රොබරෝසියා රැගෙන ඔබ වෙත ආ "මාධවී ජයසිංහ" අද "පොත්මී" අලුත් පොතක් සමග

අද “පොත්මී” අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවන්නේ, රොබරෝසියා රැගෙන ඔබ වෙත ආ “මාධවී ජයසිංහ”

 

1. ඔබ කොයි කාලයේ කොයි ආකාරයෙන්ද ලේඛන කලාවට යොමුවුනේ..??

මට මතකයි මං පුංචි කාලේ කෙටි කතා , කවි, නිසදැස් ලියන්න පුදුම තරම් ආසයි. ඒත් කවි, නිසදැස් කාටහරි පෙන්නුවට කෙටි කතා නම් කිසිම කෙනෙක්ට පෙන්වලා නැතුව ඇති. ඊටත් බොහෝ කාලයකට පස්සේ මං මානසික බිඳ වැටීමකට ලක් වෙලා ඉන්න දවස්වල මං සයිබර් නවකතා කියවන්න පෙළඹෙනවා. මීට අවුරුදු තුනකට විතර කලින් මං මගේ ප්‍රියතම සයිබර් කතුවරිය ඇලානා මදුරාගොඩ අක්කට මං යෝජනා කරනවා අක්කා මටත් කතාවක් ලියන්න ආසයි කියලා.. එදා අක්කා ඉදන් මේ අවුරුදු තුන පුරාවටම මං ලිව්වා. එන්න එන්නම ලේඛන හැකියාව දියුණු කරගනිමින් විවිධ ශාණරයේ කතා ලිව්වා. ඒ හැමදේකටම පස්සේ මගේ තෙලි තුඩින් රොබරෝසියා ලියවෙනවා. අද ඒ ලස්සන රොබරෝසියා මල පොතක් වෙලා.

 

2. ‘රොබරෝසියා ‘ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්..

රොබරෝසියා කියන්නේ ආදරය ගැන අලුත් විදියට හිතන්න ආරාධනාවක් ගෙනෙන කතාවක්. හරියට මෙන්න මේකයි කියලා සීමා මායිම් දාලා ලඝු කරන්න බැරි ආදරය යොවුන් සිතුවිලි එක්ක මුසු වුණාම රොබරෝසියා මලක් තරම්ම සංකීර්ණයි. ඒ වගේ ආදරයක් අහිමි වුණාම මිනිස්සු ඒ විරහව දෙවිදියකට බාර ගන්නවා. රිදීම්, විඳීම්, ලතැවුල්, හිනාව, පසුතැවීම්, වේදනාව මේ සියල්ලම අවසානයේ ආදරය කියන්නේ ආදරයමයි.. ඔව්.. රොබරෝසියා අන්තර්ගතය පුරාම තියෙන්නේ මොහොතින් මොහොත දළුලන ආදරය.

 

3. ‘ රොබරෝසියා’ මුළින්ම කොටස් කිහිපයක් මුහුණුපොතේ පලවෙනවා. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට අවස්ථාව ලැබුනේ කොහොමද? ඒ වගේම එයට උදව් කල අය ගැනත් මතක් කළොත්..?

මං රොබරෝසියා ලියන්න පටන් ගනිද්දි හිතේ කොණකවත් මේ කතාව මුද්‍රිත මාධ්‍යට ගේන්න අදහසක් මගේ තිබුණේ නෑ. නමුත් Reading Planet Pub ආයතනයේ නදීරා දිසානායක අක්කා තමයි මට යෝජනාව ගේන්නේ රොබරෝසියා පොතක් කරමු කියලා. ඉතින් නදීරා සහ දනු අක්කගෙන් ලැබුණ මඟ පෙන්වීම එක්ක මං රොබරෝසියා මුද්‍රිත මාධ්‍යට ගෙනාවා. ඉතින් මගේ දයාබර ස්තූතිය ඔවුන් දෙදෙනාටම හිමි විය යුතුමයි. ඒ වගේම මගේ ආදර පාඨක පිරිසටත් මං බොහොම ස්තූතිවන්ත වෙනවා. මේ තාක් දුරට මාව රැගෙන ආවට.

 

Madavi Jayasinghe - Sri Lanka writner

 

4. ඔබේ මේ පොත පාඨකයන්ට මිළදීගන්නට හැකි ආකාර ගැන සඳහනක් කලොත්..?

ඔව්.. රොබරෝසියා පොත Reading Planet Pub ආයතනය හරහාත් ග්‍රන්ථ ආයතනය හරහාත් මිළදී ගත හැකියි.

 

5. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි”කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. ඔබ හිතන විදිහට ඕනෑම පොතකින් පාඨකයෙකුට යමක් ලබා ගත හැකියැයි ඔබ සිතනවාද.?

අනිවාර්යයෙන්ම. මං වැඩියෙන් ප්‍රියකරන ශාණරයක් තිබුණත් මං මට කියවන්න ලැබෙන, අතට හසුවන සෑම පොතක්ම වගේ කියවනවා. සෑම පොතකින්ම පාඨකයෙක්ට යමක් ලබා ගත හැකියි. අලුත්ම රසයක්, නැවුම් අත්දැකීමක්, අලුත් ලෝකයක් විවර කරන්න සෑම පොතකටම පුළුවන්.

 

6. ඔබ කියවීමට ප්‍රිය කරන්නේ කුමන ආකාරයේ කෘතීන්ද..?ඒ වගේම ඔබ ප්‍රිය කරන ලේඛකයෙක් හෝ ලේඛිකාවක් ඉන්නවද..?

මං පරිවර්තන කෘති කියවන්න ආසයි. ඒ වගේම අත්භූත, රහස් පරීක්ෂක කතා වලට ලොකූ කැමැත්තක් තියෙනවා. ඒ වගේම තරංගා දිසානයක මහත්මිය, දිලීප ජයකොඩි මහත්මා වගේම මගේ කුඩා කාලය වර්ණවත් කරපු සුදත් රොහාන් මහත්මයා මගේ ප්‍රියතම ලේඛකයන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්නවා.

 

7. ඔබ සමාජ මාධ්‍ය තුලිනුත් මුද්‍රිත මාධ්‍ය තුලිනුත් නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා. මේ මාධ්‍ය දෙක තුල නිර්මාණ ඉදිරිපත් කරන විට බොහෝ වෙනස්කම් ඔබට හමුවෙන්නට ඇති. ඔබ හිතන විදිහට වර්ථමානයේදී අලුත් ලේඛකයෙක්ට හෝ ලේඛිකාවකට පාඨකයන් අතරට යන්නට වඩා පහසු මාධ්‍ය කුමක්ද..?

සමාජ මාධ්‍ය තුළින් පාඨකයක් අතරට යෑම ඉතාම පහසුයි. නවක ලේඛිකාවන්ට තමන්ගේ හැකියාව දියුණු කර ගන්න සමාජ මාධ්‍ය තුළින් පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍ය තුළින් බොහෝ පාඨක පිරිසකටත් කතා කියවන්න අවස්ථාවක් ලැබෙනවා.

නමුත් පොතක් ස්පර්ශ කරමින් කියවීම වෙනමම අත්දැකීමක්. සයිබර් කතුවරයන්ගේ එකම හීනය තමන්ගේ අකුරු පිටු අතර තිබෙනු දැකීම. මමත් එහෙමයි. රොබරෝසියා පොතකින් කියවන්න මමත් ලස්සන හීනයක් මැව්වා.. ජීවිතේ එකවරක් හෝ සයිබර් කතුවරුන් පොතකට යා යුතුයි. එය කිසිදා අමතක නොවන අමරණීය මතකයක් වෙයි.

 

Madavi Jayasinghe - Sri Lanka writner

 

8. ඔබේ නිර්මාණ තුලින් මොන ව්දිහේ පණිවිඩද ඔබ පාඨකයන් වෙත දෙන්නට උත්සාහ කරන්නේ..?

මං හැමවිටම උත්සාහ කරන්නේ මගේ වචන තුළින් තව කෙනෙක්ගේ වේදනාව සුවපත් කරන්න. ප්‍රශ්නයක් ආවම දරා ගන්න, වැටෙන පාරට අළු මතින් නැඟිටින්න දිරියක් වෙන්න මගේ වචන වලට පුළුවන් නම් මං හිතනවා මං යම්තාක් දුරට සාර්ථකයි කියලා. වර්තමාන සමාජය අපිට වෙනස් කර නොහැකියි. නමුත් අපිට යහපත් සමාජයක් ගොඩ නගන්න පුළුවන්. ඒ සඳහා එක වචනයකින් හරි දායක වන්නයි මට ඕනි.

 

9. ඔබේ ඉදිරි නිර්මාණ ගැනත් සඳහනක් කළොත්..?

ඉදිරියේදි ෆැන්ටසි ශාණරයේ නිර්මාණයක් වගේම තවත් වෙනස් විදියක ආදරය කියවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

 

10.ලේඛන කලාවෙන් ඉදිරියට යාම හැරුනුකොට ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද.

ඔව්.. මගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගෙන රැකියාවක නියලෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේ අතින් ලියවුණ වචන පෙළක් සංගීතයකට මුසු වෙලා මියුරු කට හඬකින් අහන්නත් ලොකු හීනයක් තියෙනවා. ❤

ඒ වගේම නවක ලේඛිකාවන් වන අපිට මෙවැනි වටිනා අවස්ථාවක් ලබා දුන්නු පොත් මී ඔබට බොහොම ස්තූතියි..

 

 

පොත්මී ප්‍රකාශන පුදගලික සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න