වී බවයි.
” උන් මාව අල්ලල හිර කරන්න හදන්නේ මල්ලී. ”
ආයෙම නිමල් සිරි අයියා කතා කලේ දුක්මුසු හඬකිනි..
” කවුද අයියාව අල්ලගන්න හදන්නේ. ”
මම පිටුපස දෙස ඕනෑකමින් බැලුවේ නිමල් සිරි අයියා පසු පසින් කවුරුන් හරි පන්නගෙන එනවාදෝ සැකයෙනි..නමුත් එහෙම කිසිවෙක් පෙන්න උන්නේ නැත..
” යමුකෝ මල්ලී මම යන ගමන් කියන්නම්. මෙතන හිටියොත් තවත් රෑවෙනවනේ… ”
නිමල් සිරි අයියා කතා කළේය. මට ඔහුගේ කතාව දැනගැනීමට ඒ වෙද්දී කුතුහලයක් දැනී තිබුණි.
” ඉතින් කියන්නකො අයියේ කවුද ඔයාව අල්ලගෙන හිර කරන්න හදන්නේ ”
අඩි කීපයක් ඉදිරියට ගමන් කර මම ඇසුවෙමි.
” මගේ වැරද්දක් නෑ මල්ලී.. වෙන කෙනෙක්ගේ වරදකට අසරණ මායි අහුවෙන්න යන්නේ…. ”
” අනේ මංදා අයියේ ,මට අයියා කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ..”
ඔහු බීමතින් නිසා විකාර දොඩවනවාදෝයි වරෙක මට සිතුණි.
” මම මල්ලී මීට මාස දෙකකට කලියෙන් කසාද බැන්දා. ඒකි ඒකි මහ වනචර බැල්ලියක්. පස්සෙ තමා මට ඔක්කොම ආරංචි වුණේ. ගුණපාල තමා ඔය වනචර බැල්ලි මට සෙට් කලේ… ”
නිමල් සිරි අයියා කතා කරන්නේ සෑහෙන්න කෝපයෙනි.
” ඒකි මම ගහලා පැන්නුවා. ඇවිල්ලා මාසයක් ගියේ නෑ , ඒකි ගමේ ශාන්තය එක්ක නටන්න පටන් ගත්තා ,මගේ අතටම අහුවුණා. මම ඊට පස්සේ ඒකිට හොදට තලල තලල ගමෙනුත් පැන්නුවා. ”
” අයියාට මාර ගෑනියෙක්නේ හම්බවෙලා තියෙන්නේ ”
මම කතා කළේ ඔහු ගැන ඇත්තටම අනුකම්පාවක් සිතිමෙනි.
” මොනා කරන්නද මල්ලී. මගේ කරුමේ තමා… මට ගැණු සෙට් වුනෙත් නෑ. හම්බවුන ගෑනිත් වනචර එකියක්. ”
” ඉතින් ඊට පස්සේ මොකක්ද වුනේ අයියේ. ”
” මට එපා උනා මල්ලී මේ ජීවිතෙත් එක්ක. මම බිව්වා. ගිය කන්නෙ කුඹුරෙන් ගත්ත වී විකුණ විකුණ බිව්වා. ”
මම දැනන් උන්න විදිහට නිමල් සිරි අයියා කම්මැලි පුද්ගලයෙක් නොවේ. ඔහු හොදට වෙහෙස මහන්සි වී වැඩ කල පුද්ගලයෙකි. ගමේ අය ඔහුව හැදින්වුවේ නිමල් සිරි ගලක් උඩට ඇටයක් විසි කලත් ඒ ඇටය පැලවෙන අතේ වාසිය තිබූ පුද්ගලයෙක් විදිහටය.
නමුත් නිමල් සිරි අයියා කුඩා කලේ පටන්ම මත් පැන් බොන්න පුරුදු වී සිටියේ ඉතා අවාසනාවන්ත විදිහටය.
” නිමල් සිරි අයියාට හොද කෙනෙක් ලැබෙයි. ඕනෑම මිනිහෙක්ට නරක කාලයක් එනවනේ… ”
” මොන හොද කාලයක්ද මල්ලී. මට එදායින් පස්සේ ජීවිතෙත් එක්ක එපාවුනා මල්ලී. ගමේ උනුත් මම දිහා බලාගෙන එක එක දේවල් කියලා හිනාවෙන්න පටන් ගත්තා. කොහොමදරාගන්න මල්ලී. මම අද තීරණයක් ගත්තා… ”
” මොකක්ද අයියේ තීරණය. ”
අපි ඒ වෙද්දී සෑහෙන්න දුරක් ඇවිදගෙන විත් තිබුණි. ඒ වෙද්දී වැස්ස තිබ්බේ සම්පූර්ණයෙන් ම නැවතිලාය. අපේ ගම තිබ්බ පැත්තෙන් යක් බෙරයක් ගහන හඬ මට ඒත් සමග ඇසුණි.
” මම මැරෙන්න තීරණය කලා මල්ලි. ”
යක් බෙරයේ හඬට අහුන් කන් දෙමින් උන්න මට ,නිමල් සිරි අයියාගේ කතාව ඇසීමත් එක්ක තරමක් කලබල විය.
” පිස්සුද අයියේ මැරෙන්න හදන්නේ. කාලයත් එක්ක ඔය ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා යයි.ඔන්න බලන්න්කො නිමල් සිරි අයියට හොදම හොද කෙනෙක් කසාද බදින්න හම්බවෙයි. ”
” වැඩක් නෑ මල්ලි ඔය කතාවලින් දැන්. අද හවස ගමේ වැවට ගිහිල්ලා බෙල්ල වැල දාගෙන මම මැරුණා. ”
නිමල් සිරි අයියාගේ ඒ කතාව ඇසීමත් එක්ක මම එකවරම නැවතින. මට දැනුනේ භීතියකි. වෙරි මතින් ඔහු විකාර කතා කියනව ඇතියි මට සිතුණි.
” මොනවද අයියේ මේ කියන විකාර කතා. අයියා මැරිලානම් කොහොමද මාත් එක්ක මෙහෙම ඉන්නේ. ”
” මල්ලි බය වෙන්න එපා මල්ලී. මම මල්ලිට කිසිම නරකක් කරන්නේ නෑ. මට උදව් කරන්න මල්ලී. මම අද හවස මැරුනා. ගමේ කිසිම කෙනෙක් මම මැරුණ විත්තිය තාම දන්නේ නෑ. ඒත් මල්ලී මගේ ආත්මය හිරවෙන්න යනවා. මාව එහෙම හිරවුණොත් මාව නිදහස් කරනවා නේද මල්ලි. ”
” අනේ මංදා අයියේ , අයියට පිස්සු හැදීගෙන එනවද මංදා.. ”
මට නම් සිතුණේම ඔහු වෙරි මතින් විකාර දොඩවනවා කියලමයි.
” පිස්සු නෑ මල්ලී , ඔය ඇහෙනවා නේද බෙරයක් ගහන හඬ. ”
” ඔව් ඇහෙනවා තමා…”
මම පැවසුවේ ඒ බෙර හඬටත් ඇහුන් කම් දෙමිනි.
” ඔය තිලකේ මාමලගේ ගෙදරින් ඇහෙන්නෙ. තිලකේ මාමගේ නැන්දම්මා මැගී කිරි අම්මා මල යකින්නක් වෙලා එයාලට කරදර කරනවා කියලා ඔය තෝත්තරේ කරන්නෙ. මැගී කිරි අම්මගේ ආත්මේ බෝතලයක හිර කරලා වලදාන්න හදන්නේ. ඒත් විශාල් මල්ලි දන්නවද. ඒ බෝතලේ හිරවෙන්න වෙන්නෙ මගේ ආත්මේ. මැගි කිරි අම්මගේ ආත්මේ නෙමේ. ”
” මොනවද නිමල් සිරි අයියේ මේ කියන බහුබූත කතා… ”
වෙරි මතින් කියන ඔහුගේ කතා මම විශ්වාස කරන්න ගියේම නැත.
” බහුබූත කතා නෙමේ මල්ලී. ඇත්ත. මැගී කිරි අම්මා මළ යකින්නක් වෙලා තිලකේ මාමලාගේ පවුලේ අයට නිතරම කරදර කරලා. ඒ කරදරෙන් බේරෙන්න තමා අද මේ තෝත්තරේ කරලා මැගී කිරි අම්මගේ ආත්මේ හිර කරන්න හදන්නේ. ඒත් මැගී කිරි අම්මගේ ආත්මේ සෑහෙන්න බලවත්. ඒ වගේම සෑහෙන්න කපටී
මම අද මැරුණා කියලා මැගී කිරි අම්මගේ ආත්මේ දන්නව. මම මීට පොඩ්ඩ වෙලාවකට කලින් මැරුණ හින්දා මගේ ආත්මේ සෑහෙන්න දුර්වලයි තාම එයා දැන් හදන්නේ මාව ඒ කුප්පියට ඇතුලට අහු කරලා බේරෙන්න. අනේ මල්ලී ඒ කුප්පිය වල දැම්මට පස්සේ ඒක ගොඩ අරන් මාව නිදහස් කරන්න.
ඕක තමා මල්ලි මගේ කතාව. මාව බේරගන්න මල්ලි. මගේ මිනිය ගමේ අය දකින්නත් කලින් මගේ ආත්මේ හිරවෙනවා අර කුප්පියක් ඇතුලේ. ඇයි මම මෙච්චරම අවාසනාවන්ත අයියෝ… ”
නිමල් සිරි අයියා වැලපෙමින් වගේ කියද්දීම මට ඇසුනේ බයිසිකලයක් මේ පැත්තට එන හඬය.
බයිසිකල් කරුවා මම ලගට විත් බයිසිකලය නැවත්තුවේය.
” විශාල් මල්ලි මොකෝ මේ තනියම , මම බයත් උනා එක්ක. ”
කටහඬට අනුව ඒ ලලිත් අයියා කියා අදුරගන්න මට අමාරු උනේ නැත.
” තනියම නෙමේ නිමල් සිරි අයියාත් ඉන්නේ. ”
මම නිමල් සිරි අයියා හිටිය දිහාට නෙත් හරවද්දී නිමල් සිරි අයියා අතුරුදන් වී සිටියේය.
” කෝ නිමල් සිරි අයියෙක්. මොකෙක්වත් පේන්න නැනෙ. ”
ලලිත් අයියා කිව්වේ මම තුෂ්නිම්භූතවය බලාගෙන සිටිද්දීය.
” දැන් මෙතන උන්නනෙ ,හොදටම වෙරි වෙලා මට මහ අමුතු කතාවකුත් කිය කියා ඇවිදගෙන ආවේ… ”
” පව් ඌ ,ඌගේ ගෑනිත් එලෙව්වනේ..පිස්ස වගෙ බිබී මේ දවස්වල උන්නේ. ”
” ඒත් මේ පොඩ්ඩ වෙලාවකට කොහෙ අතුරුදන් වුනාද. ”
” ඌ එයි බං , රෑට බිබී ඇවිදින එක උගේ පුරුද්දක්. නැගපං බයිසිකලේට ,මම යන්නෙත් උබලගේ ගෙවල් පැත්තට ,තිලකේ මාමලාගේ ගෙදර අද තෝත්තරයක් ඒක බලන්ඩ. ”
” නිමල් සිරි අයියත් ඔය කතාව කිව්වා මාත් එක්ක. ”
සෑහෙන්න දුරක් ඇවිදගෙන ආපු නිසාම් මගේ කකුල් දෙකටත් අමාරුය. මම ඉක්මනින් ලලිත් අයියාගේ බයිසිකලේ පොල්ල උඩින් වාඩි උනෙමි.
” නිමල් සිරි අයියා එකපාරටම අතුරුදන් වුනේ කොහොමද ”
බයිසිකලේ නැගී එද්දිත් මම ඒ ගැන සිතුවෙමි.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
තිලකේ මාමලාගෙ ගෙවල් තිබ්බේ අපේ ගෙදර සිට ගෙවල් තුනකට එහාය.
මම අපේ ගෙදර යද්දී නංගියි , තාත්තයි දෙන්නම හිටියේ තිලකේ මාමලාගේ ගෙදරට ගොසිනි.
නිමල් සිරි අයියාගේ අරුම පුදුම කතාව ඇසීමත් එක්ක , මටත් තිලකේ මාමලාගේ ගෙදරට ගොස් එහි වෙන දේවල් බලන්න තදබල ආසාවක් ඒ වෙද්දී ඇති වී තිබුණි..
ගෙදරට ගොස් ඇඳුම් මාරු කරගත් මම අම්මත් එක්ක පොඩ්ඩ වෙලාවක් කතා කර සිට තිලකේ මාමලාගේ ගෙවල් පැත්තට ගමන් කරන්න පටන් ගත්තෙමි.
තිලකේ මාමලාගේ ගෙදර තෝත්තරය කිරීම සදහා ඇවිත් තිබුණේ පුංචි ගුරේ කියන ගුරුන්නාන්සේය. පුංචි ගුරේ ලෙස හැදින්වුවද ඔහුගේ වයස අවුරුදු පනහටත් වැඩිය.
මම යද්දී ඔහු ආරූඪ වී මායම් වෙන එක මදකට නතර කර තිබුණි. සෑහෙන්න පිරිසක් තිලකේ මාමලාගේ ගෙදරට ඇවිත් සිටියේ තෝත්තරය බැලීම සදහාය.
නිවස ඉදිරියේ පහන් දල්වා ආලෝක කල ගොක්කොල වලින් සෑදූ මල් පැල තුනකි. ඊට කිට්ටුව පෙරේත තටුවකි. දල්වා තිබූ විලක්කුවල ආලෝකයට එය මනා ලෙස මට පෙනේ.
පුටුවක වී පුංචි ගුරුන්නාන්සේ ඔහු වට කරන් උන් පිරිසත් තමග කතා කරමින් සිටියේය.
” මාර කට්ට මළ යක්සනියක්. දේපල වලට තන්හාවේ ගිහිල්ලා නෑ.මේ ගෙදර එක්ක මාර වෛරයකින් ඉන්නේ. තව ටික දවසක් උන්නනම් මේ ගෙදර ඔක්කොම මරලා දානවා.. ”
පුංචි ගුරුන්නාන්සේ එසේ කියා ටකස් ගා පුවක් කැල්ලක් හැපුවේය.
” ගුරුන්නාන්සේ මේ මල යකින්න අල්ලගන්න පුළුවන් වෙයි නේද ”
තිලකේ මාමා ඇසීය. මළ යකින්න වී සිටින්නේ තමාගේ මිය ගිය බිරිදගේ අම්මා කියා ඔහුට ගානක් නැති ගානයි.
” ආයෙත් අහනවා. ඊලග පාරින් මම අල්ලල හිරකරලා දෙන්නම්. හැබයි ඉතින් මාරම කට්ට මළ යකින්නක්. මේ හිරෙන් බේරෙන්න ක්‍රමයක් මේ වෙද්දිත් හොයනවා ඇතී. හැබයි පුතෝ කුප්පියට දාලා හිර කරලා ,මොකක් හරි හේතුවක් වෙලා නිදහස් වෙලා ආවොත් මුලු පවුලම එකම දවසේ මර දායි… ”
” හපොයි එහෙම වෙයිද ”
” ඒව මට කියන්න බෑ. මම හිර කරලා දෙන්නම් ”
ගුරුන්නාන්සේ එසේ කියා නැගිට්ටේය.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
යක් බෙරයේ හඬත් , මල් යහන් කවි වල හඬත් ඇසෙද්දී පුංචි ගුරේ මායම් වෙන්න පටන් ගත්තේය. පෙරේත තටුවේ අත තියාගෙන උන්න තිලකේ මාමගේ දියණිය තුෂාරිගේ මූණ වෙනස් වෙන්න පටන් ගත්තාය.
” මළ යකින්න මේ පාරත් යන්නේ තුෂාරිගේ ඇගට , තුෂාරිගේ ඇග දුර්වලයිනේ..”
එතන සිටි කෙනෙක් කියනවා මට ඇසිණ.
සෑහෙන්න වෙලාවක් මායම් වෙමින් උන්න පුංචි ගුරේ තුෂාරි ලගම තිබ්බ පැදුරක් අසල වැතිරුණේය. ඔහුගේ කකුළේ ගැට ගසා තිබූ කුකුළෙක් දගලමින් උන්නේය.
පුංචි ගුරේගේ ආවතේවකාරයෙක් තුෂාරි හා පුංචි ගුරේ වැසෙන්න රෙද්දක් දාද්දී පුංචි ගුරේගේ අතක ඇගිලි තුෂාරිගේ හිස කෙස් අතර දුවනවා මම බලාගෙනය.
තවත් මොහොතකින් ආවතේවකාරයෙක් කුප්පියක් අරන් පුංචි ගුරේ අසලට ලංවෙද්දී ඔහු ආත්මය අල්ලා ඒ කුප්පිය ඇතුලට දැමීය.
” ඔන්න ඒ වැඩෙත් ඉවරයි. දැන් මේ කුප්පිය වැවට අරන් ගිහිල්ලා වල දාන්ඩ. වෑකන්ද පැත්තට වෙන්ඩ වලදාන්ඩ ,එතකොට වැව කපද්දි මේක තවත් යට යනවා. ”
පුංචි ගුරේ මොහොතකින් කීවේය.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
කුප්පිය වලදාන්න යන්න තිලකේ මාමගේ පුතා සුගත් අඩගැසුවේ මටය. සුගත් යනු මගේ හොදම මිතුරෙකි.
අපි දෙන්නා ඒ කුප්පිය සැමන් ටින් එකකටත් දමා වැවේ වෑකන්න්ද කිට්ටුව වලක් කපා වල දැමීය.
” කවුරුත් අපි කරන දේ දැක්කේ නෑනේද ? ”
සුගත් කිව්වේ වටපිට බලා අවසානේය.
“කවුරු දකින්නද. මේ මහ රෑ… ”
” හ්ම්ම්. එහෙනම් ඉක්මනින් යමු ,ඒ කරදරෙත් අදින් ඉවරයි. උබ දන්නේ නෑ අපේ ගෙදර අය මෙච්චර කල් ව්න්ද වදේ. ”
සුගත් ආපසු එද්දී මට පැවසුවේය.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
” නිමල් සිරි වැවේ බෙල්ලේ වැල දාගෙන මැරිලලු”
පසුදා උදේ නමයට විතර අම්මා තාත්තා සමග කියූ ඒ දේ ඇසෙද්දීන් කලබල උනේ මාය.. ඊට හේතුව ඊයේ රෑ නිමල් සිරි අයියා කියූ කතාව සිහිවීමෙනි.
” කවද්දා අම්මේ මැරිලා තියෙන්නෙ ”
” ඊයේ හවසලු ”
” මොකක් ”
මට ඒ දේ විශ්වාස කරන්නත් අමාරුය. එතකොට ඊයේ රෑ මට හම්බවෙලා තියෙන්නෙ නිමල් සිරි අයියාගේ අවතාරයද ?
” පව් කොල්ලා ගෑනි ගත්තට පස්සේ තමා විනාශ වුනේ. ”
අම්මා දුක්මුසු හඬින් පැවසීය.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
එය ඇත්තය.නිමල් සිරි අයියා ගමේ වැව් කැලේ තැනක ගසක ගෙල වැලදා මිය ගොස් සිටියේය. ඔහු මිය ගොස් සිටියේ ඊයේ සවස බව එතනිනුත් මට දැනගන්න ලැබුණි.
” එතකොට එතකොට , ඊයේ රෑ මට හම්බවෙලා තියෙන්නෙ නිමල් සිරි අයියාගේ අවතාරේ. එතකොට අර කිව්ව කතාවක් ඇත්ත වෙන්න ඕන. අර ඊයේ අල්ලපු කුප්පියේත් එතකොට හිරවෙලා ඉන්නේ මැගී කිරි අම්මාගේ ආත්මය නෙමේ. නිමල් සිරි අයියාගේ ආත්මයද ,දෙයියනේ මට මේක විශ්වාස කරනත් බෑ… ”
ගෙල වැල දාගෙන මිය ගොස් සිටි නිමල් සිරි අයියාගේ නිසල සිරුර දෙස බලාගෙන මම සිතුවෙමි.
එදායින් දිනයකට පසුව නිමල් සිරි අයියාගේ මළ සිරුර ගමේ පොදු සුසාන භූමියේ වල දැමීය.
එදා රෑ මට හමු වුනේ නිමල් සිරි අයියාගේ අවතාරය කියා දැන් මට හොදටම විශ්වාසය. හැම තිස්සේම මට මතක් උනේ ඔහු අවසානෙන් මට කී කතාවමය.
නිමල් සිරි අයියාගේ ආත්මය කී විදිහට එදා තිලකේ මාමලාගේ ගෙදරදී අල්ලගෙන කුප්පියක සිර කළේ නිමල් සිරි අයියාගේ ආත්මය විය යුතුයි. මැගී කිරි අම්මාගේ භූත ආත්මය නොවේ. හොදට කල්පනා කර බලද්දී නිමල් සිරි අයියාගේ ආත්මය කියූ කතාවල සිදුවීම් දං වැලක පුරුක් මෙන් එකිනෙකට සම්බංද බව මට වැටහින.
මට නිමල් සිරි අයියාගේ ආත්මය ගැන ඇති වුනේ කියාගන්න බැරි තරමේ දුකකි.මැගී කිරි අම්මාගේ ආත්මය වෙනුවට අසු වී ඇත්තේ නිමල් සිරි අයියාගේ අසරණ ආත්මයයි.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
සෑහෙන්න කල්පනා කල මම අවසානයේ තීරණයක් ගතිමි. එදින සවස කලුවර වැටෙන්න ඔන්න මෙන්න වෙලාවක මම කාටත් හොර රහසේ වැවට ගියෙමි. එදින කුප්පිය වල දැමූ වැව තිබ්බේ අපේ වත්තට සෑහෙන්න කිට්ටුවෙන් නිසා මේ වැඩේ කරන එකත් පහසුය. දෛවයේ සරදමකට මෙන් එදා රෑ කුප්පිය වල දාන්න සුදත් සමග ගියේ මමය. ඒ නිසා ඒ කුප්පිය වල දැම්මේ කොතනද කියා මම හොදටම දනී.
කුප්පිය වල දමා තිබ්බේ සැමන් ටික් එකක් ඇතුලට දමා ඒ සැමන් ටින් එක වටාත් ක්‍රොන්ක්‍රීට් තට්ටුවක් අලවාය.
මම එය ගොඩ අරන් අමාරුවෙන් කුප්පිය එලියට ගෙන කවුරුත් නිතර යන්නේ නැති ඉසව්වකට ගොස් කුප්පිය බිද දැමීය. ඒ වෙද්දී කාලගුණය තිබ්බේ යහපත් තත්වය නොවේ. විදිලි කොටමින් ,අකුණු ගසමින් ගොරවමින් තිබ්බේ ඉක්මනින් විශාල වැස්සක් ඇද හැලෙන බවට පෙරනිමිති පල කරමින් ය.
වැවේ තිබ්බ දිරාගිය ගසක අත්තක් ‘ ජරබාරාස් ‘ හඬින් කඩා වැටෙද්දී මම ඉක්මනින් ගේ දෙසට දුවගෙන වගේ ගියෙමි.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
පසුවදා හිමිදිරි පාන්දරම මම යලිත් ගමෙන් පිටවෙලා ගියේ නිවාඩුව ඉවර වී තීබීම නිසාවෙනි. යලිත් මට ගමට එන්න වෙන්නේ මාස කීපයකින් ය.
කාලය මසකින් පමණ ගෙවී ගියේය. එක් දිනක් හවසක මම වැඩ ඇරී බෝඩිමට එද්දී බෝඩිමේ නැන්දා මා සොයා ආවේ අතේ ලියුමක් අතැතිවය.
” විශාල්ට ලියුමක් ”
එසේ කියූ ඇය ලියුම දී යන්න ගියාය. ලියුම් කවරයේ තිබ්බේ නංගීගේ අත් අකුරුය. පවුලේ වෙන දේවල් පමණක් නොව ගමේ සිදුවන දේවල් පවා ඇය ලියුම් කඩදාසියක මේ විදිහට ලියා එවයි.
බෝඩිම් නිවසේ මාත් එක්ක සිටින අනිත් මිතුරන් තාමත් ඇවිත් නැත. ලියුම් කවරය කැඩූ මම ලිපියේ ඇය ලියා තිබූ දේ කියවන්න පටන් ගත්තෙ ගොඩක් අසාවකින් ය.
” දයාබර අයියේ…
ඔයා හොදින් ඇතියි කියා මම සිතනවා. අපිත් කරදරයක් නැතුව ඉන්නවා. මම මේ විදිහට ලියුමක් ලියා එවන්නේ ගමේ වෙන දේවල් දැනගන්න අයියා ආසාවින් ඉන්න බව දන්න නිසාමයි.
ඉතින් අයියේ , ඉස්සරවෙලාම කියන්න තියෙන්නේනම් නරක අරංචියක්. ඔයාට මතකද ඔයා අවසාන වතාවට ගමේ එද්දී තිලකේ මාමලාගේ ගෙදර තෝත්තරයක් තිබ්බා. මැගී කිරි අම්මාගේ භූත ආත්මය අල්ලලා හිර කරන්නනේ ඒක කලේ. එදා භූතයා අල්ලලා හිර කරල වලලපු එක කවුද කෙනෙක් ගොඩට අරන් කුප්පිය බිදලා නිදහස් කරලා.
පුංචි ගුරේ ගුරුන්නාන්සේ මාමා කිව්වේ ආයේ හිර කරපු තැනින් නිදහස් වුනොත් තිලකේ මාමලාගේ ගෙදර අය මරලා දානවා කියපු එකනේ.
අයියා එදා ගමෙන් යන්න කලින් දවසේ රෑ තිලකේ මාමලාගේ ගෙදර ඔක්කොම අය එයාලගේ වත්ත පල්ලෙහා නහයින් කටින් ලේ දාගෙන මැරිලා උන්න. ඒ වැඩේ කරලා තියෙන්නේ අර කුප්පියෙන් නිදහස් වෙලා ආව මැගී කිරි අම්මාගේ භූත ආත්මේ.
පුංචි ගුරේ මෙහෙම උනේ ඇයි, කවුද මේ කුප්පිය බිදලා භූතයා එලියට ගත්තේ කියලා හොයාගෙන. ”
නංගී ලියා තිබූ ඒ දේ දැක මම කම්පනයට පත් උනෙමි. මේ වැඩේ කලේ මම කියා පුංචි ගුරේ හොයාගන්න ඇතියි සිතූ මම ලියුමේ ඉතිරි ටිකත් කියවන්න පටන් ගත්තේ හද ගැස්ම වැඩිවෙද්දීය.
” මැගී කිරි අම්මාගේ භූත අත්මේ එදා රෑ බේරෙන්න ක්‍රමයක් හොයාගෙන. අයියට මතකද එදා තෝත්තරේ තිබ්බ දවසේ හවස තමා නිමල් සිරි අයියා බෙල්ල වැල දාගෙන මැරිලා උන්නේ. පහුවදා උදේ තමා ගමේ අය නිමල් සිරි අයියා මැරිලා කියලා දැනගත්තෙත්.
ඉතින් එදා තෝත්තරේ දවසේ මැගී කිරි අම්මගේ භූත ආත්මේ නිමල් සිරි අයියගේ ශරීරය ඇතුලට රිංගලා ගමේ කෙනෙක්ට කියලා තියෙනවා එයාගේ ආත්මේ තමා මැගී කිරි අම්මගේ භූත ආත්මේ වෙනුවට අහුවෙන්නේ. හිර කලාට පස්සේ එයාව නිදහස් කරන්න කියලා.
ගමේ කෙනා ඒ දේ විශ්වාස කරලා. මැගී කිරි අම්මගේ භූත ආත්මේ ගැලවෙන්න අර කෙනාව ඉත්තෙක් විදිහට පාවිච්චි කරලා.
ඉතින් ඇත්තටම එදා කුප්පියේ හිර කරලා වල දැම්මේ මැගී කිරි අම්මගේ භූත ආත්මේ උනාට , අර කෙනා විශ්වාස කරලා තියෙන්නෙ කුප්පියේ හිරවෙලා ඉන්නේ නිමල් සිරි අයියාගේ ආත්මේ කියලා. ඒ කෙනා ඒ කුප්පිය කුඩුකරලා මැගී කිරි අම්මගේ ආත්මේ නිදහස් කරලා.
පුංචි ගුරේනම් දන්නවා ඇති කවුද මේ වැඩේ කලේ , කවුද මැගී කිරි අම්මගේ භූත ආත්මේ පාවිච්චි කරපු ඉත්තා කියලා.
එදා ඒ කුප්පිය වලදාන්න ගියේ සුදත් අයියායි ඔයායිනේ අයියේ. මම හිතන්නේ ඔයාලා කුප්පිය වලදාන තැන අර කෙනා බලන් ඉන්න ඇති හොරෙන් . පස්සේ අවිල්ලා කුප්පිය ගොඩ අරන් භූත ආත්මේ නිදහස් කරන්න ඇති.
වුන දේ ගැන කිසිත් නොදත් නංගී එසේ ලියා තිබුණි.
” ඔයා තව දවසක් ගමේ උන්නනම් අර උන දේවල් දැකගන්න තිබ්බා.
තිලකේ මාමගේ නෙමේනේ පදිංචි වෙලා හිටිය ඉඩම. මැගී කිරි අම්මගෙනේ , මැගී කිරි අම්මා ඔත්පල වෙලා උන්න කාලේ සැලකුවෙත් නැ. වෛරයෙන් මැරෙන්න ඇත් තේ. ඒකට තරහෙන් තමා මැරිලත් මළ යකින්නක් වෙලා තිලකේ මාමලට කරදර කරන්න ඇත්තේ. අවසානේ තිලකේ මාමලා මැගී කිරි අම්මගේ ආත්මේ හිර කරලා වලදැම්මත් , හිරවෙන්න කලින් කපටි විදිහට බේරෙන්න මනුස්සයෙක්ව ඉත්තෙක් විදිහට පාවිච්චි කරලා.
මට ගොඩක් දුක තුෂාරි නංගියි, සුගත් අයියයි ගැන තමා.
පුංචි ගුරේ කියන්න කැමති නෑ මැගී කිරි අම්මාගේ භූත ආත්මේ බේරෙන්න ඉත්තෙක් විදිහට පාවිච්චි කලේ කවුද කියලා කියන්න. පුංචි ගුරේනම් කියන්නේ එයාට මේ කරපු දේට වැරද්දක් කියන්න බෑ කියලා. ඒ කෙනා අර කුප්පිය ඇරලා නිදහස් කරලා තියෙන්නෙ නිමල් සිරි අයියාගේ ආත්මේ කියලා රැවටිලානේ. ”
නංගී තවත් ගොඩක් දේවල් ඒ ලිපියේ ලියා තිබුණද මට එතනින් එහාට කියවන්න හිතුණේ නැත. මම සිටියේ සෑහෙන්න කම්පනයට පත් වෙලාය.
මැගි කිරි අම්මාගේ භූත ආත්මය අර කුප්පියේ හිර උනාට පසුව එයින් ගැලවෙන්න ඉත්තෙක් විදිහට පාවිච්චි කර ඇත්තේ මම නොවේද ?
සාගර සම්පත් විසින් ලියූ කෙටි කතාවකී.
Fcebook Profile > Sagara Sampath
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment