"නුඹයි මායාවී" තුළින් ඔබ වෙත ආ හංසනී සමාධී ප්‍රනාන්දු අද පොත්මී සමග

අද “පොත්මී” අලුත් පොතක් සමග ඔබ හමුවට එන්නේ “නුඹයි මායාවී” තුළින් ඔබ වෙත ආ හංසනී සමාධී ප්‍රනාන්දු

 

poth mee sri lanka online books reader

 

1. නුඹයි මායාවී කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් පාඨකයන්ට පිදෙන ඔබේ පළවෙනි පොත. ඔබ තවමත් පාසල් අධ්‍යාපනය නිමා කලා පමණයි. ඉතින් මේ විදිහට පොතක් එළිදක්වන්නට හැකිවීම විශාල ජයග්‍රහනයක්. මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දැක්වූ අය ගැන මුලින්ම සඳහනක් කළොත්..?
සහයෝගය දැක්වූ අය ගැන සඳහන් කළොත් ඒ අ‍ය අතුරින් මුල්ම තැන ඉන්නෙ මගේ දෙමව්පියන් දෙපළ… ඒ වගේම මගේම සහෝදරයෙක් වූ දර්ශන ඉන්දික සොයුරාවත් මම ආදරෙන් මතක් කරන්න කැමතියි. ඊට අමතරව අනූශා ප්‍රනාන්දු මහත්මියවත් මගේ සොයුරියක් වන ප්‍රසාදි මහේෂිකා සොයුරියවත් මං ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. නම් වශයෙන් කිව නොහැකි තරම් සහයෝගයක් බොහෝ දෙනාගෙන් ලැබුණත් ඒ සියලු දෙනා ගැන සඳහන් කරන්න අවස්ථාව නැති නිසා ඒ අය ගැන මම මෙහෙම කියන්නම්. නුඹයි මායාවී නවකතාව නැවුම් පිටු අතරට ගන්න උපකාර කල මගේ පවුලේ සියලුම දෙනාටත්, මගේ හිත මිතුරන්ටත් වගේම සහෝදර ලේඛක ලේඛිකාවන්ටත් බෙහෙවින් ස්තූතියි. ඒ වගේම ඒ සියල්ලම අතුරින් මට ලැබුණු ලොකුම සහයෝගය තමයි මගේ පාඨකන්ගේ සහයෝගය. ඉතින් ඒ අය ගැනත් අනිවාර්‍යයෙන්ම මතක් කල යුතුමයි.

 

2. ලේඛිකාවක් වීම ඔබේ සිහිනයක්ව තිබුනාද..? එහෙමත් නැත්නම් මේක අහම්බයක්ද…? කොහොමද ඔබ ලේඛන කලාවට යොමු වුනේ…? 
ඇත්තටම ලේඛිකාවක් වීම මගේ සිහිනයක්ව නොතිබුනු දෙයක්… කුඩා කාලයේ පාසල් ක්‍රියාකාරකම් වලට අතරින් පතර කවි, නිසදැස් නිර්මාණයේ යෙදුනත් නවකතා ලිවීමට මම පටන්ගන්නෙ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් පසුව උසස් පෙළ හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාලය අතරතුර… ඒ කාලය තුළ මම මුහුණුපොතේ පලවන නවකතා නිර්මාණ කියවීමට හුරුවෙනවා. ඉතින් ඉන්පසුව තමයි මමත් නවකතාවක් අකුරු කිරීමට උත්සහ ගන්නෙ… ඒ අනුව මා විසින් රචනා කරපු මගේ පළවෙනි නවකතාව මුහුණුපොතට 2017 වසරේදි මම මුදාහැරියා. ඉතින් ඒ වෙනුවෙන් නොසිතූ විදිහට ලැබුණු පාඨකයන්ගේ ප්‍රතිචාර අනුව තමයි මම දිගටම ලේඛනයට අවතීර්ණවීමට තීරණයක් ගන්නෙ…

 

3. නුඹයි මායාවී කෘතියේ අන්තර්ගතය ගැනත් සඳහනක් කළොත්..?
නුඹයි මායාවී ගැන සරළවම සඳහන් කළොත් මේ කෘතිය එක සරළ සුන්දර යොවුන් නවකතාවක්… නවකතාවකට වඩා සරළ බස් වහරෙන් ලියවුණු එක් යුවතියකගේ හැඟීම් සමුදායක් යනුවෙන් මම නුඹයි මායාවී හඳුන්වන්න ආසයි. එහි අන්තර්ගතය එක් තරුණියකගේත් තරුණයෙකුගේත් සරළ සුන්දර ආදර කතාවක් වුණත්, මං හිතනවා පාඨකයන් වන ඔබ සියලුදෙනාගේම සිත් වල නුඹයි මායාවී විශේෂ තැනක් ගනීවි යැයි කියලා. ඉතින් ඒ ගැන ඊට වඩා යමක් නොකියම කෘතිය කියවා බලන ලෙසට ආරාධනා කරන්න මම කැමතියි.

 

 

4. ඔබ මුහුණුපොත හරහාත් නුඹයි මායාවී කතාව කොටස් වශයෙන් පළකලා. කොහොමද එයට ලැබුණු පාඨක ප්‍රථිචාර…? ඒ වගේම මුහුණු පොත හරහා නිර්මාණ පලකිරීමේදී ලේඛක ලේඛිකාවන්ට විවිධකාර අපහසුතාවයන්ට පවා මුහුණ දෙන්නට සිදුවෙලා තිබෙනවා. ඔබටත් ඒ වගේ අත්දැකීම් තිබෙනවාද…? 
පාඨක ප්‍රතිචාර ගැන සඳහන් කළොත් මම කිවයුතුම දෙය තමයි, නුඹයි මායාවී නවකතාව මුහුණුපොතේ පලවුණු එක් නවකතාවක් පමණක් නොවී මේ ලෙස කෘතියක් වීමට ප්‍රධානතම හේතුව තමයි මේ වෙනුවෙන් ලැබුණු පාඨක ප්‍රතිචාර… ඇත්තෙන්ම නුඹයි මායාවී මුහුණුපොතේ පලවුණු කාලය තුළ ඒ වෙනුවෙන් ලැබුණු පාඨක ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. නිහතමානීව මම ඒ ගැන සතුටුවෙනවා. ඉතින් ඒ ප්‍රතිචාර මත තමයි නුඹයි මායාවී නවකතාව කෘතියක් ලෙස එළිදැක්වීමට මම පෙළඹුණේ… ඉතින් ඒ වෙනුවෙන් සියලුම පාඨකයන්ට ස්තූතිය පුද කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.
 ඒ වගේම අපහසුතාවයන් ගැන සඳහනක් කළොත් නම් විවිදාකාර අපහසුතාවයන් අතුරින්, මුහුණදීමට සිදුවුණු ලොකුම අපහසුතාවය තමයි, නවකතා පොතක් ලෙස සූදානම් කරන කාලය අතරතුර කතෘ අවසරයකින් තොරව නුඹයි මායාවි නවකතාව විවිද යූටියුබ් මාධ්‍යයන් වල සහ වෙනත් සමාජ මාධ්‍යයන් වල මා නොදැනුවත්ව පලවීම. නවකතා පොත එළිදැක්වීමට සියලු වැඩකටයුතු සකස් වෙමින් පවතිද්දී නවකතාව වෙනත් තැන් වල පලවීම මට මුහුණදීමට සිදුවුණු ලොකු අපහසුතාවයක්.

 

5.ලේඛ්කාවක් වීමට අමතරව ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද…? 
ඒ ගැන කීවොත්.. අනාගත බලාපොරොත්තු රැසක් අතුරින් සුදුසුම එක ලෙස එකක් තෝරාගෙන මේ වනවිට මම ඒ සඳහා අඩිතාලම සකස් කරමින් සිටිනවා. ඉතින් ඒ අනුව විලාසිතා නිර්මාණයෙන් ඉදිරියට යාමට තමයි මගේ අනාගත බලාපොරොත්තුව…

 

6. ඔබ කැමතිම ලේඛ්කාව හෝ ලේඛකයෙක් ඉන්නවද…?ඒ වගේම ඔබ කියවන්නට කැමති කුමන ආකාරයේ පොත්ද…? 
මොහාන් රාජ් මඩවල මහතා මම කැමතිම ලේඛකයෙක්. ඒ වගේම මොනිකා රුවන්පතිරණ මහත්මියත් මම කැමතිම ලේඛිකාවක්. ඊට අමතරව චන්දි කොඩිකාර මහත්මිය, තරංගා දිසානායක මහත්මිය, දිලූ සඳමාලි රසාංගිකා මාපා මහත්මිය, අනූශා ප්‍රනාන්දු මහත්මිය, අසෙනි වර්ෂා මහත්මිය වගේම ආශි ජයතිලක මහත්මිය යන අයත් මම ආස කරන ලේඛිකාවන්.
කියවන්නට කැමතිම පොත් තමයි පරිවර්තන පොත්.. මගේ පොත් එකතුවේ වැඩිවශයෙන්ම තියෙන්නෙත් පරිවර්තන කතා පොත්.. ඊට අමතරව සරළ ආදර නවකතා කියවීමට මම ඇල්මක් දක්වනවා.

 

 

7. ඔබ හිතන විදිහට ලේඛිකාවකට /ලේඛකයෙක්ට කළ හැකි සමාජ මෙහෙවර කුමක්ද…?
මම ඒ ගැනත් සරළවම සඳහන් කළොත්,  කියවීම අප තුළින් ගිළිහී ගොස් ඇති කාලයක් තමයි මේක.. කාර්‍යබහුලත්වය සහ විවිද හේතුන් මත ඉදිරියේදී මීටත් වඩා කියවීම මිනිසාගෙන් ගිළිහේවි. ඉතින් මේ වගේ කාලයක තමන්ගේ නිර්මාණ තුළින් පාඨක සිත් වලින් “කියවීම” යන දේ ගිලිහීයන්නට නොදී තම නිර්මාණ තුළ ඒ සිත් ඇද බැඳ තබාගන්නට උත්සහ කිරීම සහ තව තවත් කියවීම කෙරෙහි පොළඹවාගැනීම තමයි මම සිතනා ආකාරයට අප කළ යුත්තේ..

 

8. ඉදිරි කාලයේ පාඨකයන් වෙත ලබා දෙන්නට නව නිර්මාණයක් ගැන ඔබට අදහසක් තිබෙනවාද…? 
ඔව් තිබෙනවා. පොත් වශයෙන් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් මේ වනවිට මම තවත් නවකතා දෙකක් රචනා කරමින් හිඳිනවා. ඒ නවකතා ද්විත්වය ඉදිරි කාලයේදි පාඨකයන්ගේ දෝතට පිළිගැන්වීමට මගේ බලාපොරොත්තුවක් තියනවා.
9. ඔබේ කෘතිය පාඨකයින්ට මිළදී ගන්නට හැකි ආකාර ගැනත් සඳහනක් කළොත්…? 
කෘතිය මිලදී ගැනීමට සහ නිවසටම ගෙන්වා ගැනීම සඳහා 070 504 8687 යන දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කිරීමෙන් අවශ්‍ය අයට මා සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. එහෙමත් නැත්නම්  Hasee Fernando යන මගේ ෆේස්බුක් ගිණුමට පණිවිඩයක් යොමු කිරීමෙන්ද මම ඒ අය සමඟ සම්බන්ධවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කතුවරයා වෙබ් අඩවිය ඔස්සේද අවශ්‍ය අයට කෘතිය මිලදී ගැනීමට අවස්ථාව තිබෙනවා.
10.  අවසන් වශයෙන් නුඹයි මායාවී කියවන ඔබේ ආදරණීය පාඨකයින්ට ඔබ කීමට ඇත්තේ කුමක්ද…?
නුඹයි මායාවී කියවන, කියවා අවසන් කල, කියවීමට බලාපොරොත්තුවෙන් පසුවන සියලුම දෙනාට ස්තූතියි. මා ලියූ අකුරක් හෝ කියවන සියලු දෙනාට ස්තූති කරන්නට මට ලැබුණු වටිනා අවස්ථාවක් තමයි මේ.. ඉතින් ඒ වගේම ඉදිරි නිර්මාණ වලදීත් මේ ලෙසටම මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙසටත් ආද‍රයෙන් ඒ සියලු දෙනාගෙන්ම මා ඉල්ලාසිටිනවා.

 

Poth Mee New Logo for Sinhala eBooks read or download online

පොත්මී ප්‍රකාශන පුද්ගලික සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න